ලියාපදිංචියට පෙර සුනඛයන් හරිහැටි වර්ගීකරණය කළ යුතුය


ශ්‍රී ලංකාවේ ජලභීතිකා රෝගය පාලනය කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ පාලනයකින් තොර සුනඛ ගහනය අවම කිරීම අරමුණු කරගත් “ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත” 2026 සැප්තැම්බර් 7 දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත. කෙටුම්පත අනුව පළාත් පාලන ආයතනවලට තම බලප්‍රදේශයේ සුනඛයන් එන්නත් කිරීම, ලියාපදිංචි කිරීම හා අයාලේ යන සුනඛයන් වන්ධ්‍යකරණය කිරීම ඇතුළු වගකීම් පැවරීමට යෝජනා කර තිබේ. මෙය තවම පනතක් බවට පත්වී නොමැති පනත් කෙටුම්පතක් බව ද සැලකිල්ලට ගත යුතුය.

අයාලේ යන සුනඛයින්
අයාලේ යන සුනඛයින්

මෙවැනි නීතියක් අවශ්‍ය වීම ගැන සැකයක් නැත. ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 200,000 – 250,000ක් පමණ සුනඛ සපාකෑම්වලට ලක්වන අතර, දිනකට පුද්ගලයන් 2,000කට ආසන්න සංඛ්‍යාවක් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වෙති. ජලභීතිකා එන්නත් ලබාදීම වෙනුවෙන් පමණක් රජයට වසරකට රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැයවන අතර, පසුගිය වසරේදී පමණක් ජලභීතිකා රෝගය හේතුවෙන් මිනිස් ජීවිත 31ක් අහිමි වී තිබේ. මීට පෙර මානව ජලභීතිකාව පාලනය කිරීමට විවිධ පියවර ගත්තද, සත්ත්ව ජලභීතිකාව තුරන් කිරීමට අදාළව නීතිමය හා සංවිධානාත්මක ඒකාබද්ධ වැඩපිළිවෙළක් නොතිබීම ප්‍රධාන අඩුවක් විය. එම නිසා නිසි එන්නත්කරණය, වගකීම් සහිත සුනඛ හිමිකාරත්වය සහ සුනඛ ගහනය විධිමත් ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යය. එහෙත් ශ්‍රී ලංකාවේ යථාර්ථයට ගැළපෙන නීතියක් සකස් කිරීමට නම්, මුලින්ම “අයාලේ යන සුනඛයා” යන සංකල්පය නිවැරදිව හඳුනාගැනීම අවශ්‍ය වේ.

අපේ ගම්වල, නගරවල, රෝහල්, විශ්වවිද්‍යාල, වෙළෙඳසැල්, ත්‍රිරෝද රථ ගාල් සහ වැඩබිම් අවට පෙනෙන සෑම නිදහසේ සැරිසරන සෑම සුනඛයෙක්ම “හිමිකරුවකු නැති සුනඛයකු” නොවේ. මෙරට ඉතිහාසය පුරාම සුනඛයා මිනිසා සමඟ බැඳී සිටි ගෘහස්ථ සතෙකු වන බැවින්, සුනඛයා සහ ශ්‍රී ලාංකේය සමාජය අතර පවතින්නේ ඉතා සංකීර්ණ සබඳතාවකි. එම නිසා නිදහසේ සැරිසරන සතුන් සහ හිමිකරුවෙකු නැති සතුන් එකම කරුණක් ලෙස සලකා නීතිය ක්‍රියාත්මක කළහොත් ලියාපදිංචිය, වගකීම සහ වන්ධ්‍යකරණ ව වැඩසටහන් තුනම අවුල් වීමට ඉඩ තිබේ.

ගෘහස්ථ සුනඛයින්
ගෘහස්ථ සුනඛයින්

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (World Organisation for Animal Health – WOAH) ද දැන් “අයාලේ යන සුනඛයා” (stray dog) යන වචනයට වඩා “නිදහසේ සැරිසරන සුනඛයා” (free-roaming dog) යන සංකල්පය භාවිත කිරීමට වැඩි අවධානයක් දෙයි. එයට හේතුව ඉතා සරලය. පාරේ නිදහසේ සැරිසරන සුනඛයෙක් හිමිකරුවකු ඇත්තකු විය හැකිය; නැතහොත් හිමිකරුවකු නොමැති සුනඛයෙකු විය හැකිය. ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) ඍජුවම පෙන්වා දෙන්නේ නිදහසේ සැරිසරන ගහනය තුළ හිමිකරුවකු ඇති නිදහසේ සැරිසරන, අතරමංවූ හෝ අතහැර දැමූ සහ හිමිකරුවකු නොමැති ප්‍රජනනය සිදුකළ හැකි සුනඛයින් යන විවිධ වර්ගීකරණයන් පවතින බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ සුනඛ ලියාපදිංචිකිරීමේ කාඩ් පතක්
ඇමරිකා එක්සත් ජනපදයේ සුනඛ ලියාපදිංචිකිරීමේ කාඩ් පතක්

එම නිසා ශ්‍රී ලංකාවේ සුනඛ ගහනය පාලනය කිරීමට යන විට අවම වශයෙන් ප්‍රායෝගික කාණ්ඩ කිහිපයක් හඳුනාගත යුතුය.

ඉන් පළමුවැන්න නම් පූර්ණ ගෘහාශ්‍රිත හා පාලනය යටතේ ඇති සුනඛයන්ය. ඔවුන්ට පැහැදිලි හිමිකරුවකු සිටී. ගෙදර හෝ වටවූ භූමියක තබාගන්නා අතර, පිටතට ගෙන යන්නේ හිමිකරුගේ පාලනය යටතේය. ලියාපදිංචිය, එන්නත්කරණය සහ හානි සම්බන්ධ නීතිමය වගකීම මෙවැනි සතුන් සම්බන්ධයෙන් ඉතා පැහැදිලිය.

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය
ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය

ඊළඟට සිටින්නේ හිමිකරු ඇති නමුත් නිදහසේ සැරිසරන සුනඛයන්ය. ශ්‍රී ලංකාවේ මෙය බහුලය. ගෙදරක් තිබේ; දිනපතා කෑම ලැබේ; සමහර විට නිදාගන්නේත් එම ගෙදරය. එහෙත් දිවා කාලයේ ගම පුරා හෝ වීදිය පුරා සැරිසරයි. දුර සිට බලන නිලධාරියෙකුට එම සුනඛයා “අයාලේ යන සුනඛයෙකු” (stray dog) වැනි පෙනුමක් තිබිය හැකිය. ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) ද විශේෂයෙන් සඳහන් කරන්නේ නිදහසේ සැරිසරන සුනඛයෙකුට (free-roaming dog) හිමිකරුවකු සිටිනවාද නැද්ද යන්න නිරීක්ෂණයෙන් පමණක් තීරණය කිරීම ඇතැම්විට අපහසු බවයි.

ප්‍රජා ආශ්‍රිත සුනඛයන් (Community dogs) යනු තවත් වර්ගීකරණයකි. එක් පුද්ගලයෙකුගේ පූර්ණ අයිතිය යටතේ නොසිටියත් කිසියම් ආයතනයක්, කඩපෙළක්, ත්‍රිරෝද රථ ගාලක්, රෝහලක් හෝ පදිංචිකරුවන් කිහිපදෙනෙකු විසින් ආහාර, ජලය සහ යම් ආරක්ෂාවක් ලබාදෙන සතුන් මෙයට අයත් වේ. ජාත්‍යන්තර සුනඛ ගහන කළමනාකරණ (dog-population management) ලේඛනයන්හි ප්‍රජා ආශ්‍රිත සුනඛයන් (community dogs) හෝ අසල්වැසි සුනඛයන් (neighbourhood dogs) යන සංකල්පය පිළිගෙන ඇත.

ඊළඟට සිටින්නේ සැබෑම හිමිකරු නොමැති වීදි සුනඛයන්ය. ඔවුන්ට නිශ්චිත ගෙදරක් හෝ නියමිත රැකවලකු නැත. කසල ගොඩවල ඇති කෑම, වෙළෙඳසැල්, මිනිසුන්ගෙන් ලැබෙන අහඹු ආහාර සහ ස්වාභාවිකව ලැබෙන සම්පත් මත ජීවත් වෙති.

ඊට අමතරව අතහැර දැමූ හෝ අහිමි වූ සුනඛයන් වෙනම හඳුනාගැනීම ප්‍රයෝජනවත්ය. අද “අයාලේ යන” (stray) ලෙස පෙනෙන සුනඛයා ඊයේ දක්වා ගෙදරක සිටි සතෙකු විය හැකිය. එවැනි සතුන් සම්බන්ධයෙන් හිමිකරු සොයා දීම, නැවත භාරදීම (reuniting) හෝ හදාවඩා ගැනීමට දීම (adoption) වැනි ක්‍රමවේද වැදගත් වන අතර, හුදෙක් වන්ධ්‍යකරණ කර නැවත පාරට දැමීම පමණක් හොඳම පිළිතුර නොවිය හැකිය. ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) ද නැවත භාරදීම (reuniting) සහ හදාවඩා ගැනීමට දීම (adoption) යන ක්‍රම ගහන කළමනාකරණ (population management) වැඩසටහනක කොටසක් ලෙස සලකයි.

කෙටුම්පතේ 3(a) වගන්තිය අනුව සුනඛයෙකුගේ හිමිකරු (owner) හෝ එම සතා තම භාරයේ ඇති පුද්ගලයා වාර්ෂිකව එන්නත් කර ලියාපදිංචි කළ යුතුය. එහෙත් 3(b) වගන්තියෙන් වීදි සුනඛයෙකුගේ සුබසාධනය සඳහා වගකීම ගන්නා පුද්ගලයෙකුට එම ලියාපදිංචි අවශ්‍යතාව අනුගමනය “කළ හැකිය” යන අර්ථය ඇති “අනුගමනය කළ හැකිය” (may comply) යන වචන භාවිත කර ඇත.

එය වැදගත් වෙනසකි. පාරේ සුනඛයෙකුට දිනකට කෑම දෙන පුද්ගලයා, එම සුනඛයාගේ නීතිමය හිමිකරුද? එම සුනඛයා රෝහලක සේවකයන් දස දෙනෙකුගෙන් කෑම ලබන්නේ නම් හිමිකරු කවුද? ත්‍රිරෝද රථ ගාලක සියලු දෙනාම බලාගන්නා සුනඛයෙක් පුද්ගලයකු සපා කෑවොත් වගකීම කාටද? මෙම කරුණු කෙටුම්පත තුළ තවදුරටත් පැහැදිලි කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.

තවත් වැදගත් ගැටලුවක් 6 වගන්තියේ තිබේ. එහි “අයාලේ යන සුනඛයා” (stray dog) යන්න හිමිකරුවකු හෝ භාරකරු නොමැති සුනඛයෙක් ලෙස සඳහන් කරයි. එවැනි සතෙකුට පළාත් පාලන ආයතනය එන්නත් කර හඳුනාගැනීමේ සලකුණක් ලබාදිය යුතුය. එහෙත් 2 වගන්තියෙන් පළාත් පාලන ආයතනයට තම ප්‍රදේශයේ “සෑම සුනඛයෙකුම” වාර්ෂිකව එන්නත් කර ලියාපදිංචි කර ඇති බව තහවුරු කිරීමේ වගකීම පවරා ඇත. අයාලේ යන සුනඛයාට එන්නත්කරණය (vaccination) සහ හඳුනාගැනීම (identification) ගැන 6 වගන්තියේ සඳහන් වුවත්, හිමිකරු ඇති සුනඛයෙකු මෙන් එය කාගේ නමින් ලියාපදිංචි කරන්නේද යන්න එතරම් පැහැදිලි නැත.

එමෙන්ම පනතේ අර්ථකථන කොටසින් “ලියාපදිංචිය” (registration) අර්ථ දක්වා ඇති නමුත් “හිමිකරු” (owner), “භාරකරු” (person in charge) සහ “වීදි සුනඛයා” (street dog) යන ප්‍රධාන සංකල්ප සඳහා වෙනම සවිස්තර අර්ථදැක්වීම් පෙනෙන්නේ නැත. එබැවින් මේවා ක්‍රියාත්මක කරන නිලධාරීන් අතර විවිධ අර්ථකථන ඇතිවීමේ අවදානමක් පවතී.

10 වගන්තිය අනුව පළාත් පාලන ආයතන අයාලේ යන සුනඛයන් (stray dogs) වන්ධ්‍යකරණ කර, සලකුණු කර, සුව වූ පසු අල්ලාගත් ස්ථානයටම නැවත මුදාහැරිය යුතුය.

මෙය ජාත්‍යන්තරව භාවිත වන “අල්ලාගැනීම–වන්ධ්‍යකරණ–එන්නත්කිරීම–නැවත මුදාහැරීම” (Catch–Neuter–Vaccinate–Return) ක්‍රමයට සමානය. නමුත් ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) පැහැදිලිව කියන්නේ එය තනි විසඳුමක් නොවන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පශු වෛද්‍ය අංශයේ නිගමනවලට අනුවද හුදෙක් වන්ධ්‍යකරණ පමණක් සිදුකිරීමෙන් හෝ පාලනයකින් තොරව සිදුකිරීමෙන් සතුන්ගේ ස්වාභාවික චර්යා රටා වෙනස් වී සපාකෑම් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී. එබැවින් “අල්ලාගැනීම–වන්ධ්‍යකරණ–නැවත මුදාහැරීම” (Catch–Neuter–Return) ක්‍රමය හිමිකරුවෙකු නොමැති සුනඛයන් (unowned dogs) සම්බන්ධයෙන් යම් ප්‍රයෝජනයක් පැවතියද, සුනඛයින් නැවත එම ස්ථානයට මුදාහැරීමෙන් පමණක් සපාකෑම්, මාර්ග අනතුරු, ශබ්දය හෝ වෙනත් මහජන කරදර ස්වයංක්‍රීයව අවසන් නොවේ. හිමිකරුවන් ඇති සුනඛයන් (owned dogs) බහුලව නිදහසේ සැරිසරන ප්‍රදේශවල වගකීම් සහිත හිමිකාරත්වය (responsible ownership) සහ හිමිකරුවන් ඇති සුනඛයන් වන්ධ්‍යකරණ කිරීමේ (owned-dog sterilisation) වැඩසටහන් වඩා වැදගත් විය හැකි බව ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානය (WOAH) සඳහන් කරයි.

ඒ නිසා නව නීතියේ වැදගත්ම කරුණක් විය හැක්කේ “අයාලේ යන සුනඛයා” (stray dog) යන එකම කොටුවට සියලු නිදහසේ සැරිසරන සුනඛයන් දැමීම වෙනුවට හිමිකාරත්ව තත්ත්වය (ownership status) සහ සැරිසරන තත්ත්වය (roaming status) යන දෙක වෙන වෙනම ලියාපදිංචි කිරීමයි. උදාහරණයක් ලෙස “හිමිකරු ඇති – සීමා කර ඇති” (owned–confined), “හිමිකරු ඇති – නිදහසේ සැරිසරන” (owned–free-roaming), “ප්‍රජා ආශ්‍රිත” (community-associated), “හිමිකරු නැති – නිදහසේ සැරිසරන” (unowned free-roaming) සහ “අතරමං වූ/අතහැර දැමූ” (lost/abandoned) යන තත්ත්වයන් වාර්තා කළ හැකිය.

එවිට නීතියටද නිවැරදි සතාට නිවැරදි ප්‍රතිචාරය ලබාදිය හැකිය. හිමිකරු ඇති නමුත් නිදහසේ සැරිසරන සතාට හිමිකරුගේ වගකීම සහ ලියාපදිංචිය, ප්‍රජා ආශ්‍රිත සුනඛයෙකුට (community dog) පළාත් පාලන හෝ ප්‍රජා-සහභාගී එන්නත්කරණ/වන්ධ්‍යකරණ (vaccination/sterilisation) ක්‍රමයක්, සැබෑ හිමිකරු නැති සුනඛයෙකු (unowned dog) “අල්ලාගැනීම–එන්නත්කිරීම–වන්ධ්‍යකරණ–නැවත මුදාහැරීම” (Catch–Vaccinate–Neuter–Return) හෝ හදාවඩා ගැනීමට දීම (adoption), අතහැර දැමූ සුනඛයෙක් සඳහා හිමිකරු හඳුනාගැනීම සහ නීතිමය පියවර යන ආකාරයට වෙනස් විසඳුම් යෙදිය හැකිය.

අවසානයේ ප්‍රශ්නය වන්නේ “පාරේ සුනඛයින් ඉන්නවාද” යන්න නොවේ. “පාරේ සිටින එක් එක් සුනඛයා මිනිස් සමාජය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාව කුමක්ද” යන්නයි. එය නිවැරදිව හඳුනා නොගෙන සෑම සතෙකුම “අයාලේ සුනඛයා” ලෙස නම් කළහොත්, නීතියෙන් බලාපොරොත්තු වන ජලභීතිකා පාලනයත්, සත්ත්ව සුබසාධනයත්, හිමිකරුවන්ගේ වගකීමත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම දුෂ්කර විය හැකිය. නව පනත් කෙටුම්පතේ අරමුණ වැදගත්ය; එහෙත් එය ශ්‍රී ලංකාවේ සැබෑ සුනඛ ගහනයට ගැළපෙන ලෙස සවිස්තර වර්ගීකරණයක් සහ පැහැදිලි වගකීම් පද්ධතියක් සමඟ තවදුරටත් ශක්තිමත් කිරීම ප්‍රයෝජනවත් වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර