ලෙඩ සුව කරන්න “සීතා මෑණියෝ “දැරියක් පුච්චලා

රෝගීන් සුව කිරීමේ බලයක් ඇති බවට ප්‍රසිද්ධියට පත් ව සිටින ‘සීතා මෑණියන් ’ ලෙස හඳුන්වන කාන්තාවක් හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඒම කාන්තාව වයස අවුරුදු 16 ක දැරියක ගේ රෝගයක් සුවකිරීම සඳහා වේවැලකින් දරුණු ලෙස පහර දී වයස රත් වූ ගිරයකින් පිළිස්සුම් තුවාල සිදු කිරීම හේතුවෙනි. 45 හැවිරිදි සැකකාර කාන්තාව හොරොව්පතාන කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි.එම දැරියගේ මව්පියන් ඇයව වැලිමුවපොතාන පිහිටි සැකකාර කාන්තාවගේ දේවාලයට ගෙනැවිත් ඇත්තේ දේව බලයෙන් ඇගේ අසනීපය සුවකිරීම සඳහා ය.
දේව බලයෙන් රෝගීන් සුවකිරීමේ බලයක් ඇති බව පවසන සැකකාරිය තම නිවසේ කාමරයක දේවාලයක් පවත්වාගෙන යන බව පොලිසිය පවසයි.ප්‍රතිකාර ලබාගැනීම සඳහා දේවාලයට පැමිණි දැරිය මැදවච්චිය පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි.දැරිය පරීක්ෂා කළ කාන්තාව ඇගේ දෙමව්පියන්ට පවසා ඇත්තේ ඇයට යක්ෂයෙකු වැහී ඇති බවයි.ඒ අනුව ආරූඪයට පත් වූ කාන්තාව දැරියට වේවැලකින් පහර දී, රත් වූ ගිරයකින් ඇගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පුළුස්සා දමා, එම යක්ෂයා ඇගේ ශරීරයෙන් පළවා හැරීමට උත්සාහ කර ඇතැයි පැවසේ.මේ සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් පොලිසියට කළ පැමිණිල්ල මත විමර්ශන පැවැත්වීමෙන් පසු, පොලිසිය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන දැරිය පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

කාලීන පුවත්