වතු කම්කරුවන් සඳහා රජය ප්‍රකාශ කළ රුපියල් 1700ක දෛනික වැටුප් වැඩිකිරීම සඳහා මින් පෙර දිනකට නෙළිය යුතු තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 20 කිලෝග්‍රෑම් 25 දක්වා ඉහළ නැංවිය යුතු බවට වතු සමාගම් පනවන අත්තනෝමතික කොන්දේසි හේතුවෙන් කම්කරුවන් දැඩි පීඩාවකට පත්ව ඇති බවත්, මීට වහා විසඳුම් නොලැබුණහොත් දිවයින පුරා දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා පවසයි.තේ ඵලදාව අඩු කාලසීමාවන්හිදී එවැනි ඉලක්ක සපුරා ගැනීම අපහසු බැවින්, අවසානයේ කම්කරුවන්ට හිමිවන්නේ භාග දවසක වැටුපක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.
“වතු කළමනාකරුවන් තමන්ට අවශ්‍ය පරිදි කම්කරුවන්ගේ වැඩ නතර කරනවා. මස්කෙළිය, අප්කොට් සහ ගවරවිල වැනි වතුවල දැනටමත් වැඩ නතර කරලා. සමාගම් ලාභ ලබමින් පාඩු ලබන බවට අසත්‍ය ප්‍රකාශ කරනවා. ඇත්තටම පාඩු නම් ඔවුන්ට වතු අතහැර යා හැකියි,” යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මෙම මස 10 වැනිදා සිට රුපියල් 1700ක වැටුප ලබාදෙන බවට රජය පොරොන්දු වී ඇති පසුබිමක, වතු සමාගම් සමඟ සාකච්ඡා කර මෙම ගැටලුව කඩිනමින් විසඳීමට රජය මැදිහත් විය යුතු බව අවධාරණය කරන ඔහු එසේ නොමැති වුවහොත් සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කරගනිමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ද දිගම්බරන් මහතා රජයට අනතුරු අඟවයි..