ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු වූ, මෙරට වකුගඩු රෝග මර්දනය සහ වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් අනූපමේය මෙහෙවරක් ඉටුකළ සම්මානිත මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් මහතා අභාවප්‍රාප්ත විය. විශේෂඥ කායික වෛද්‍යවරයෙකු (Consultant Physician) සහ වකුගඩු රෝග පිළිබඳ (Nephrology) විශේෂඥයෙකු ලෙස දශක ගණනාවක් පුරා එතුමා මෙරට රෝගී ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අතිමහත්ය. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා බොරැල්ල වෙස්ටර්න් රෝහලේ (Western Hospital) නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ රෙෂ්වි ෂෙරිෆ් මහතා, වෛද්‍යවරුන් පරම්පරා ගණනාවක් දැයට දායාද කළ කැපවූ ගුරු පියෙක් ද වේ. පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනයේ (PGIM) අධ්‍යක්ෂවරයා ලෙසත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් මෙරට වෛද්‍ය පරිපාලනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු, පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් ද හෙබවීය.
වෛද්‍ය විද්‍යාව සහ සමාජය උදෙසා ඉටුකළ සුවිශේෂී සේවය අගයමින් රජය විසින් ඔහු වෙත “විද්‍යාජෝති” වැනි ඉහළම ගෞරව නාමයන් පුද කර තිබුණි. පටු වර්ගවාදී අදහස් දරන්නවුන් වෙතින් එල්ල වන පදනම් විරහිත අභූත චෝදනා සිනාමුසු මුවින් බැහැර කරමින්, වටිනා මිනිස් ජීවිත රැසක් අකල් මරණවලින් මුදා ගැනීමෙහි ලා පුරෝගාමී වූ මෙම කීර්තිමත් ශ්‍රී ලාංකිකයාගේ නාමය ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ප.ව. 2.30ට කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.