සුනිල් වටගලගේ ප්‍රකාශයට ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ බලවත් විරෝධය

සමාජ මාධ්‍ය හෝ වෙනත් කුමන මාධ්‍යයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක ප්‍රකාශ පළ කරනු ලබන පුද්ගලයින්ට එරෙහිව ආපදා තත්ත්වය හේතුවෙන් රජය පනවා ඇති හදිසි නීතිය උපයෝගී කොට ගෙන දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමයේ බලවත් විරෝධය පළ කර සිටියි.
2025-12-02 දින මාළඹේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඇතුළු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න ද සහභාගී වූ සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර ඇත. වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ ආපදා තත්ත්වය මුල් කරගෙන භෞතිකව, සමාජ මාධ්‍ය හෝ AI තාක්ෂණය භාවිතා කර තොරතුරු විකෘති කරමින් මාධ්‍ය තුළ පළ කරන ව්‍යාපාරයක් පවතින බවත් මෙම තත්ත්වය විදේශගත පුද්ගලයින් කිහිපදෙනකු විසින් දියත් කොට ඇති බවත් ය.
ඒ අනුව මේ තත්වය වගකිවයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගත යුත්තේ ආපදාව දඩමීමා කර ගෙන ගැසට් කළ හදිසි නීති රෙගුලාසි යටතේ සැකකරුවකු ලෙස නොව චූදිතයෙකු ලෙසින් යැයි සඳහන් කරමින් පොලිස් නිලධාරීන් වෙත නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝග කර ඇත.
බලයට පැමිණීමට පෙර භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් විසින් ම වර්තමානයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහෝසි කිරීමට නියෝග පැනවීම මගින් පිළිබිඹු වන්නේ වර්තමාන ආණ්ඩුව අවතීර්ණ වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මාර්ගයක් වෙත බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන් ගේ සංගමය කියා සිටියි.
පසුගිය වසරක පාලන කාලය තුළ මෙයට පෙර ද ආණ්ඩුව විසින් මාධ්‍ය නිදහසට තර්ජනය කිරීමේ අවස්ථා ගණනාවක් ම තම සංගමයේ නිරීක්ෂණයට ලක් වී ඇති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකිරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා එම සංගමයේ සභාපති, දුමින්ද සම්පත් සහ ලේකම්, රංග බණ්ඩාරනායක ගේ අත්සනින් නිකුත්කර ඇති නිවේදනයක නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

කාලීන පුවත්