ශ්‍රී ලංකාව එතෙක් යටත්ව තිබූ බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීම මුල් කරගත් හැත්තෑ අට වන (78) නිදහස් සැමරුම අදට ( 04) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වන ජාතික නිදහස් සැමරුම් උත්සවය අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, දිවයින පුරා ප්‍රදේශ බොහොමයක ද විවිධ නිදහස් සැමරුම් උත්සව පැවැත්වීමට නියමිත ය.හැත්තෑ අට වැනි ජාතික නිදහස් දින උලෙළ මෙවර ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ තේමාවෙන් අභිමානවත් අයුරින් සැමරෙන් අතර නිදහස් උලෙළේ තේමාව සහ නිල ලාංඡනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා එළිදැක්වීය.මෙම නිදහස් සැමරුමවෙනුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන අතර, නිදහස් දින සමරු උලෙළට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් පුදන සාම්ප්‍රදායික ආචාර වෙඩි මුර අද මධ්‍යහ්න 12ට ගාලුමුවදොර ඉදිරි මුහුදු තීරයේදී මධ්‍යහ්න 12ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යුද නෞකාවක් මතදී ආචාර වෙඩිමුර පිරිනැමෙන අතර, ශ්‍රී ලංකාව 1948 වර්ෂයේ නිදහස ගත් දා සිට ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් සාම්ප්‍රදායික ආචාර වෙඩිමුර 25ක් පිරිනමනු ලබයි.