ළමයින් ප්‍රේක්ෂකයන් කර, ගුරුවරුන් නළුවන් වන අපූරු ලෝක ළමා දිනය – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ


ගුරුවරු ගී කියන, නටන, ළමයි අත්පොළසන් දෙන අපූරු සැමරුම ඔක්තෝබර් පළමුවැනිදාය. පාසල් උත්සව සිරියෙන් ඇළලී ගොසිනි. පාට පාට බැලුම්ය. සැරසිලිය. ශබ්ද විකාශන යන්ත්‍රය උපරිම හඬින්ය. වේදිකාව මත විදුලි ආලෝකය දැල්වෙයි. දරුවෝ පේළිවල වාඩි වී සිටිති. ඔවුන්ගේ දෑස් වේදිකාව දෙසටය. සංගීතය ඇරඹෙයි. ගුරුවරයෙක් වේදිකාවට පැමිණෙයි. ගීයක් ගයයි. අත්පොළසන් හඬක් නැඟෙයි. තවත් ගුරුවරියන් කණ්ඩායමක් එයි. නාරි ලාලිත්‍ය දක්වමින් පසුබිමෙන් ඇහෙන ගීතයකට අනුව නටයි. තවත් අත්පොළසන් හඬක්. ගුරුවරු ගුරුවරියන් කිහිපදෙනෙක් එක්ව රැගුමක් රඟයි. ළමයි තවත් අත්පොළසන් දෙති. අවසානයේ “ළමා දිනය අති සාර්ථකයි!” යන නිගමනයට පැමිණේ. එහෙත් මේ දර්ශනය දෙස මඳක් දුර සිට බලා සිටින කෙනෙකුට හදිසියේම ප්‍රශ්නයක් මතුවිය හැකිය. “මේක ළමා දිනයක්ද? නැත්නම් ගුරුවරුන්ගේ ප්‍රසංගයක්ද?”

ගුරුවරුන් ගී ගැයීමේ වරදක් නැත. නටන එකේද වරදක් නැත. ක්‍රීඩා කරන එකේද වරදක් නැත. ගුරුවරයාද මනුෂ්‍යයෙකි. ඔහුට විනෝද වීමට අයිතිය තිබේ. දරුවන් සමඟ සිනාසීමත්, ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමත් අධ්‍යාපනයේම කොටසක් විය හැකිය. එහෙත් ප්‍රශ්නය ඇත්තේ “ගුරුවරුන් ගී කියන්නේ ඇයි?” යන්නෙහි නොව, “දරුවන්ගේ දිනයේදී ප්‍රධාන අවකාශය හිමිවන්නේ කාටද?” යන්නෙහිය. දරුවන් වෙනුවෙන් සංවිධානය කරන උත්සවයකදී දරුවන්ට වඩා වැඩි කාලයක් වැඩිහිටියන් වේදිකාවේ සිටිනවා නම්, මඳක් නතර වී සිතා බැලීම වරදක් නොවේ.

“අද ඔබේ දිනයයි” යනුවෙන් දරුවන්ට කියන අතරම ඔවුන් පේළි ගස්වා පුටුවල වාඩි කරවයි. ඉන්පසු වැඩිහිටියන් වේදිකාවට යති. ගී කියති. නටති. ක්‍රීඩා කරති. දරුවෝ බලා සිටිති. මේ දර්ශනයේ ඇති හාස්‍යය තේරුම් ගැනීමට විශේෂ අධ්‍යාපනඥයෙකු වීමට අවශ්‍ය නැත. “අද ඔබේ දිනයයි. ඒ නිසා අපි සෙල්ලම් කරනවා; ඔබලා බලාගෙන ඉන්න” යන පණිවිඩයක් නොදැනුවත්වම දරුවන්ට ලබා දෙනවාදැයි සිතා බැලිය යුතුය.

ඇත්ත වශයෙන්ම දරුවාට සතුට අවශ්‍යය. ගීතයක් අවශ්‍යය. නර්තනයක් අවශ්‍යය. ක්‍රීඩාව අවශ්‍යය. තෑග්ගක් අවශ්‍යය. එහෙත් දරුවාට ඒවාට වඩා තවත් දේවල් අවශ්‍යය. තමන්ගේ අදහස කියන්නට අවස්ථාවක්, තමන්ගේ හැකියාව පෙන්වන්නට වේදිකාවක්, තමන්ගේ ප්‍රශ්නයට වැඩිහිටියෙකු සවන් දෙන බවට විශ්වාසයක් සහ තමන් වැදගත් බව දැනෙන අත්දැකීමක් දරුවාට අවශ්‍යය. ළමා දිනය එවැනි දේවල් ගැන කතා කිරීමටත්, ඒවා අත්විඳීමටත් හොඳ අවස්ථාවකි.

ඒ වෙනුවට අපට බොහෝවිට පහසුම දේ තෝරා ගැනීම පහසුය. ශබ්ද විකාශන යන්ත්‍රයක් සවි කරන්න. ගීයක් දමන්න. ගුරුවරුන් වේදිකාවට කැඳවන්න. අත්පොළසන් ගන්න. ඡායාරූප ගන්න. සමාජ මාධ්‍යයට පළ කරන්න. උත්සවය අවසන්. “වැඩේ හරි!” එහෙත් දරුවාගේ අත්දැකීම ගැන අප කොපමණ සිතා තිබේද යන්න තවමත් ප්‍රශ්නයකි.

ගුරුවරුන්ගේ ගීයක් හෝ නර්තනයක් වෙනුවට දරුවන්ගේ නිර්මාණයක් වේදිකාවට ගෙන ඒමට බැරිද? සෑම දරුවෙකුටම තමන්ගේ නිර්මාණයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දිය හැකිය. චිත්‍රයක්, කවියක්, කෙටි කතාවක්, නව නිර්මාණයක්, ගීයක්, නර්තනයක් හෝ තමන්ගේ පාසල පිළිබඳ අදහසක් විය හැකිය. වේදිකාවට යාමට අකමැති දරුවාට වෙනත් ක්‍රියාකාරකමකින් සහභාගි විය හැකිය. දරුවා ප්‍රේක්ෂකයෙකු කිරීම වෙනුවට සහභාගිකයෙකු කළ හැකි අවස්ථා ඕනෑ තරම් තිබේ.

ඇත්තටම ළමා දිනයේදී දරුවන්ගෙන් එක් සරල ප්‍රශ්නයක් ඇසිය හැකිය. “ඔබට මොනවාද අවශ්‍ය?” එක් දරුවෙක් කියන්න පුළුවන්, “ක්‍රීඩා කරන්න හොඳ තැනක් ඕනෑ” කියා. තවත් කෙනෙක් “තවත් පොත් ඕනෑ” යැයි කියන්න පුළුවන්. තවත් කෙනෙකුට පිරිසිදු වැසිකිළි අවශ්‍ය විය හැකිය. තවත් කෙනෙකුට හිරිහැරවලින් තොර පාසල් පරිසරයක් අවශ්‍ය විය හැකිය. තවත් දරුවෙකුට තමන්ගේ අදහස් නිදහසේ කියන්නට අවස්ථාවක් අවශ්‍ය විය හැකිය. ඒ සියල්ල අපට ඉටු කළ නොහැකි වුවත්, අවම වශයෙන් දරුවාගේ හඬ ඇසෙන දිනයක් නිර්මාණය කළ නොහැකිද?

ළමා දිනයේදී තෑගි දීම සුන්දර සම්ප්‍රදායකි. චොකලට් එකක්, බිස්කට් එකක්, පෑනක් හෝ කුඩා සෙල්ලම් බඩුවක් ලැබීමෙන් දරුවා සතුටු වෙයි. එම සතුට වැදගත්ය. එහෙත් තෑගි පැකට්ටුව අවසන් වූ පසු එහි මතකයත් අවසන් වන්නේ නම්? ඒ වෙනුවට පාසල් පුස්තකාලයට පොත් එකතු කළොත්? ක්‍රීඩා උපකරණ ලබා දුන්නොත්? පාසල් වත්තේ පැළ සිටුවුවොත්? දරුවන්ගේ නිර්මාණ සඳහා අවශ්‍ය උපකරණ ලබා දුන්නොත්? එවිට ළමා දිනයේ තෑග්ග එක් දිනකින් අවසන් නොවේ. එය දරුවන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වෙයි.

ගුරුවරයාගේ භූමිකාව ද මෙහිදී වැදගත්ය. හොඳ ගුරුවරයා යනු සෑම විටම වේදිකාවේ මැද සිටින කෙනා නොවේ. සමහර විට ඔහු කළ යුත්තේ වේදිකාව දරුවාට භාර දීමය. දරුවා ගීයක් ගයන විට සවන් දීමය. දරුවා නටන විට දිරිගැන්වීමය. දරුවා වැරදුණු විට සිනා නොවී නැවත උත්සාහ කිරීමට ඉඩ දීමය. දරුවා ප්‍රශ්නයක් අසන විට එය නවතා දැමීම වෙනුවට “ඇයි එහෙම හිතන්නේ?” යනුවෙන් ඇසීමය. දරුවාගේ අදහසට වටිනාකමක් ලබා දීමය. ගුරුවරයාගේ විශාලතම “රංගනය” සමහර විට වේදිකාවේ සිදු නොවෙයි. එය දරුවෙකුගේ ජීවිතය වෙනස් කරන කුඩා මොහොතක සිදු විය හැකිය.

එබැවින් ලබන ළමා දිනයේදීත් සුපුරුදු වැඩසටහනම කළ හැකිය. ගුරුවරු ගී කියති. ගුරුවරු නටති. දරුවෝ අත්පොළසන් දෙති. ඡායාරූප ගනිති. සමාජ මාධ්‍යවල පළ කරති. “සුන්දර ළමා දින සැමරුමක්…” යනුවෙන් සටහනක්ද දමති. එයද කළ හැකිය. නමුත් ඊට පෙර අපට තවත් ප්‍රශ්නයක් ඇසිය හැකිය. “අද අපි දරුවන් වෙනුවෙන් කළේ මොනවාද?”

දරුවන්ට කොපමණ වේලාවක් කතා කරන්න ලැබුණාද? කොපමණ දරුවන්ට තමන්ගේ හැකියාව පෙන්වන්න ලැබුණාද? කොපමණ දරුවන්ට තමන්ගේ අදහස කියන්න ලැබුණාද? උත්සවය අවසන් වූ පසුවත් දරුවන්ට ප්‍රයෝජනවත් වන කුමක් ඉතිරි වූවාද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම තවත් ගීයක් පුහුණු කිරීමට වඩා වැදගත් විය හැකිය.

ළමා දිනයේදී ගුරුවරුන් ගී ගයන එක නවත්වන්න යැයි කිසිවකු කියන්නේ නැත. ගුරුවරුන් නටන එක නවත්වන්න යැයිද කිසිවකු කියන්නේ නැත. නමුත් දරුවන්ගේ දිනයේදී දරුවන්ටත් ගීයක් ගයන්න, නටන්න, ක්‍රීඩා කරන්න, ප්‍රශ්න අසන්න, අදහස් කියන්න සහ තීරණ ගැනීමට අවස්ථාවක් දිය යුතුය. ඔවුන්ගේ හඬට ඉඩ දිය යුතුය. ඔවුන්ගේ සිහින ගැන කතා කළ යුතුය.

මන්ද, ළමා දිනයේදී දරුවාට අවශ්‍ය වන්නේ වැඩිහිටියන්ගේ විනෝදය බලා සිටීම පමණක් නොවේ. තමන්ගේ ලෝකය තුළ තමන්ටත් ප්‍රධාන චරිතයක් වීමට අවස්ථාවක් ලැබීමය.

ඒ නිසා ලබන ඔක්තෝබරයේ වේදිකාව සූදානම් කරන විට පුංචි වෙනසක් කරමු. මයික්‍රෆෝනය ගුරුවරයාගෙන් දරුවාට දෙමු. ක්‍රීඩා පිටිය වැඩිහිටියන්ගෙන් දරුවන්ට දෙමු. වේදිකාව දරුවන්ට විවෘත කරමු.

එදා ගුරුවරුන්ට අත්පොළසන් ලැබෙන්නේ නැතිවෙන්නත් පුළුවන. ඒ වෙනුවට දරුවන්ට අත්පොළසන් දෙන්න අපට සිදුවනු ඇත. එවිට, සමහරවිට, අපි පළමු වතාවට සැබෑ ළමා දිනයක් සමරා තිබෙනු ඇත.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

එතෙර - මෙතෙර