අපේ රට අපි කෑවම කාටවත් මොකද?කියන දවසකුත් ළඟදිම ඒවි

අද වෙන කොට අපේ රට සැලකිය යුතු අන්දමින් ආර්ථික පසුබෑමකට ලක් වෙලා තිබෙන බව කිසිවකුටත් රහසක් නොවෙයි. මේ සම්බන්ධ එක එක විද්‍යාත්මක විවරණ ඉදිරිපත් වුණත් මේ තත්වයේ සෘජු බලපෑම එල්ල වන්නේ අපේ සාමාන්‍ය සමාජයට.

ආහාර පාන මුල් කරගත් මූලික අවශ්‍යතා ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටු කරගැනීම සම්බන්ධයෙන් දුෂ්කරතා පැන නඟින කොට මිනිස්සුන් ගේ සිතුම් පැතුම් ආකල්ප ස්වභාවිකවම ව්‍යාකූල වෙනවා; ඒ මුල් කොට කතා බහ හැසිරීම් වෙනස් වෙනවා; ඒ එක්කම චර්යා රටා; ඒ කියන්නේ හැසිරීම් වෙනස් වෙනවා.

එහෙම මිනිසුන් ගේ හැසිරීම් දිගින් දිගටම වෙනස් වෙන්න පටන් ගන්න කොට ටිකෙන් ටික ඒවා සම්ප්‍රදායන් බවට පත් වෙනවා; කාලයක් යද්දී ඒ සම්ප්‍රදායන් සංස්කෘතීන් බවට පත් වෙනවා.

ඊට පස්සේ ඒ සංස්කෘතික ලක්ෂණ වෙනස් කරන එක හරිම අමාරු වැඩක්. ඒකට දැවැන්ත සමාජමය ප්‍රතිරෝධයක් එල්ල වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සමාජයේ සිතුම් පැතුම් වෙනස් කරන තීරණාත්මක සාධක ඉදිරිපත් වෙන්න ඕනේ. නමුත් එහෙම දෙයක් කවදා කොහොම වේවිද කියලා දැන්ම කාටවත් කියන්න බෑ.

වර්තමානයේ අපේ සමාජය මුහුණ දෙන ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟතාව ගැන පුළුල් සමාජමය කතිකාවක් ගොඩනැඟිලා තියනවා. ඒ ඔස්සේ ජනතාව මුහුණ පාන නැති බැරිකම් ගැන කොතෙකුත් කතා බහට ලක් වෙනවා.

නමුත්, මේ සමාජ සංසිද්ධිය තුළින් ඉස්මතු වෙන සමාජ සංස්කෘතික සදාචාර අවනතිය,විලෝපනය ගැන තාමත් විවෘත සංවාදයක් ඇති වෙලා නැති බවයි මගේ වැටහීම. වර්තමාන සමාජමය අවනතියේ අන්තිම පල විපාකය තමයි ඒ තුළින් මතුවන නරුම සමාජය.

ඒ ඔස්සේ තමයි අපේ රටේ, සමාජයේ ඉදිරි දිශානතිය තීරණය වෙන්නේ. මම හිතන්නේ දැන්වත් මේ සම්බන්ධයෙන් අපේ මානව සමාජ විද්‍යා විෂය පථයන් ඔස්සේ වැඩිපුර අවධානයක් යොමු වෙන එක හොඳයි කියලයි.

දැන් මම මේ කාරණය වඩාත් සරල විදිහකින් විස්තර කරන්න උත්සාහ කරන්නම්.

අපි පොදුවේ ශ්‍රී ලාංකිකයන් විදිහට හඳුනා ගන්නවා. නමුත්, අපේ ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ වුණත් නොයෙකුත් ආකාරයේ විෂමතා ඕනෑ තරම් දකින්න පුළුවන්.

ජාති, ආගම් ආදී සංස්කෘතික පසුතලයන් ඔස්සේ වගේම ගති සිරිත් වශයෙන් වුණත් එක් එක් ජන කොටස් වෙන් කොට හඳුනා ගැනීමේ ස්වභාවයක් අපේ සමාජයේ බොහෝ දෙනෙක් තුළ තියනවා; සමහරු එක් එක් ජන කොටස් කුල වශයෙන් වෙන් කරලා; ඒ අයට ආවේණික වෙනම ගති සිරිත්, චරිත ලක්ෂණ ආරෝපණය කරන්න,හුවා දක්වන්න උත්සාහ කරනවා.

නිදසුනක් හැටියට කවුරුන් හෝ ටිකක් වැඩිපුර ශබ්ද නඟා කතා කළොත් ඒ තැනැත්තා අහවල් කුලයේ කෙනෙක් වගේ කියා කුලාපවාදයකින් නිග්‍රහ කිරීමේ පුරුද්දක් සමහරුන් තුළ තියෙනවා.

ඒ වගේම සමහර ජන කොටස්වල චණ්ඩිකම්, දාමරිකකම් ගැන වංචා ගැන කතා කරන සමහරෙක් ඒ ක්‍රියාවන් ජාති වශයෙන් කුල වශයෙන් ගම් වශයෙන්, ප්‍රදේශ වශයෙන් ඒ බෙදා වෙන් කර දක්වන්න උත්සාහ කරනවා.

අපේ රට පළාත් නවයකට බෙදිලා තිබුණත් ඒ පලාත් නවයෙන් දකුණු පළාත විශේෂ අනන්‍යතාවයක් ගන්නවා. “අපි දකුණේ මිනිස්සු” සමහරු බාහිර සමාජයෙදි කිසියම් අභිමානවත් ස්වරූපයකින් එහෙම කියනවා; ඕනෑ තරම් අහලා ඇති.

නමුත් දකුණු පළාත ඇතුලේ ඒ වගේ පොදු ඒකමතික බවක් නැහැ. දකුණු පළාතේ සමාජයත් ජාතීන් වශයෙන්, කුල වශයෙන් වගේම ප්‍රදේශ වශයෙන් බෙදා වෙන් කිරීමක් අභ්‍යන්තරික වශයෙන් දකින්න පුළුවන්. විශේෂයෙන් දකුණු පළාතේ වැසියන් අතුරින් මොරවක් කෝරලේ වැසියන් මුල් කර ගෙන විශේෂ උපහාසාත්මක පුරාවෘත්ත රාශියක් ප්‍රබන්ධය වෙලා තියනවා.

ඒ අතරින් මොරවක් කෝරලේ මිනිසුන්ගේ හඳට ගල්ගැසීමේ කතාවට සැලකිය යුතු ප්‍රසිද්ධික් ලැබිලා තියනවා.මම මේ කාරණය ඉස්මතු කළේ දකුණු පළාතෙ ජනතාව විශේෂයෙන් හුවා දක්වන්න එහෙම නෙවෙයි.මිනිස් සමාජයේ පවතින පොදු ලක්ෂණයක් සඳහා ගන්න උදාහරණයක් හැටියට විතරයි.

මතුපිටින් බලනකොට මේවා නවීන සමාජයට නොගැලපෙන පුහු මනස්ගාත හැටියට යමෙකුට පේන්න පුළුවන්. නමුත් සමාජ මානව විද්‍යා විෂය පථය තුළ මේවා ගැඹුරින් විමර්ශනයට ලක්විය යුතු මාතෘකා.

ඒ එක් එක් සමාජ ඒකක වල ජනතාව තුළ ඒ අයටම ආවේණික සිතුම්, පැතුම්, ආකල්ප භාෂා ව්‍යවහාර හැසිරීම් චර්යා රටා ඇති වෙන්නේ කොහොමද? ඒවාට හේතු මොනවාද?සමාජ ඒකක දෙකක් අතර තියන අන්තර් සබඳතා මොනවාද? වගේ කරුණු විද්‍යාත්මකව විමර්ශනය කරලා සමාජයට වැඩදායක විදිහට ඒවා යොදා ගැනීමේ වගකීම අපේ සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයේ නියුතු කාටත් පැවරී තිබෙනවා.

ඉන්දියාවේ මුම්බායි ආශ්‍රිතව තියන ධරාවී කියන අඩු ආදායම්ලාභීන් ගේ සුවිසල් නිවාස පද්ධතිය ලෝකයේ ඇති විශාලතම අඩු ආදායම් ලාභී නිවාස පද්ධතියක් විදිහට සැලකෙනවා.

මුම්බායි නගරයේ කාර්මිකකරණය මුල් කරගෙන කාලාන්තරයක් තිස්සේ ග්‍රාමීය ප්‍රදේශවලින් මුම්බායි නගරයට සංක්‍රමණය වුණු අනේක විධ ජන කොටස් වලින් සැදුම්ලත් ධරාවී අඩු ආදායම් ලාභී නිවාස කලාපය මුල් කරගෙන ඉන්දීය සමාජ මානව විද්‍යාඥයන් දශක ගණනාවක් මුළුල්ලේ ගැඹුරු විද්‍යා ශාස්ත්‍රීය හැදැරීම් සිදු කරමින් ද හිඳිනවා.

ඒ ඒ ජනතාවගේ සකල විධ ජීවන චර්යාවන්; ලිංගික කටයුතු පවා සමාජ, මානව විද්‍යාඥයන් ගේ විමර්ශනයට ලක්වෙලා තිබෙනවා. ඒ වගේම ඒ විමර්ශන වලින් මීට දශක කීපයකට කලින් ඒ අය ගත් නිගමන අද වෙනකොට ශීඝ්‍රයෙන් වෙනස් වී ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

ධරාවි වැසියන් ගේ ආර්ථික, සමාජ මට්ටමේ වෙනස් වීමත් සමඟ ඒ අයගේ සිතුම් පැතුම්, ආකල්ප වල සිට සන්නිවේදන, චර්යා ආදියේ ඇති වූ වෙනස්කම් මනාව නිරීක්ෂණය කරන්නට ඉන්දීය සමාජ, මානව විද්‍යාඥයන් සමත් වී තිබෙනවා.

නමුත් ඉතා කණගාටුවෙන් වුණත් කිව යුත්තේ ඒ තත්වය සම්බන්ධයෙන් ඉන්දියාව හා මූලික වශයෙන් කරුණු සංසන්දනය කිරීමටවත් උවමනා මූලික දත්ත සහ සාධක අපේ සමාජ විද්‍යා විෂය පථය තුළ නොමැති බවයි.

අද වෙන කොට අපේ රටේ සමාජ මානව විද්‍යා විෂය පථය හුදෙක් අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් විතරක් වෙන් වෙලා තියනවා. මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ එක්තරා අන්දමක ස්වයං විවේචනයක් විදිහට.

ඉන්දියාව වගේම ලෝකයේ සෙසු රටවල් ගත්තත් ඒ රට වල ජනතාව සහ අපේ රටේ ජනතාව අතරේ පැහැදිලි වෙනස්කම් දකින්න පුළුවන්. ඒවා අපේ සමාජ සංස්කෘතික දෘශ්ඨි කෝණවලට අනුව හොඳ නරක ලෙස වෙන්කර දක්වන්නත් පුළුවන්.විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් භුක්ති විඳීම අතින් මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල් අප පසු කර යමින් තිබෙනවා.

නමුත් මේ “හොඳ -නරක” කියන හැඳින්වීම විද්‍යාත්මක ව්‍යවහාරයක් නම් නොවෙයි. ඒවා සංවිධිත, අසංවිධිත, සාධනීය, නිශේධනීය ආදී වචන මගිනුයි විද්‍යාත්මකව විස්තර කෙරෙන්නේ.

කවර හෝ ජන සමාජයකට ආහාර පාන ඇතුළු මූලික ජීවන අවශ්‍යතා සංතෘප්ත කරගැනීමේ මංපෙත් අහිමි වීම මත පුද්ගල, පවුල, ප්‍රජා සේම සමාජමය වශයෙනුත් සිතුවිලි විෂම හා දූෂිත බවට පත් වෙනවා.

ධනෝපායනයෙන් තොරව කිසිවක් කර කියා ගත නොහැකි වර්තමාන සමාජ, ආර්ථික ක්‍රමය තුළින් ධනෝපායන සඳහා වන නොවිධිමත් ක්‍රම වේගයෙන් ඉස්මතු වෙනවා.

හොරකම, වංචාව, දූෂණය ආදී මෙකී නොකී නම් වලින් හැඳින්වෙන නීති සහ සාදාචාර විරෝධී ක්‍රියා මාර්ග කෙමෙන් සමාජමය කරලිය තුළ රජයන්නට පටන් ගන්නවා. අපේ සමාජය මේ වන විටත් මේ ගමන් මගේ සැලකිය යුතු දුරක් පැමිණ සිටින බව රහසක් නොවෙයි.

අද අපේ රටේ හොරකම, වංචාව, දූෂණය නැති විෂය පථය මොකක්ද? කියන ප්‍රශ්නයට ඇති එකම උත්තරය නිරුත්තර භාවය විතරයි. අපි මෙහි දී මේ තත්වය සාදාචාරමය බිඳ වැටීමක් ලෙස දුටුවත් සදාචාරය කියන්නේ සමාජ සම්මතය මත පිහිටන්නක්.

ඒ නිසා පස්සේ එවැනි තත්වයනුත් සදාචාරාත්මක ලෙස හැඳින්වෙන්න පුළුවන්.ඒකට හේතුව මිනිස් සදාචාර ධර්ම තුළත් සංස්කෘතික විෂමතා දක්නට තිබීම.ඉස්ලාම් දහමින් ලබා දී ඇති බහු භාර්යා විවාහ අනුමැතිය ඊට ඒක් නිදසුනක්.

සොරුන්, බොරුකාරයන්, වංචාකාරයන් නැති සමාජයක් ලෝකයේ කිසිම තැනක දකින්න නැති බව ඇත්ත. ඒත්, ඒ නීති සහ සමාජ විරෝධීන් ගේ ප්‍රමාණය සමාජයෙන් සමාජයට අඩු වැඩි බවක් පළ කරනවා.

යම් සමාජයක පහළම ස්ථරය තුළින් නීති සහ සදාචාර විරෝධීන් බිහි වීම සාමාන්‍ය දෙයක්. නමුත් අතිශය බරපතලම කාරණය වන්නේ ඒ නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන් සමාජයේ ඉහළම ස්ථරයන් දක්වා ව්‍යාප්ත වීමයි. එහෙම නැත්නම් රටේ පාලක පැලැන්තිය පවා ඒ මට්ටමට වැටීමයි.ඒ සම්බන්ධයෙන් අපේ රටේ තත්වය ඔබට අමුතුවෙන් කිව යුතු නෑ.

වර්තමාන සමාජයේ පවතින ආර්ථිකමය පසුබෑම මුල්කරගෙන නීති සහ සාදාචාර විරෝධී ක්‍රියා ඉහළ යාමට පැහැදිලිම හේතුවක් වන්නේ කලින් එවැනි සමාජ අපගමනයන්ට දායක නොවූ පිරිස් විශාල වශයෙන් ඒ අපගමනමය සමාජ පරාසයට එක් වීමයි.

කලින් නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ට ස්වභාවික නැඹුරුවක් පළ කළ ජනකොටස් වලට අමතරව මූලික අවශ්‍යතා නොවන අනෙකුත් අවශ්‍යතා සහ ආශාවන් සංතෘප්ත කරගැනීමේ මංපෙත් අහිමි විද්වත් වෘත්තිකයන් පවා වැඩි වැඩියෙන් ඒ සමාජමය කොටසට පිවිසීමේ පැහැදිලි අවදානමක් තිබෙනවා.

එවිට අපට අත්විඳින්නට ලැබෙන ‘ඛේදනීය සමාජමය ප්‍රතිලාභය’ තමයි සොරුන්, වංචාකරුවන්, දූෂිතයන් ගෙන් සපිරුණු සාරධර්ම විරහිත සමාජය (Anomic society ) නම් සමාජමය තත්වය. දැන් අපි ඉතා වේගයෙන් ඒ බිහිසුණු මංපෙතට පිවිස හිඳින බව අකමැත්තෙන් වුණත් කිව යුතුයි. ඒකයි දැන්ම මේ ගැන පොදු ජන අවධානය යොමු විය යුත්තේ.

“කවුරුන් වංචා, දූෂණ වල යෙදුණත් අපි නම් කවදාවත්, මොනම හේතුවක් මත වත් ඒ තත්වයට පත් වන්නේ නෑ” කියන පිරිසකුත් අපි අතරේ ඉන්නවා.

නමුත් මේ කාරණය සම්බන්ධයෙන් 2019 අවුරුද්දේ කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පර්යේෂක ෆූ නින් හෝ ගේ ප්‍රධානත්වයෙන් යුතු සමීක්ෂණ කණ්ඩායමක් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබුණා.

අධ්‍යාපන විෂය පථය මුල් කරගෙන සිදු කළ ඒ සමීක්ෂණයේ දී වංචාව සිදු කිරීම සේම එය නිහඬව දරා ගැනීමත් බරපතල සමාජමය අපගමනයකට හේතු වන බව අනාවරණය වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පෙරදිග සංස්කෘතීන් තුළ වැඩි නැඹුරුවක් ඇති බව ද ප්‍රකාශ වී තිබුණා.

ඒ කොහොම වුණත් පාලකයන් රට සංවර්ධනය කරනවා නම් හොරකම් කළත් මොකද කියා මේ වන විට ඉස්මතු වෙලා තියන ජන මතය “අපේ රට අපි කෑවම කාටවත් මොකද?”කියන අදහස දක්වා ප්‍රවර්ධනය වෙලා ඒක සමාජ පරමාදර්ශයක් වෙන දවස වැඩි ඈතක නැහැ කියන එකයි මගේ වැටහීම.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

 

 

එතෙර - මෙතෙර