අශෝක පීරිස් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් හදිසියේ ඉවතට

ජාතික ජනබලවේගය ආරම්භ කිරීමට පුරෝගාමීි මෙහෙවරක් කළ එහි ජාතික විධායක කමිටුවේ සාමාජිකයෙකු හාශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයකු වූ හිටපු අමාත්‍යාංශ ලේකම් ටී අශෝක පීරිස් මහතාව කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ.
ඔහුව එම තනතුරෙන් ඉවත් කර ඇත්තේ එම ආයතනය අයත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි. ඒ එම තනතුර සඳහා ජාතික ලුණු සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ ගයාන් වෙල්ලාල මහතා පත් කිරීම මගින්ය.එම ඉවත් කිරීම සම්බන්ධයෙන් කිසිදු පෙර දැනුම් දීමක් විෂය භාර ඇමතිවරයා හෝ ජාතික ජන බලවේගය අශෝක පීරිස් මහතාට දැනුම් දී නැති අතර ඔහු ඒ බව දැනගෙන ඇත්තේ නව සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්වරයාට යොමුකර ඇති පිටපතක් මගිනි.
අශෝක පීරිස් මහතා ජාතික ජන බලවේගය වෙනුවෙන් කටයුතු කිරීමට පැමිණි පළමු හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා වීම විශේෂත්වයකි.එම දේශපාලන කඳවුර පිහිටුවීම සඳහා රට පුරා පවත්වනු ලැබූ රැස්වීම්වල ප්‍රධාන කථිකයකු වූ අශෝක පීරිස් මහතා මීට පෙර යහපාලන ආණ්ඩු සමයේදී ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් එය ලාභ ලබන තත්වයට පත් කොට තිබේ.ඒ අතර පළාත් පාලන ආයතන සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ ප්‍රධානියා ලෙස එම කමිටු වාර්තාව ආණ්ඩුවේ කැමැත්ත නොතකා නියමිත කාලයේදී ඉදිරිපත් කිරීම නිසා එවක ඔහු එම තනතුරෙන් ඉවත් කරනු ලැබීය.

කාලීන පුවත්