අගමැති මෝදිට හිසරදයක් වූ ඉන්දියාවේ කැරපොත්තෝ


අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහි ඉන්දියාවේ “කැරපොත්තන්ගේ ” විරෝධතා ව්‍යාපාරය මේ වනවිට දකුණු ආසියානු දේශපාලන කරළියේ වඩාත්ම අවධානය යොමු වන උණුසුම් සිදුවීමක් වී තිබේ. තරුණ තරුණියන්ගේ නායකත්වයෙන් යුතු කැරපොතු ජනතා පක්ෂය නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් දියත් කරනු ලැබ ඇති මෙම විරෝධතාව මේ වෙද්දී මෝදි රජයට සැලකිය යුතු හිසරදයක් වී ඇත. මෙය පසුගිය කාලයේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය වැනි දකුණු ආසියානු රටවල ද ඇති වූ තරුණ නැගිටීම් සිහිගන්වන්නකි.

අගමැති මෝදි

කෙසේ හෝ වේවා කැරපොතු ව්‍යාපාරයේ විරෝධය ප්‍රධාන වශයෙන්ම එල්ල වන්නේ ඉන්දියාවේ අධ්‍යාපන බලධාරීන්ට සහ ආයතනවලට එරෙහිව යි. එහි පසුබිමේ ඇත්තේ එරට තරුණ තරුණියන් පෙනී සිටින ඉතාම තරගකාරී, විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගවල ප්‍රශ්න පත්‍ර වේලාසනින් පිටවීම පිලිබඳ ගැටලුවකි. මේ ආකාරයෙන් මෙම ප්‍රශ්න පත්‍ර පිටවීම කාලයක් තිස්සේම සිදු වෙමින් පවතින්නකි. මේ නිසා විභාග අවලංගු කිරීමත්, නැවත පැවැත්වීමත් නිතර නිතර සිදුවන්නක් වන අතර එම තත්වය තුළ සිසු සිසුවියෝ බොහෝ අපහසුතාවන්ට, මානසික පීඩාවන්ට පත් වෙති. සිසු සිසුවියන් සිය දිවි නසා ගැනීමේ සිදුවීම් රැසක් ද පසුගිය කාලයේ වාර්තා වී තිබිණි.

මේ ආකාරයේ අවාසනාවන්ත තත්වයක් ඇතිව තිබෙන්නේ අධ්‍යාපන බලධාරීන්ගේ සහ ආයතනවල අක්‍රමිකතා, අකාර්යක්ෂමතා නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙවැනි ගැටලු තුරන් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවට උද්ඝෝෂණය කරන තරුණ තරුණියන්ගේ ප්‍රධානම ඉල්ලීමක් වී ඇත්තේ අධ්‍යාපන ඇමැති ධර්මේන්ද්‍ර ප්‍රදාන් ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව යි. මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් තරුණ තරුණියෝ, දෙමව්පියෝ, දේශපාලනඥයෝ ඇතුළු දහස් ගණනක් නව දිල්ලි නුවර කඳවුරු ලාගෙන විරෝධතා දක්වමින් සිටිති.

ඉන්දියාවේ නළු නිළියන් වැනි අය පවා විරෝධතා දක්වන තරුණ තරුණියන් වෙනුවෙන් පෙනී සිටිනු දැකිය හැකි වේ. සල්මාන් ඛාන්, ආලියා භාත්, ෂබානා අස්මි, නසිරුද්දින් ෂා වැනි අය ඒ අතර වූහ.

රටක අධ්‍යාපන ක්‍රමය තරුණ තරුණියන්ගේ සිහින ඉටු කර දෙන්නක් විනා ඒවා බිඳ දමන්නක් නොවිය යුතු බව සල්මාන් පවසා තිබිණි . දූෂිත, අකාර්යක්ෂම අධ්‍යාපන ක්‍රමයක් වෙනුවට අවංකත්වය, විශ්වාසය මත ගොඩ නැගුණු , අදූෂිත අධ්‍යාපන ක්‍රමයක් සඳහා තරුණ පරපුරට අයිතියක් ඇති බව ද ඔහු තව දුරටත් සඳහන් කර ඇත.

ධර්මේන්ද්‍ර ප්‍රදාන්

තරුණ සිසු සිසුවියන්ගේ මෙම ව්‍යාපාරයට කැරපොත්තන්ගේ නම ඈඳුණු ආකාරය ද අපූරු ය. එයට පසුබ්ම් වූයේ මෙයට මාස කිහිපයකට පෙර ඉන්දියාවේ අග ව්නිසුරුවරයා විසින් කරන ලද ප්‍රකාශයකි. රජයේ ප්‍රතිපත්තිවලට සමාජ මාධ්‍ය ආදිය හරහා විරෝධය දක්වන තරුණ තරුණියන් කැරපොත්තන්ට සහ පරපෝෂිතයන්ට සමාන කරමින් ඔහු අධිකරණයේ දී ප්‍රකාශයක් කළේය. මෙය බොහෝ තරුණ තරුණියන් තුළ නොසතුටක් ඇති කළ කාරණයක් වූයේය.

අගවිනිසුරුවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අභිජීත් දිප්කේ නැමැති 30 හැවිරිදි තරුණයෙක් ඔහුගේ X පිටුවේ පෝස්ටුවක් පළ කළේය. “සියලුම කැරපොත්තන් එකතු වුණොත් මොකක් වෙයි ද?” යනුවෙන් එහි සඳහන් විය.

දිප්කේ ගේ මේ පෝස්ටුවට මිලියන ගණන් තරුණ තරුණියන් ප්‍රතිචාර දැක් වූ අතර එය අතිශයින් ජනප්‍රිය පෝස්ටුවක් බවට පත්විය. එයින් වඩාත් උද්‍යෝගයට පත් දිප්කේ කැරපොතු ජනතා පක්ෂය යන නමින් ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් , වෙබ් අඩවියක් ආදිය ද ආරම්භ කළේය. ඔහු කැරපොතු ජනතා පක්ෂය යන නම යෙදුවේ මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය යන නමට සමච්චලයට මෙනි.

මේ සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ අති විශාල පිරිසක් ඒකරාශි කර ගැනීමට දිප්කේට හැකි වූ අතර එයින් පසු ඔවුහු සමාජ මාධ්‍ය වේදිකාවලට පමණක් සීමා නොවී මහ පොලොවේ විරෝධතා සංවිධානය කිරීමට පටන් ගත්තෝය.

අභිජීත් දිප්කේ

ජුනි මාසයේ මුල සිට ඉන්දියාවේ විවිධ නගරවල “කැරපොතු විරෝධතා” පැවැත්වුණු අතර එහි කූඨප්‍රාප්තිය සටහන් කරමින් ජුනි 20 වැනි දින ඔවුහු නව දිල්ලියේ ජන්තර් මන්තර් නැමැති විරෝධතා භූමියේ කඳවුරු බැඳ ගත්තෝය.

නමුත් ඉන්දීය පාලකයන් තරුණයන්ගේ විරෝධතා සහ ඉල්ලීම් ගණන් ගත් බවක් පෙනුණේ නැත. ඔවුන් මේ ඉල්ලීම් නෑසුණු ආකාරයෙන් සිටිනු දැක ගන්නට ලැබිණි. ඇතැමුන් මේ විරෝධතා විහිළුවට ලක් කිරීමට පවා පියවර ගෙන තිබිණි.

එම තත්වය තුළ විරෝධතාකරුවන්ගේ ඉවසීම ඉක්මවා යාමට පටන්ගත් අතර පසුගිය ජුලි 20 වැනි දින ඔවුහු ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා පෙලපාලියක් පැවැත්වීමට සූදානම් වූහ.
නමුත් රජය ඊට දැඩි මර්ධනයකින් පිලිතුරු දුන්නේය.

පොලිසිය විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් අතර වඩාත් උණුසුම් තත්වයක් මතු කිරීමට රජයේ මෙම මර්ධනකාරී පියවර හේතු විය.

ඉතා සාධාරණ හේතු මත සාමකාමී විරෝධතාවක නියැළුණු තරුණ තරුණියන්ට පොලිසිය අමානුෂික ආකාරයෙන් එලව එලවා පහර දෙන ආකාරය දැක්වෙන විඩියෝ දර්ශණ වේගයෙන් සංසරණය වන්නට පටන්ගත් අතර මෙය තරුණ තරුණියන් වෙත ජනතාවගේ අනුකම්පාවත්, පාලකයන් වෙත කෝපයත් යොමු කරන්නට හේතුවක් වූයේය.

නළු නිළියන් වැනි පාර්ශ්ව පවා විරෝධතාකරුවන් වෙනුවෙන් කතා කිරීමට පෙරට ආවේ මෙම තත්වය තුළ යි.

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ ද සිසුන් වෙනුවෙන් හඬ නගන්නට පටන්ගත් අතර විපක්ෂ නායක රාහුල් ගාන්ධි අගමැති මෝදි ගේ නිල නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළේය. ඒ පොලිසිය සිසුන් මර්ධනය කළ ආකාරයට විරුද්ධත්වය පළ කරමිනි. අගමැතිවරයා, අභ්‍යන්තර කටයුතු පිලිබඳ ඇමැති අමිත් ෂා සහ අධ්‍යාපන ඇමැති ප්‍රදාන් ඉල්ලා අස්විය යුතු යයි ද ඔහු ප්‍රකාශ කළේය.

ඔහුගේ විරෝධතාව අවසන් කරන ලෙස පොලිසිය දැනුම් දුන් නමුත් ගාන්ධි ඊට කන් නොදුන් තැන ඔහු පොලිස් භාරයට ගෙන රඳවා තැබීමට පොලිසිය කටයුතු කළේය. ඔහුගේ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි ඇතුළු තවත් විපක්ෂ සාමාජිකයන් කිහිප දෙනෙකු ද මේ ආකාරයෙන් රඳවා ගෙන තිබිණි.

තත්වය මේ ආකාරයෙන් උණුසුම් වෙද්දී අගමැති මෝදිට තව දුරටත් මේ ගැන නිහඬව සිටීමට අපහසු තත්වයක් ඇති වූ බව පෙනිණි. ඔහු පසුගිය 23 වැනිදින පළමු වතාවට මේ ප්‍රශ්නය ගැන ප්‍රකාශයක් කළේය.

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම පිලිබඳ කාරණයට වගකිව යුතු පාර්ශ්වවලට දැඩි දඬුවම් ලබා දීම සඳහා ක්ෂණික අධිකරණ පිහිටුවන බවට ඔහු පොරොන්දු වූයේය. “අපේ තරුණ පරපුරේ සුබ සිද්ධිය සහ අනාගතය තරම් වෙන කිසිවක් වැදගත් නැහැ. ඔවුන්ගේ අනාගතයට හානි කිරීමට උත්සාහ කරන කිසිවෙකුට නිදැල්ලේ සිටීමට ඉඩ දෙන්නේ නැහැ” අගමැතිවරයා සිය X පිටුවේ සඳහන් කළේය.

මෙම අධිකරණ පිහිටුවීමට අදාල පනත් කෙටුම්පතක් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කර තිබිණි.

අගමැතිවරයා මේ පොරොන්දු ලබා දුන්නත් මෙම සටහන ලියන අවස්ථාව වනවිටත් සිසුන් විරෝධතාව අවසන් කර තිබුණේ නැත. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීමක් වූයේ අධ්‍යාපන ඇමැති ප්‍රදාන් ඉල්ලා අස්විය යුතු බව සහ අධ්‍යාපන ක්‍රමයේ ව්‍යූහාත්මක වෙනස්කම් සිදුවිය යුතු බව යි. අගමැතිවරයා කරන්නේ රෝග ලක්ෂණවලට පිලියම් කිරීමක් පමණක් බව කැරපොතු ව්‍යාපාරයේ ප්‍රකාශකයන් සඳහන් කර තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර