ශ්‍රී ලංකාවෙන් සිදු කෙරෙන ආනයන සම්බන්ධ විදේශ මුදල් ගෙවීම් වඩාත් කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා රජය නව නියාමන හඳුන්වා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ නව රෙගුලාසි අනුව, ආනයන ගනුදෙනු සඳහා සිදු කරන සෑම ගෙවීමකටම බැංකු මඟින් විශේෂ ගනුදෙනු අංකයක් ලබා දිය යුතු වේ.
එම ගනුදෙනු සම්බන්ධ සියලු තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමද අනිවාර්ය කර ඇත.
ඒ අනුව ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ලිපිනය, ප්‍රතිලාභියාගේ තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවීම් මුදල, මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි, ගෙවීම් දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරන භාණ්ඩ විස්තර ඇතුළු තොරතුරු බැංකු මඟින් රේගුව වෙත ලබා දිය යුතුයි.
එමෙන්ම, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට පෙර ආනයනකරුවන් ශ්‍රී ලංකා රේගුවේ සුදුසුකම් ලත් ආනයනකරුවෙකු ලෙස ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.
ලියාපදිංචිය නොමැති ආනයනකරුවන් සඳහා වාණිජ බැංකුවලට අත්තිකාරම් ගෙවීම් සිදු කිරීමට අවසර නොලැබෙන බවද නව රෙගුලාසිවල සඳහන් වේ.මෙම නව නියෝග 2026 ජූනි 19 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.
රජය පවසන්නේ මෙම පියවර මඟින් ආනයන ක්ෂේත්‍රයේ විනිවිදභාවය වැඩි කිරීම සහ විදේශ විනිමය පිටතට ගලායාම නිසි ලෙස නිරීක්ෂණය කිරීම අරමුණු කර ඇති බවයි.