ආමන්ත්‍රණවලට සීමා නොවූ අපේ කාලයේ “සර්” “මැඩම්”ලා


රටවල් සහ සියවස් ගණනාවක් පුරා සංක්‍රමණය වෙද්දීත්, තමන්ගේ මුල්ම අර්ථය වෙනස් නොකර ඒ අයුරින්ම රැගෙන යන ඇතැම් වචන තිබේ. ඒ අතරම, තවත් සමහර වචන කොතරම් දුරක් ගමන් කරන්නේද යත්, කාලයත් සමඟ ඒවා මුළුමනින්ම වෙනස්ම වචන බවට පත්වෙයි. ‘සර්’ (Sir) සහ ‘මැඩම්’ (Madam) අයිති වන්නේ ඒ දෙවැනි ගණයට ය.

බොහෝ ශ්‍රී ලාංකිකයන්ට නම් මේ වචන දෙක එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි කොටසකි. විශ්වවිද්‍යාලයේදී දේශකවරුන්ට “සර්” යැයි අමතන අතර දේශකවරියන්ට “මැඩම්” යැයි අමතනු ලබයි. අප පාසල් යන කාලයේ ගුරුවරුන්ට “සර්” යැයි ඇමතුවද ගුරුවරියන්ට ඇමතුවේ “මිස්” නැතහොත් ටීචර් කියාය. නමුත් අද වන විට පාසල් පද්ධතිය තුළත් ගුරුවරුන්ට “සර්” ද, විදුහල්පතිනිය ඇතුළු සියලු ගුරුවරියන්ට “මැඩම්” යන්න භාවිත වනු දක්නට ලැබේ.

කාර්යාලයක සේවකයෙක් තම කළමනාකරු සමඟ කතා කරද්දී “සර්” යැයි කියයි. බැංකු නිලධාරියෙක් පාරිභෝගිකයෙකු පිළිගන්නේ “ගුඩ් මෝනින්, මැඩම්” (Good morning, Sir/Madam) කියමිනි. රෝහලක පිළිගැනීමේ නිලධාරිනියක් “අහවල් සර් දැන් ටිකකින් ඒවි” යැයි පවසයි. ඒ “අහවල් සර්” යනු වෛද්‍යවරයෙකු පිළිබඳ පැවසීමකි. මේ කිසිවක් අපට නුහුරු හෝ අමුතු දේවල් නොවේ. සැබැවින්ම, ඇතැම් අවස්ථාවලදී මේ වදන් භාවිත නොකර සිටීම එක්තරා විදියක අශිෂ්ටකමක් හෝ අකීකරුකමක් ලෙස පෙනෙන්නටද බැරි නැත.

නමුත් වෙනත් රටක කෙනෙකු අපේ මේ වචන භාවිතය මුල්ම වතාවට ඇසුවහොත්, ඔවුන්ට මෙවැනි සිතුවිල්ලක් ඇති වන්නට පුළුවන. “මොකද මේ… මේ රටේ ඉන්න හැමෝම නයිට් පදවි ලබපු වීරයෝ හරි, රාජකීය පවුල්වල අය හරිද?”

එයට දිය හැකි පිළිතුර නම්, “අපොයි නැත” යන්නය.

භාෂාවේ ඇති රසවත්ම දේ නම්, වචන කිසිවිටෙකත් ශබ්දකෝෂ අස්සේ ගල් ගැසී නොතිබීම ය. වචනයක් අලුත් සමාජයකට ඇතුළු වූ සැණින්, මිනිස්සු තම තමන්ගේ සංස්කෘතියට, සිරිත් විරිත්වලට සහ සමාජ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය අලුත් හැඩයකට සකස් කර ගනිති.

ඉතිහාසය දෙස බැලීමේදී, බ්‍රිතාන්‍ය සමාජය තුළ ‘සර්’ යන්නට ඉතා සුවිශේෂ වූ අර්ථයක් තිබිණි. නමකට ඉදිරියෙන් යොදන ගෞරව නාමයක් ලෙස එය භාවිත වූයේ නයිට් (Knight) පදවියක් ලැබූවන් උදෙසා ය. එවැනි ගෞරවයක් ලබන තැනැත්තෙකුගේ නමට මුලින් ‘සර්’ යන්න එකතු කොට ඇමතීමට පුළුවන. එමෙන්ම ‘මැඩම්’ යන්නද සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති, සම්භාවනීය කාන්තාවන් උදෙසා භාවිත කළ ආමන්ත්‍රණයක් විය.

නමුත් එදිනෙදා ව්‍යවහාරයේ පවතින ඉංග්‍රීසි බස තුළ, ‘සර්’ සහ ‘මැඩම්’ යන වචන ආචාරශීලී ආමන්ත්‍රණ ක්‍රම ලෙස භාවිත කිරීමට නිරන්තරයෙන් ඉඩ ලැබුණි.

“එක්ස්කියුස් මී, සර්” “තෑන්ක් යූ, මැඩම්”

මේ කියමන්වලින් අදහස් වන්නේ අදාළ පුද්ගලයා නයිට්වරයෙකු, රදළයෙකු හෝ සුවිශේෂ සමාජ තලයක සිටින කෙනෙක් බව නොවේ. එයින් සරලවම ප්‍රකාශ වන්නේ ඔවුන් වෙත දක්වන ගෞරවය පමණි.

නමුත් සැබෑ පෙරළිය සිදු වූයේ මේ වචන වෙනත් සංස්කෘතීන් කරා සංක්‍රමණය වීමත් සමඟය. ශ්‍රී ලංකාව දෙස බැලීමේදී, ‘සර්’ සහ ‘මැඩම්’ යන්න හුදෙක් ආචාරශීලී වදන් කිහිපයකට වඩා එහා ගිය දෙයක් බවට පත් විය. ඒවා සමාජයේ පොදුවේ ගෞරවය දැක්වීම සඳහා යොදාගන්නා පොදු සංකේත වැනිය. ‘සර්’ යන වචනය බොහෝ විට බලධාරීන්ට, ගුරුවරුන්ට, නිලධාරීන්ට, කළමනාකරුවන්ට, ඇතැම් විට නන්නාඳුනන පාරිභෝගිකයන්ට පවා ඈඳෙන්නට විය. ‘මැඩම්’ යන්නද ගමන් කළේ ඒ පාරේමය.

යමෙකුට ‘සර්’ හෝ ‘මැඩම්’ කියා ඇමතීමට නම්, ඔවුන් වයසින් මුහුකුරා ගිය, ධනවත් හෝ බලවත් අයම විය යුතු නැත. බොහෝ විට මේ වචන භාවිත කරන්නේ පුද්ගලයන් දෙදෙනෙකු අතර ගෞරවනීය දුරස්ථභාවයක් පවත්වා ගැනීමට ඇති පහසුව නිසාය.

පාසල් සිසුවෙක් පිරිමි ගුරුවරයෙකුට ‘සර්’ යැයි පවසයි. සරසවි සිසුවෙක් දේශකවරයෙකු අමතන්නේද ඒ අයුරින්ම ය. කාර්යාලයක සේවකයෙක් තමාට වඩා වයසින් පරතරය අඩු ජ්‍යෙෂ්ඨ සගයෙකුට වුවද ‘සර්’ යැයි පවසන්නට පුළුවන. වෙළඳසලක සේවකයෙකු විසින් පාරිභෝගිකයෙකුට ‘සර්’ යැයි පවසන්නේ, එම සේවකයා තමාට වඩා පාරිභෝගිකයා උසස් යැයි සිතන නිසා නොවේ; සේවා සපයන ක්ෂේත්‍රයේ ව්‍යවහාරික බස විසින් එම පුරුද්ද උකහාගෙන ඇති බැවිනි. එමෙන්ම පාරිභෝගිකයා තුළ සතුටක් ඇති කර ව්‍යාපාරික කටයුත්ත ඉතා පහසුවෙන් ඉටු කරගැනීමට එයින් මහඟු පිටිවහලක් ලැබෙන නිසාය.

එක් අතකින් බලන කල, ‘සර්’ සහ ‘මැඩම්’ යනු සමාජීය මෙවලම් දෙකකි. ඒවා මිනිසුන්ට සබඳතා පවත්වා ගැනීමට උදවු වෙයි. ඒවා සංවාදයන් වඩාත් මෘදු කරයි. යමෙකුට රළු ලෙස කතා කිරීමේ අවදානම ඒවායින් මඟහැරී යයි.

නමුත් මේ කතාව අදාළ වන්නේ ශ්‍රී ලංකාවට පමණක් නොවේ. මුළු මහත් දකුණු ආසියාව පුරාම මෙවැනි භාවිතයන් දැකිය හැකිය. ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල ද පාසල්, කාර්යාල, රාජ්‍ය ආයතන මෙන්ම පාරිභෝගික සේවා සපයන ස්ථානවල ‘සර්’ සහ ‘මැඩම්’ යන්න බහුලව ව්‍යවහාර වේ. සිසුවෙක් තම ගුරුවරයාගේ මුල් නම කිසිදාක නොදන්නවා වන්නට පුළුවන, මන්ද ‘සර්’ යන වදන ඒ සියල්ලටම සෑහෙන බැවිනි. වෙළෙඳසලකට ඇතුළු වන ඕනෑම පාරිභෝගිකයෙකු කවුරුන් වුවද ඔවුන්ව ‘සර්’ කියා පිළිගැනීමට එහි සිටින්නන් පසුබට වන්නේ නැත.

ලෝකයේ විවිධ රටවලද මේ හා සමාන රටාවන් වෙනස් මුහුණුවරකින් දැකගත හැකිය. ජපන්නු ගෞරවය දැක්වීම සඳහා නම්වලට අගින් ‘සන්’ වැනි ප්‍රත්‍යයන් භාවිත කරති. මිනිසුන් එකිනෙකා අතර පවතින සබඳතාව මත ඔවුන් භාවිත කරන බස තීරණය වෙයි. ප්‍රංශයේදී ‘මොන්සියර්’ (Monsieur) සහ ‘මදාම්’ (Madame) යන්න ආචාරශීලී සන්නිවේදනයේදී තවමත් වැදගත් තැනක් ගනී. ජර්මනියේද ‘හේර්’ (Herr) සහ ‘ෆ්‍රෝ’ (Frau) යන්නෙන් ඉටු කරන්නේද එවැනිම කාර්යයකි.

සෑම සංස්කෘතියකටම, “මම ඔබේ තත්ත්වය පිළිගන්නවා, වගේම ඔබට ගෞරව කරනවා” යන්න පැවසීමට තමන්ටම ආවේණික වූ ක්‍රමයක් තිබේ. මෙහි ඇති වෙනස නම්, ඇතැම් සමාජවල ගෞරවය ඍජුවම පුද්ගලයාගේ නමට ඈඳන අතර, තවත් සමහර සමාජවල එය පුද්ගලයා දරන භූමිකාවට හෝ තනතුරට ඈඳීමය.

‘සර්’ සහ ‘මැඩම්’ යන වචන භාවිතය ඇතැම් විට පැටලිලි සහගත වන්නේ මෙන්න මේ නිසා ය. රෝහලක පිළිගැනීමේ නිලධාරිනියක්, “අහවල් සර් දැන් ටිකකින් ඒවි” යැයි පවසන අයුරු මොහොතකට සිතන්න. එවිට අසන්නාට, “ඒ කියන්නේ කවුරු ගැනද?” කියා සිතෙන්නට පුළුවන.

ඒ එන්න ඉන්නේ දොස්තර මහතාද? නැත්නම් කළමනාකරුද? එසේත් නැතිනම් වෙනත් පාරිභෝගිකයෙක්ද?

එම වචනයෙන් ගෞරවය ප්‍රකාශ වුවද, එයින් හැමවිටම නිශ්චිත තොරතුරක් සපයන්නේ නැත. එවැනි අවස්ථාවකදී, “ඩොක්ටර් පෙරේරා දැන් ටිකකින් ඒවි” යැයි පැවසීම වඩාත් පැහැදිලිය. එහිදී යෙදෙන නාමය මගින් හුදෙක් ගෞරවය දැක්වීමට වඩා, එම පුද්ගලයාගේ වෘත්තීය භූමිකාව පැහැදිලිව විස්තර කර දෙයි.

නූතන වෘත්තීය සන්නිවේදනය තුළ සෙමෙන් හෝ වෙනස් වෙමින් පවතින්නේ මේ ක්‍රමයයි. බොහෝ ආයතන වෛද්‍ය (Doctor), මහාචාර්ය (Professor), මහතා (Mr.) හෝ මෙනෙවිය/මහත්මිය (Ms.) වැනි නිශ්චිත නාමයන් භාවිත කිරීමට වැඩි මනාපයක් දක්වන්නේ, ඒවායින් පුද්ගල අනන්‍යතාව වඩාත් පැහැදිලිව වටහාගත හැකි බැවිනි.

එසේ වුවත්, ‘සර්’ සහ ‘මැඩම්’ යන වචන තවමත් නොනැසී පවතින්නේ, භාෂාව සැමවිටම පාලනය වන්නේ තර්කයෙන් පමණක් නොවන නිසාය. එය හැඟීම්, සම්ප්‍රදායන් සහ සමාජීය පුරුදු මතද තීරණය වන්නකි. ශබ්දකෝෂයක එකක් සඳහන් වෙද්දී, සමාජය විසින් වෙනත් දෙයක් තීරණය කරනු ලැබිය හැකිය. ‘නිවැරදි’ සහ ‘වැරදි’ ව්‍යවහාරයන් පිළිබඳ කෙරෙන වාද විවාද සංකීර්ණ වන්නේද මෙන්න මේ නිසා වන්නට ඇත. ගුරුවරයෙකුට ‘සර්’ යැයි ඇමතීම වැරදි වන්නේ ඔහු නයිට්වරයෙකු නොවන නිසාද? කාන්තා කළමනාකාරිනියකට ‘මැඩම්’ යැයි පැවසීම වැරදි වන්නේ ඇය රාජකීය කාන්තාවක් නොවන නිසාද?

ඇත්තටම එහි කිසිදු වැරැද්දක් නැත. භාෂාව යනු මීට වසර සිය ගණනකට පෙර තිබූ ආකාරයටම වචන සුරැකිව තබාගත යුතු කෞතුකාගාරයක් නොවේ. භාෂාව යනු ජීවමාන දෙයකි. මිනිසුන් එය භාවිත කරන විට එය වෙනස් වෙයි.

එබැවින් ‘සර්’ සහ ‘මැඩම්’ පිළිබඳ කතාව හුදෙක් වචන දෙකකට පමණක් සීමා වූවක් නොවේ. එයින් කියවෙන්නේ විදේශීය සංකල්ප තමන් සතු කරගෙන, ඒවා තමන්ටම ආවේණික වූ අනන්‍යතාවකට පරිවර්තනය කරගැනීමට විවිධ සංස්කෘතීන් සමත් වන ආකාරය ගැනය.

මීට සියවස් ගණනාවකට පෙර විසූ බ්‍රිතාන්‍ය නයිට්වරයෙකුට, වර්තමාන දකුණු ආසියාවේ ‘සර්’ යන වචනය භාවිත වන ආකාරය දුටුවහොත් එය හඳුනාගන්නට පවා නොහැකි වනු ඇත. නමුත් අද වන විට මිලියන සංඛ්‍යාත ජනතාවක් එයින් අදහස් කරන්නේ කුමක්දැයි මැනවින් වටහාගෙන සිටිති.

ඇතැම් විට භාෂාවේ ඇති වැදගත්ම රීතියද එයම වන්නට පුළුවන: වචනයක නියම අර්ථය රැඳී තිබෙන්නේ එය පැමිණි මුල් ස්ථානය මතම පමණක් නොවේ. මිනිසුන් එය වර්තමානයේ භාවිත කරන ආකාරය මතද එය තීරණය වෙයි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

ඉරා අදුරුපට