මෙරට ජන සන්නිවේදනය පිළිබඳ ප්‍රථම විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයා මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යායේ පුරෝගාමියා ලෙස සැලකෙන මහාචාර්ය විමල් දිසානායක මහතා ඇමෙරිකාවේ හවායි හිදී අභාවප්‍රාප්ත වී ඇත. 1939 සැප්තැම්බර් 06 වන දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැව ප්‍රදේශයේ උපත ලැබූ විමල් දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහුගේ දෙමාපියන් දෙදෙනාම පාසල් ගුරුවරුන් ලෙස කටයුතු කර ඇත. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ඇති අතර පසුව පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හදාරා තිබේ.ජන සන්නිවේදන අධ්‍යයනයේ පියා ලෙස සැලකෙන මහාචාර්ය විමල් දිසානායක මහතා මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජනසන්නිවේදන විෂය ඉගැන්වීම ආරම්භ කිරීමට පුරෝගාමී විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, ආසියානු කලාපයට බටහිර සන්නිවේදන න්‍යායන් එලෙසම ආදේශ කිරීම විවේචනය කරමින් ආසියානු සංස්කෘතික ඉගැන්වීම්, චාරිත්‍ර හා සම්ප්‍රදායන් පදනම් කරගත් නව සන්නිවේදන න්‍යායන් ගොඩනැගීමේ පුරෝගාමියෙකු ලෙස ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව සිටියේය. ඔහු හොනොලුලු හි ඊස්ට්-වෙස්ට් සෙන්ටර්හි සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, පසුව හොංකොං විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන මහාචාර්යවරයෙකු ලෙසත්, හවායි විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අනුබද්ධ පීඨ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කර ඇත.ප්‍රකට නිර්මාණාත්මක ලේඛකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම ආසියානු සිනමාව පිළිබඳ ප්රමුඛ විද්වතෙකු වූ මහාචාර්යවරයා, Cambridge University Press, Oxford University Press, Duke, Routledge ඇතුළු ප්‍රකාශන ආයතන හරහා කෘති රැසක් ප්‍රකාශයට පත් කර තිබේ. Wong Kar-wai’s Ashes of Time, Raj Kapoor’s Films, Sholay: A Cultural Reading, Sinhala Novel and the Public Sphere ඔහුගේ ප්‍රකට කෘති අතර වේ.සන්නිවේදන විෂයට අදාළව කළ සේවය වෙනුවෙන් ඔහු සාහිත්‍ය රත්න සම්මානය, දේශබන්දු සම්මානය සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව සාහිත්‍ය ආචාර්ය උපාධියෙන් පිදුම් ලබා තිබේ. 2021 දී ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයෙන් (AMIC) Asia Communication Award for Disruptive Inquiry සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය. මහාචාර්ය විමල් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.