අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවට පළවන වාර්තා පිළිබඳව තමන් දැනුවත් නැතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (04) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විනිසුරු විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි.අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉකුත් 03 වන දින තමන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමඟ මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන් බැහැදුටු බවයි.එහිදී ඉදිරිපත් කිරීමට නියමිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් උන්වහන්සේලා සම්පූර්ණයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත්, රට තුළ ගොඩගැසී ඇති අධිකරණ නඩු කටයුතු කාර්යක්ෂමව ඉක්මන් කරවීම සහ ජනතාවට සහනයක් සැලසීම අරමුණු කරගනිමින් මෙම ක්‍රියාවලිය සිදුකරන බව පෙන්වා දුන් බවත් ඔහු පැවසීය.මල්වතු මහානායක හිමිපාණන් පවා වසර 20කට ආසන්න කාලයක් තිස්සේ නඩු කටයුත්තකට මුහුණ දී සිටින බව එහිදී ප්‍රකාශ වූ බවත්, ඒ අනුව නඩු කටයුතු ඉක්මන් කරගැනීම සඳහා සිදුකරන මෙම අධිකරණ ප්‍රතිසංස්කරණයට මහානාහිමිවරුන්ගෙන් කිසිදු විරෝධයක් මතුවී නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහනායක හිමිවරුන් විමසා සිටියේ මෙය එකම විනිශ්චයකාරවරයෙක් පමණක් ඉලක්ක කර ගනිමින් සිදුකරන්නක්ද යන්න බව අමාත්‍යවරයා පැවසීය.එයට පිළිතුරු ලෙස 22 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් උපරිමාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස ඉහළ නැංවීමත්, අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම හරහා දිසා අධිකරණ ඇතුළු සියලුම අධිකරණවල විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමත් සිදුවන බව තමන් උන්වහන්සේලාට පැහැදිලි කර දුන් බවත්, ඒ අනුව උන්වහන්සේලා මෙම සමස්ත ක්‍රියාවලිය පිළිගත් බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.කෙසේ වෙතත් පසුගියදා මල්වතු මහ නාහිමියන් බැහැදැකීමෙන් පසුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා සඳහන් කර සිටියේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇති බවට දැනගන්නට ලැබෙන බවයි.මේ අතර මෙම සංශෝධනය සම්බන්ධයෙන් රජය දැනටමත් කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.