ඇතැමුන් කියන කරන දේ වලින් ඔවුන්ට “පිස්සු”යැයි ඔබටත් සිතෙනවාද?

pissu

අද සමාජයේ ඇතැමුන් පළ කරන විවිධ කතා බහ; පළ කරන විවිධ හැසිරීම් හමුවේ බොහෝ දෙනකු තුළ පැන නඟින කුකුසක් තිබේ. එනම් “ඇත්තටම මේ මනුස්සයාට, ගෑනු කෙනාට “පිස්සුද?” යනුවෙනි. අතීතයට සාපේක්‍ෂව මෙබඳු සැකයක් සමාජය තුළ ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් ද තිබේ. එනම් විද්යුත් මාධ්‍යයන් ඔස්සේ මෙබඳු පුද්ගලයන් ගේ ප්‍රකාශ සහ හැසිරීම් වැඩිපුර අසන්නට දකින්නට ලැබීම ය. මෙලෙස අසාමාන්‍ය කතා බහ සහ හැසිරීම් පළ කරන්නවුන් අතරේ පුරුෂ භේදයකින් තොරව දේශපාලනඥයන් ඇතුළු සමාජ සම්මත ප්‍රභූ පුද්ගලයන්, කලාකරුවන්, ක්‍රීඩකයන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් සේම පූජ්‍ය පක්ෂයේ අයවලුන් ද හිඳින බව පෙනේ.මෙය කියවන විට එවැනි පුද්ගලයන් හා ඔවුන් ගේ කියුම් කෙරුම් ඔබගේ මතකයට නැංවෙන්නට ද පුළුවන.

මෙවන් පුද්ගලයන්ගේ අසාමාන්‍ය බවක් පළ කරන ප්‍රකාශ සහ හැසිරීම් මාධ්‍ය මගින් දකින සමහරෙක් ඒ එක් එක් පුද්ගලයන්ට “පිස්සුදැ”යි අපෙන් ද අසති.එහෙත්, පිස්සුව යන වදන විද්‍යාත්මකව අර්ථ කථනය කළ නොහැක. ඉංග්‍රීසි බසින් Mad යනුවෙන් හැඳින්වෙන වදන එදි`නෙදා යෙදෙන සාමාන්‍ය ව්‍යවහාරයක් වන අතර ඉන් මඳක් ඔබ්බට ගිය Lunatic යන වදනක් ද ඉංග්‍රීසියෙහි තිබේ. සිංහල බසින් “උන්මන්තක”ලෙසින් හැඳින්වෙන මෙම වදන මනෝ වෛද්‍ය විද්‍යාව ලොව පුරා ප්‍රචලිත වීමට පෙර ව්‍යවහාරයට ගැනුණු වදනකි.මෙම Lunatic යන වදන පුද්ගලයකුගේ කතා බහ හසිරීම් අනුව පමණක් විස්තර කෙරෙන්නකි.එහි දී ඒ සඳහා වන හේතු සොයා බැලීමක් සිදු නොවේ. “සඳ මෝරන කාලයට පිස්සු තද වෙනවා” යන පිළිගැනීමක් අප ගැමි සමාජයේ තිබේ. ඉන් පැවසෙනුයේ මිනිසුන් ගේ සිතුවිලි විෂමතාව සහ චන්ද්‍රයා අතරේ කිනම් හෝ බලපෑමක් ඇති බව ය. අප රටේ පවතින මෙම විශ්වාසය ලෝක සම්මතයක් ද වෙයි. අප එසේ පවසනුයේ එම උන්මාදය හඳුන්වන Lunatic යන වදන ලතින් බසින් චන්ද්‍රයා හැඳින්වෙන Lunar යන වදන අතරේ සෘජු සබැදියාවක් ඇති බැවිනි.නමුත් මෙහි කිසිම විද්‍යාත්මක සත්‍යයක් හෝ පදනමක් නැත.මේවා හඳුන්වනුයේ මිථ්‍යා තර්ක( Fallacy ) ලෙසිනි.

ඒ අනුව අතීතයේ මෙබඳු උන්මාද ලක්ෂණ පළ කරන්නවුන් සාමාන්‍ය ජන සමාජයෙන් ඉවත් කොට රඳවා තබන ස්ථාන උන්මන්තකාගාරය (Lunatic-asylum ) ලෙස හඳුන්වනු ලැබූ අතර අප ජන සමාජයේ තවමත් ඉඳහිට ඇසෙන “පිස්සන් කොටුව” යන්න මෙහි සිංහල ස්වරූපය බව පෙනේ.නමුත්, මීට දශක හත අටක පමණ සිට මනෝ වෛද්‍ය විද්‍යා විෂය පථය ශීඝ්‍රයෙන් දියුණු වීමත් සමඟ මෙම උන්මන්තක භාවය රෝග ඛාණ්ඩ කිහිපයක් ලෙස හඳුනා ගැනුණු අතර එම රෝග ලක්ෂණ පළ කරන පුද්ගලයන් සායනික පරීක්ෂාවන්ට ලක් කරනු ලදුව ඔවුන් තුළ පැවැති ලක්ෂණයන් ඒ වන විට හඳුනාගෙන තිබූ මානසික රෝග තුළට අන්තර්ග්‍රහණය කිරීමට වෛද්‍ය විද්‍යාවට හැකි විය. ඒ අනුව එම රෝගීන් අතීතයේ මෙන් සාමාන්‍ය සමාජයෙන් කොටු කර තබන උන්මන්තකාගාර වෙනුවට මානසික රෝහල් , වාට්ටු සහ සායන අරඹන ලදී. එහෙත්, ඉහත සඳහන් සාමාන්‍ය ව්‍යවහාරයේ එන ‘පිස්සු’ යනු හුදෙක් මානසික රෝග හඳුන්වන වදනක් ම නොවේ. ඊට හේතුව මානසික රෝගීන් නොවන සාමාන්‍ය ව්‍යවහාරයට අනුවම කිවහොත් “පිස්සන්,පිස්සියන්” අප සමාජයේ කොතෙකුත් සිටින බැවිනි.
ඒ සඳහා වන හොඳම නිදසුන නම් මීට දශක කිහිපයක් දක්වා චිත්‍රපට නැරඹීම කෙරෙහි දැඩිව යොමු වී සිටි සිනමා රසිකයන් “පික්චර් පිස්සන්” ලෙස සමාජයේ ප්‍රකටව තිබීම ය. එහෙත්, ඔවුන් ගෙන් වැඩි පිරිසක් තුළ පැවැති එම සිනමා ලෝලීත්වය හැරුණු කොට වෙනයම් කිසිදු ප්‍රකාශන සහ චර්යාත්මක විෂමතාවක් නැත.

ඕනෑම කෙනෙකුගේ ජීවන චර්යාවන් පවත්වා ගෙන යාමට ඉවහල් වන සාධකය මානසිකත්වයයි (Mentality ) එහෙත්, මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි.ඒ මානසිකත්වය සඳහා මොළයේ ජෛව රසායනික, ඓන්දීරය සේම ඒ තැනැත්තා ජීවත් වන සමාජ සංස්කෘතික රටාව ද යම් යම් ආකාර වලින් ඉවහල් වේ.
පුද්ගලයකු සතු මානසිකත්වය බාහිරව නිරූපණය වනුයේ සිතුවිලි, ආවේග ( Thought, Emotions ) මගිනි. ඇතැම් පුද්ගලයන් තුළ තිව්‍ර හැඟීම් ආවේග පවතින අතර ඇතැමුන් තුළ මන්ද්‍ර හැසිරීම් ආවේග පවතිනු දක්නට ලැබේ.මේවා චරිත ලක්ෂණ ලෙස හඳුන්වනු ලැබේ. මෙම හැඟීම් ආවේග මොහොතින් මොහොත වෙනස් වන සුළු ය. මානසික රෝග සම්බන්ධ සායනික පරීක්ෂණ වලදී අදාල පුද්ගලයාට හැඟීම් ආවේග විෂමතා තිබේදැයි අනිවාර්යයෙන් නිරීක්ෂණයට ලක් කරනු ලැබේ.

ඉහත සඳහන් හැගීම් ආවේග ක්‍රියාත්මක වන අතරේ එක් එක් පුද්ගලයාගේ අනන්‍යතාව සහතික කෙරෙන ප්‍රධානතම සාධකය වනුයේ ඔවුන්ගේ පෞරුෂය හෙවත් ස්වීයත්වයයි ( (Personality ) ලෝකයේ එක සමාන පුද්ගලයන් දෙදෙනකු නොමැති බවට පවතින ජන සම්මත කිනම් හෝ ආකාරයක සත්‍යතාවක් ඇතැයි සිතෙන තරමට මෙම පුද්ගල ස්වීයත්වය විවිධ පරාසයන් තෙක් විහිද යයි. එහෙත්, මේ පරාස අතුරින් සමහරුන් ගේ පෞරුෂයන් විෂම ලක්ෂණ පළ කරන අතර ඒවා ස්වීයත්ව අර්බුද (Personality disorder ) ලෙස හඳුන්වනු ලැබේ.
පුද්ගලයකු ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධ ප්‍රථම ගැටළුකාරී තත්ත්වය ලෙස හැඳින්වෙන මෙම අවස්ථාවට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් බල නොපාන බව ද කිව යුතු ය. නමුත්, එම තත්වය යටතේ ඔවුන් ගේ ප්‍රකාශන සහ චර්යාත්මක විෂමතා අවස්ථානෝචිතව බාහිරව නිරූපණය වන අතර ලොව පුරා ප්‍රභූ සහ ප්‍රකට පුද්ගලයන් වෙතින් ද මෙසේ නිරූපණය සිදුවන අවස්ථා බොහොමයකි.

ඒ අනුව ඔවුන්ගේ එවැනි ප්‍රකාශ සහ හැසිරීම් දකින සාමාන්‍ය ජනතාව “මේ මනුස්සයාට පිස්සුද?” යනුවෙන් මනෝ වෛද්‍යවරුන් ගෙන් කරන විමසීමේදී ඔවුනට දිය හැකි එකම පිළිතුර වනුයේ සායනික පරීක්ෂණයකින් තොරව යමකු ගේ එවැනි කතා බහක් හැසිරීමක් පිළිබඳව එවැනි නිගමනයකට ඒමට කිසිදු මනෝ වෛද්‍යවරයකුට නොහැකි බව ය. එසේ නම් යමකුට ඇදුම් කට්ටලයක් මසන ටේලර් වරයකුට ඇස් මට්ටමින් බලා ඔවුන්ගේ ඇඳුම් වල නිවැරදි මිනිම් ගැනීමේ හැකියාව ද තිබිය යුතු ය. මේ අතර ඇතැම් පුද්ගලයන්ගේ පවා දැඩි ආවේගාත්මක ස්වරූපයන් දකින බොහෝ දෙනකු ඔවුන් “පිස්සුවෙන් වගේ” හැසිරුණු බවක් කියති. එහෙත්, ඕනෑම පුද්ගලයකුගේ හැඟීම් ආවේග කිසියම් භාවමය පාරාසයක් තුළ හැසිරවෙන අතර ඉහත සඳහන් ස්වීයත්ව ලක්ෂණ අනුව ඇතැමුන් ගේ ඒ භාවමය පාරාසයන් පුළුල් වීමට ද පුළුවන. ඒ අනුව එය “පිස්සුවක්” වුව මානසික රෝගයක් නොවන අවස්ථා බහුල ය.නමුත් කුමක් හෝ හේතුවක් මත ඉතා කෙටි වේලාවක් තුළ හටගන්නා එවන් ආවේගකාරී කතා බහක් හැසිරීමක් මාධ්‍ය මඟින් දැක්වීම මුල් කොට ඒ තැනැත්තා ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ නිගමනයකට එළැඹීම යම් පොතක පිටකවරය දැක ඒ පොතේ අන්තර්ගතය සම්බන්ධ ගුණ දොස් විචාරයකට පිවිසීමක් මෙනි.

කෙසේ නමුදු මෙම ස්වීයත්ව අර්බුද හේතුවෙන් තමන්ටත් පවුල්, ප්‍රජා, සමාජ වශයෙන් හැඳින්වෙන බාහිර පාර්ශවයන්ටත් කිසියම් නපුරක් අයහපතක් සිදු වන්නේ නම් පළමුව ඒ සඳහා විධිමත් මනෝ උපදේශනකට යොමු වීමෙන් එය පිටුදැකීම සම්බන්ධ සාධනීය පියවරක් ගත හැක. ලොව දියුණු රටවල් මෙබඳු තත්වයන් හඳුනා ගැනීම පිණිස සිද්ධාන්තමය පදනමක් යටතේ මනෝ විශ්ලේෂණය ( Psycho analysis ) නම් ක්‍රියාවලිය සිදු වෙතත් ශ්‍රී ලංකාව තුළ එවැනි තත්වයක් නොමැත. එහෙත්, මූලික වශයෙන් එම මනෝ විශ්ලේෂණ න්‍යායන්,හා මූලධර්ම මත පදනම් වන මනෝ උපදේශනය යහපත් ප්‍රාථමික චිකිත්සාවකි.එහෙත්, එම පෞරුෂ අර්බුදයට පදනම් වන හෝ ඒ තුළින් හටගත් මානසික රෝග ලක්ෂණ තිබේ නම් එම ඒ පුද්ගලයා මනෝ උපදේශනයන් විසින් මනෝ වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලැබේ.

මේ අතර භින්නෝන්මාදය(Schizophrenia ) වැනි මානසික රෝග ලක්ෂණයක් වශයෙන් සේම තනිව හට ගන්නා මෝහාබාධ( Delusional disorder )නමින් හැඳින්වෙන රෝග ඛාණ්ඩයක් තිබේ,කුමන හෝ සමාජ ආර්ථික සංස්කෘතික මට්ටමක් යටතේ වුව මෙවැන්නවුන් දක්නට පුළුවන.බාහිර සමාජය හමුවේ මනා පෞරුෂයක් පළ කරන අතරේ මෙබඳු මානසික අසාමාන්‍යතා පළ කරන්නවුන් ගෙන් යම් පිරිසක් විසින් කරනු ලබන ප්‍රකාශ සහ ඔවුන්ගේ හැසිරීම් හමුවේ සමාජයෙන් තවත් පිරිසක් එම ප්‍රකාශයන් පිළිගැනීම සේම ඒ මතවාද ඔස්සේ තම සිතීමේ හා විමසීමේ නිදහසට අගුලු දමා ඔවුන්ගේ අනුගාමිකයන් බවට පත් වීම සෑම සමාජයකම නිරතුරුවම දක්නට ලැබෙන්නකි.මේ අතර තමන් බුද්ධත්වයට පත්ව ඇතැයි(බුද්ධත්වය යනු බුදු දහමට අනුව ශාස්ත්‍රීය ලෙස විස්තර කළ යුත්තක් මිස එක් එක් පුද්ගලයන්ට තම හිතුමතේ ප්‍රකාශ කළ හැක්කක් නොවේ) වර්තමාන සමාජයේ දේශපාලනඥයන්, ප්‍රභූ වරුන්, කලා කරුවන්, ක්‍රීඩකයන් ආදී ප්‍රකට පුද්ගලයන් සේම පූජ්‍ය පක්ෂයේ ඇතැමුන් කෙරෙන් පවා මෙබඳු චරිත ඉස්මතු විය හැක.එමෙන්ම ඔවුන් වටා එක් රොක් වන පිරිස් මුල් කොට එම පුද්ගලයන් වටා මහත් ධන බලයක් සේම පිරිස් බලයක් ද ඒකරාශි වනු පෙනේ.මීට අමතරව සමාජ විරෝධී ස්වීයත්ව විෂමතාව ( Antisocial personality disorder ) නම් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් ද මෙලෙස ඒකරාශි වීමේ යම් හැකියාවක් පවතී. පසුව ඔවුන් අතරින් නායකත්වයන් පවා බිහිවනු දක්නට ලැබේ. පොදුවේ මේවා හැඳින්වෙනුයේ කල්ලි (Cult) යනුවෙනි. නමුත් පවුල්, ප්‍රජා සහ සමාජමය වශයෙන් තමන් ඇසුරු කරන බාහිර ලෝකයා හා එක්ව කටයුතු කිරීමට නොහැකි වීම, ගැටුම්කාරී මානසිකත්වයකින් යුතු වීම ආදී හේතුන් නිරතුරුවම පවතින්නේ නම් රෝහලක මනෝ වෛද්‍ය සායනයකට පිවිසීමෙන් හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවීමෙන් ඒ සම්බන්ධ මනෝ වෛද්‍ය පරීක්ෂණයකට යොමු විය යුතු ය.

මේ සියළු තත්වයන් යටතේ අවසන් වශයෙන් කීමට හැක්කේ සායනික මනෝ වෛද්‍ය පරීක්ෂණයක් කරන තුරු මේ කිසිදු පුද්ගලයකුගේ මානසිකත්වය පිළිබඳ කිසිවක් කීමට මනෝ වෛද්‍යවරුන්ට කිසිදු හැකියාවක් හෝ අවකාශයක් තබා සදාචාරාත්මක අයිතියක් වත් නොමැති බවකි.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

එතෙර - මෙතෙර