මුහුදු මට්ටමින් අඩි 2500 ක පමණ උසින් යුතු කෑගල්ල දිස්ත්‍රික්කයේ උසම භූමි භාගයක් හා ඉතා වැදගත් පාරිසරික කලාපයක් වන බුලත්කොහුපිටියෙන් හැරී යන ඉහළ පැලැම්පිටිය දොලොස්බාගේ මාර්ගයේ “ඉසෙඩ් වංගුව” ආසන්න බෑවුම් ප්‍රදේශයකට නාගරික කැලි කසල විශාල ප්‍රමාණයක් බැහැර කිරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු මහත් කම්පාවකට පත්ව සිටිති.
මහනුවර දිස්ත්‍රික්කයට අයත් දොලොස්බාගේ කඳුවැටියෙන් ආරම්භ වන කැලණි ගඟේ අතු ගංගාවක් වන වී ඔය එම බෑවුමට පහතින් ගලා බසින අතර ඒ වන විට පිරිසිදු දිය දහරක් ව පවතින එහි ජලය මෙම කසල බැහැර කිරීම් නිසා බලවත් දූෂණයට ලක්ව ඇතැයි පවසනු ලැබේ.
නිවාස වලින් බැහැර කෙරෙන කුණු රොඩු, විවිධ හිස් ඇසුරුම්, කෙලි බඩු, ඇඳුම් පැළඳුම් සේම කාන්තා සනීපාරක්ෂක තුවා ආදියෙන් ද සමන්විත මෙම අප ද්‍රව්‍ය තොගයට භාවිතා කළ එන්නත් කටු, සිලින්ජර්, පුළුන් ආදී සායනික අපද්‍රව්‍ය ද ඇතුලත් බවත් ඒවායින් වැඩි කොටසක් නොදිරන ප්ලාස්ටික් ගණයට අයත් බවත් ඉහළ පැළැම්පිටිය ප්‍රදේශවාසීහු කියති. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසුම් කළ ඔවුනට එම අපද්‍රව්‍ය ගොඩට එක් වී තිබූ විවිධ ලේඛන, බිල්පත් ආදියෙන් ඒවා ගම්පොළ ප්‍රදේශයෙන් ගෙනවුත් බැහැර කළ බව තහවුරු වී තිබේ. මෙය අපද්‍රව්‍ය එකතු කරන කොන්ත්‍රාත් කරුවන් විසින් සිදුකළ බරපතල හානියක් විය හැකි යැයි ප්‍රදේශවාසීහු කියති.
බස්නාහිර හා සබරගමු පළාත්වල සිට බුලත්කොහුපිටිය දේදුගල ඔස්සේ නාවලපිටිය හරහා නුවරඑළිය දක්වා දෙස් විදෙස් සංචාරකයන්ට ගමන් කළ හැකි සොබා සෞන්දර්යෙන් අනූව මං පෙතක් ආශ්‍රිත මෙම පරිසර පද්ධතිය සංචාරය සඳහා පැමිණෙන පුද්ගලයන් විසින් විවිධ අයුරින් විනාශයට පත් වෙමින් පැවැතිය ද මෙවන් කසල කඳු එක්වරම බැහැර කිරීම නිසා මෙයට සිදු වන හානිය අතිශයින් දරුණු බව ප්‍රදේශවාසීහු කියති.
මීට පෙර අවස්ථා තුනකදී ද මෙම පාරිසරික කලාපයට මෙවන් මහා පරිමාන කසල බැහැර කිරීම් සිදු කරන ලදුව ප්‍රදේශවාසීන් මැදිහත් වීම මත එම කසල බැහැර කිරීමට ඒවා ගෙනැවිත් දැමූ පුද්ගලයන්ට සිදු වුවද මෙවර එය සිදු කළ පිරිස් සොයා ගත නොහැකි වී ඇතැයි පවසන ප්‍රදේශවාසීන් පවසනුයේ මෙවන් බරපතල පාරිසරික දූෂණයන්ට යොමු වන පිරිස් හමුවේ එම ප්‍රදේශ වල තරුණ පිරිස් ප්‍රචණ්ඩත්වයට පවා යොමු වීමේ පැහැදිලි අවදානමක් පවතින බව ය.
පැහැදිලි අහස්තලයක් සහිත දිනවල දිවා සේම රාත්‍රී කාල වල දීත් ශ්‍රීපාද කන්ද සේම අගනුවර ආශ්‍රිත ස්ථාන බොහොමයක් ද එකවර දර්ශනය වන රමණීය පරිසර පද්ධතියකින් හෙබි මෙම ප්‍රදේශය රටට විදේශ විනිමය ගෙන්වන පාරිසරික සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකිව තිබියදී එම ප්‍රදේශය ආශ්‍රිතව මෙවන් බරපතල පාරිසරික දූෂණවලට ඉඩ හැර අදාල බලධාරීන් නිහඬව බලා සිටීම වත්මන් ජාතික ව්‍යසනයේ තවත් පැතිකඩක් නිරූපණය කරන්නක් බව ඉහළ පැළැම්පිටිය ප්‍රදේශවාසීන් ගේ පොදු මතය වී තිබේ.
තිලක් සේනාසිංහ