
‘එදා රෑ’ චිත්‍රපටය නැරඹුවෙමි. “චිත්‍රපටය කොහොමදැ”යි කියා කවුරුන් හෝ ඇසුවහොත් මට කීමට ඇත්තේ “ඒක නියමයි…” කියා පමණි. “මොකක්ද විශේෂත්වය?” යයි යළි විමසුවහොත් මම මෙසේ කියමි. චිත්‍රපටය මම සම්පූර්ණයෙන් රස වින්දේ එහි අඩංගු ගීතත් එක්ක.
මේ කතාව මා පමණක් නොවේ. ‘එදා රෑ’ නැරඹූ පිරිස්ද පුන පුනා චිත්‍රපටයේ ප්රචාරක පට හරහා කියනු මම දුටුවෙමි. විශේෂයෙන් කාන්තාවෝය.

වර්තමාන චිත්‍රපට කර්මාන්තය තුළ බිහිවන බොහෝ චිත්‍රපට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා නොගැනීමට හේතු දෙකක් බලපායි. පළමුවැන්න, මියුරු සංගීතයෙන් හා සරල, රසවත් පදමාලාවෙන් පිරිපුන් ගීත නැතිකම. දෙවැන්න නම් චිත්‍රපටයේ කතාව කාන්තා ආකර්ෂණය දිනා නොගැනීමය. 70, 80, 90 යන දශකවල චිත්‍රපට අතිශයින් ජනප්‍රිය වූයේ හා එහි ගීත හා කතාව, චරිත අදටත් ප්‍රේක්ෂක මතකයේ ඇත්තේ ඉහත කරුණු හේතුවෙනි. වසර විසිපහකට පමණ පසුව හෝ ‘එදා රෑ’ චිත්‍රපටය ඉහත කරුණු දෙක සපථ කරමින් තිරගත වීම ඇරඹිණි. රුපියල් කෝටි හැට ඉක්මවමින් ආදායම් උපයමින් තිරගත වෙයි.
මිල්ටන් මල්ලවාරච්චිගේ ගී හඬ සෝබරය. රසික රසිකාවියෝ ලක්ෂ ගණනින් එදා මෝහනය වූයේ ඒ සෝබර හඬටය. “නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ” වැනි වේග රිද්ම ගායනයකදී වුවත් මිල්ටන්ගේ හඬට ශෝක රසය මිශ්‍ර විය. පදමාලාවකින් ජනිත කරවන ශෝකය, ප්‍රේමය, භක්තිය වැනි රසයන්හි අධ්‍යාත්මය තුළට පිවිස එම පදමාලාව සිය භාව ප්රකාශනයක් සේ මිල්ටන් ගයද්දී රසික රසිකාවියන්ට ඒ හඬ ‘මැජික්’ එකක් විය. චිත්‍රපටයේ තැනක කරුණාරත්න අබේසේකරයන් “ඔයාගේ හඬේ මැජික් එකක් තිබෙනවා” යයි මිල්ටන්ට කියන්නට ඇත්තේ ඒ නිසා විය හැක.
දීර්ඝ කතාවක් සාර්ථක ලෙස තිර නාටකයකට හරවා දර්ශනීය අයුරින් ‘එදා රෑ’ රූපගත කර තිබේ. ප්‍රේක්ෂකයින් ඉදිරියේ චිත්‍රපටයේ රූප රාමු දිග හැරෙන්නේ ආකර්ෂණීය අයුරිනි. ළදුනගේ දෑසට කඳුළු නංවන දර්ශන ද නැතුවාම නොවේ. මෙවැනි ශක්තිමත් චිත්‍රපට කතාවකට සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ චරිතය ඈඳා ගැනීම මට නම් ප්රහේලිකාවකි. එයින් බලවත් අයුක්තියක් හා අසාධාරණයක් සිදුවූයේ එම චරිතය රඟපාන නව පරපුරේ දක්ෂ යොවුන් නළු ජනිත්ටය.
ගාමිණී (ජනිත්) සිගරට්ටුවක් උරමින් දර්ශන තලයකදී මිල්ටන් මල්ලවාරච්චිට “අයිසේ… තමුසේ…” යයි අමතමින් කතා කරයි. ඔවුන් දෙදෙනාගේ පළමු හමුව එම අවස්ථාව බව ප්‍රේක්ෂක අපට හැඟේ. නමුත් මා දන්නා සැබෑ ගාමිණී ෆොන්සේකා මහතා ජීවිතයේ ප්‍රථම හමුවේදී ඔහු ඉදිරියේ සිටින මිනිසාට හෝ කලාකරුවාට ‘අයිසේ… තමුසේ…’ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ නැත. එවැනි උඩඟු හැඟීමකින් ඔහු නොපෙලුනේය. තිර නාටකය ලිවීමේදී ගාමිණී චරිතය ඉවත් වූවාට චිත්‍රපටයට හානියක් නොවන බව මගේ පුද්ගලික හැඟීමයි. මන්ද එම චරිතය මිනිත්තු දෙක තුනකින් කතා කළ නොහැකි බැවිණි.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ මිල්ටන් මල්ලවාරච්චි චරිතයට පණ පොවන රොෂාන් රවින්ද්‍ර සැබෑ මිල්ටන් ලෙස රසික මනස මේ වන විට වැළඳගෙන සිටියි. ඔහු භාෂණ රංගනය හැදෑරූ ශිල්පියෙකි. එවැනි දක්ෂයෙක් තුළින් මිල්ටන් මල්ලවාරච්චි යළි බිහි නොවූණා නම් එය තමයි පුදුමය.
චිත්‍රපටයේ දැක්වෙන ආකාරයට මිල්ටන් මල්ලවාරච්චි මිය යන්නේ අධික මත්පැන් පානය හේතුවෙනි. ඒ වයස අවුරුදු 53 දීය. චිත්‍රපටයේ තැනක ඔහු ප්‍රේමකීර්ති ද අල්විස් සමඟ ‘අඩියක්’ ගසමින් ගීත පදමාලාවක් ගැන කතා කරමින් සිටී. මිල්ටන්ගේ දරුවා සෙල්ලම් කරන බෝලය එතැනට වැටේ. මිල්ටන් දරුවාට උස් හඬින් සැර කරයි. බිරිඳ ස්වර්ණා ශබ්දය ඇසී එතැනට එයි. ඇගේ අතේද දරුවෙකි. “බයිට් එක පරක්කු ඇයි…?” යැයි අමතමින් මිල්ටන් ඇයට සැර කරයි. ඒ “මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර…” යනුවෙන් ගී ගැයූ ආදර පෙම්වතියට (බිරිඳට) ය.
ගීතයෙන් සුන්දරත්වය මැවූ මිනිසෙකු තුළ සිදුවූ මානසික විකෘතිය ‘එදා රෑ’ තුළින් ප්‍රතිනිර්මාණය වූයේ කලාකරුවන්ගේ ජීවිත තුළ තවත් පැතිකඩ ඇති බව පෙන්වා දෙන්නට විය හැක. එය යථාර්ථයකි. තිර නාටකයේ අගය කළ යුතු අවස්ථාවකි. එවැනි දර්ශනයක් චණ්ඩියා චිත්‍රපටයේ චුට්ටේ හරහා නිර්මාණය වේ. නමුත් චුට්ටේ කලාකරුවෙක් නොවේ. ඔහු චණ්ඩියකි.
දක්ෂ කලාකරුවන් මත්පැනට ලොල් වී ජීවිතයේ හොඳම කාලයේදී සමුගෙන යාම කාගේත් සාකච්ඡාවට භාජනය විය යුතු කරුණක් බව ‘එදා රෑ’ මෙම දර්ශනය දුටු විගස මට දැනުණු හැඟීමයි.





අනුර හොරේෂස්