මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩුව සූදානම් වන බවට නිල නොලත් තුරතුරු වාර්තා වෙයි.ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින් ඒ සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී.ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද තමන් සමඟ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විදුලි ගාස්තු සංශෝධනයට උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉඩ නොදෙන බව එම මන්ත්‍රී වරුන්ට පෙන්වා දී ඇත. විදුලි ගාස්තු සංශෝධන සිදු කරන්නේ නම් දිනකට පැය පහ ඉක්මවූ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව ද විදුලි බල ඇමතිවරයා ද එහිදී ප්‍රකාශ කර ඇත.එහි දී විදුලි කප්පාදුව දීර්ඝ නොකළ යුතු බවත් උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විදුලි ගාස්තු සංශෝධනය ඉඩ නොදෙන්නේ නම් ඔහු එම ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය ඇති බවත් ප්‍රකාශ වී ඇත.ඒ අනුව ඊට අදාල යෝජනාවක් කෙටුම්පත් කිරීමට එහිදී එකඟතාවට පැමිණ ඇත. ඒ අතරේ බොහෝ රාජ්‍ය නිලධාරීන්ට හුරු පුරුදු “යර්ස් සර්” ප්‍රතිපත්තියේ සිට”මාසේ පඩිය අතට එනවනා නම් ඕනෙ කෙහෙම්මලක්”යන බහුතර රාජ්‍ය නිලධාරී ප්‍රතිපත්තියට කොටු නොවූ ආයතන ප්‍රධානියකු ලෙස ජනක රත්නායක මේ වන විට බොහෝ දෙනකුගේ දැන හැඳිනුමට ලක් ව තිබේ.
උසස් පෙළ විභාගය ආරම්භ වූ (23) දිනයේ විදුලි කප්පාදු කර දරුවන්ගේ ජීවිත සමඟ සෙල්ලම් නොකරන්නැයි තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය කප්පාදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට ලිපියක් යොමු කළ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති වරයා ඉකුත්22 දා කියා සිටියේ ය.දරුවන් සමඟ හෝ ආර්ථිකය සමඟ සෙල්ලම් කිරීමට මෙය සුදුසු කාලයක් නොවන බව එහි දී පෙන්වා දුන් ඔහු විදුලි ඉල්ලුම අඩුවී තිබෙන බැවින් ජල විදුලිය, ගල්අඟුරු සහ පුනර්ජනනීය යන ක්‍රමවේදවලින් අවශ්‍ය විදුලි ධාරිතාවෙන් සියයට 95 ක් සපයාගත හැකි බව ද සඳහන් කළේය.මෙය අතිශය තර්කානුකූල ප්‍රකාශයකි.එමෙන්ම විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය සැපයීමට ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500ක් වැය වන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කරන ප්‍රකාශ සාවද්‍ය බව කී සභාපති වරයා පැවසුවේ විදුලිබල ක්ෂේත්‍රය පිළිබඳව දැනුම නැති අමාත්‍යවරයා ඉවත් කර දැනුම ඇති අමාත්‍යවරයෙක් පත්කර අදාල ආයතන අතර සාකච්ඡාවක් කර ප්‍රශ්න විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.
මෙය රාජ්‍ය ආයතන ප්‍රධානියකු පිවිසීමට මැලි වන යථාර්ථවාදී වුව අන්තරායකාරී ඉසව්වකි.මුල දී ඔහුගේ ඒ ප්‍රකාශය පිළිබඳව වගේ වගක් නොමැතිව සිටි ආණ්ඩුවට පසුව උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලිය නොකපා හිඳින්නට අකමැත්තෙන් වුව කැමති වීමට සිදුව තිබේ. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති වරයා එලෙස තම රාජකාරීමය පෞරුෂය ගෙන හැර දක් වනුයේ තමන් වෙත බලතල පැවරී ඇති 2002 අංක 35 දරණ මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත ප්‍රකාරව බව ද පෙනෙයි.එමෙන්ම එම පනත අනුව තමන් සභාපතිධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඇති බලය ද ඔහු නොදන්නවා වීමට කෙසේවත් නොපුළුවන.නමුත් ඔහු නොමැතිව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ගේ බහුතර කැමැත්තෙන් විදුලි බිල වැඩි කිරීමට ජනාධිපති වරයා ප්‍රමුඛ ආණ්ඩුව දරන වෑයම ජනතාවගේ පැත්තෙන් බලන විට “වංගු ගැසීම”කි.
අද සමාජය වර්තමානයේ පවත්නා සියලු තත්වයන් පිළිබඳව දැඩි සේ කලකිරී හිඳිති. කෙළින්ම කිවහොත් ඒ කලකිරීම වර්තමාන සමස්ත දේශපාලන සංස්කෘතිය කෙරෙහිම බලපවත්වන තත්වයකි. ඒ අනුව අද වන විට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කෙරෙහි ජනතා ප්‍රසාදය කෙමෙන් ඉහළ නැංවෙමින් ඇති බවක් පෙනෙයි. ඒ ඔවුන් පවත්නා දේශපාලන සංස්කෘතියට එතරම් අනුගත බවක් නොපෙන්වීම නිසාය. නමුදු පසුගිය කාලය පුරාම විප්ලවකාරී සහ සටන්කාමී ගමන් මඟක යෙදී සිටි ජනතා විමුක්ති පෙරමුණ 1993 වසරේ පලාත් දේශපාලන ධාරාවට එක්ව 2004 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේ කැබිනට අමාත්‍ය ධූර පවා හිමි කම් කීය. ඉන්පසු ද 2005,2010,සහ 2015 මැතිවරණ වල දී කේවල් කිරීමේ න්‍යායක් මත වත්මන් දේශපාලන සංස්කෘතිය හා සෘජු සහසම්බන්ධතා පළ කළ ඔව්හු මේ වන විට ස්වාධීන මංපෙතකට පිවිස ඇති බවක් පෙන්නුම් කරති. එහෙත් ඔවුන්ගේ හෙට දවසේ දේශපාලන තීන්දු තීරණ කෙබඳුවේදැයි අපට කිව නොහැක.
මේ අතර වර්තමාන දේශපාලන සංස්කෘතිය තුළ රැඳෙමින් විවිධාකාරයෙන් එම පදනම විවේචනය කළ දේශපාලනඥයකු වන රන්ජන් රාමනායක ද අද වන විට පක්ෂ දේශපාලන සංස්කෘතියෙන් අත්මිදී ස්වාධීන මංපෙතක් ඔස්සේ සමාජයට සේවය කිරීමට සැරසෙන බවට ඔහුට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහු මාධ්‍යකරුවන් හමුවේ කිහිප වරක් පවසන ලද “මුන් ඔක්කොම යාළුවො මල්ලි” යන්න සරල වදන් කිහිපය වර්තමාන දේශපාලන සංස්කෘතිය හා කෙතරම් යාවජීව සම්බන්ධයක් පවත්වන්නේ ද කිවහොත් එය අද ඇතැම් ත්‍රිරෝද රථවල පිටුපස ප්‍රදර්ශනය කෙරෙන වැකියක් බවට ද පත්ව තිබේ.
මේ තත්වය යටතේ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ජනතාව වෙනුවෙන් මෙලෙස පෙනී සිටීම මේ වන විට සමස්ත සමාජයේම අවධානයට නතු වෙමින් තිබෙන අතර ආණ්ඩුව විසින් ඔහුට ප්‍රහාර එල්ල කරන තරමට ආණ්ඩුව අප්‍රසාදයටත් සභාපතිවරයා ප්‍රසාදයටත් පත්වීම වැළැක්විය නොහැක.ඒ අනුව ඔහු මේ වන විට පොදු සමාජය ඉදිරියේ සුපිරි තරුවක් වීමේ පෙර ළකුණු පහළ කොට හමාරය. නමුදු ඔහුට වර්තමාන දේශපාලන සංස්කෘතියට ප්‍රතිරෝධයක් එල්ල කොට සැබෑ ජනතාවාදී මංපෙතට පිවිසිය හැක්කේ තමන් දැනට දරන ස්ථාවරය සවිමත්ව හා ස්ථාවරව එලෙසින්ම තබා ගැනීමෙන් පමණි.
දමයන්ති ගමගේ