“අථත් තලයකට අපි රට ගේනවා. නීතියට පුරවැසියන් යටත් වෙන්න ඕනේ. නීතියට මිනිසුන් බය වෙන්න ඕනේ. දැන් මිනිසුන් නීතියට යටත් නැහැ. මිනිස්සු නීතියට බයත් නැහැ. වංචා, දූෂණයේ යෙදෙන්න නෙමෙයි. වංචාව, දූෂණය හිතන්නත් බය වෙන්න ඕනේ. රාජ්‍ය සේවය, රාජ්‍ය යාන්ත්‍රණය පුරවැසියන්ට වග කියන තලයකට ඔසවන්න ඕනේ. රටේ ජනතාව විසින් පත්කරන ලද එක රාජ්‍යයක් විතරයි තියෙන්නේ. නමුත් MINI GOVERNMENT බිහිවෙලා තිබෙනවා. MINI GOVERNMENT වලට යටත් වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ.”
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 28/06/2025 දින පැවැති උත්සවයකදී එසේ පැවසීය.
රටේ දේශපාලන නායකයන්ගේ හා සෙසු දේශපාලනඥයන්ගේ කතා මතක ඇති කාලයක පටන් අප කොතෙකුත් අසා ඇත. එහෙත් මෙවැනි අනතුරු ඇඟවීමක් ඇසූ පළවැනි වතාව මෙය යැයි මතකය කියයි. සමහර විට මේ හා සමාන කතා දේශපාලනඥයන් විසින් පසුගිය කාලයේ කොතෙකුත් ප්‍රකාශ කොට ඇතැයි ඇතමුන්ට පැවසිය හැක. එය ප්‍රතික්ෂේප කරන්නට අපට නොහැකිය. නමුත් එබඳු කතා සියල්ල ජනතාව පිනවීම පමණක් අරමුණු කැරගෙන කළ ප්‍රලාප වශයෙන් සැලකිය හැක. මන්ද පැවසූ සියල්ල ප්‍රායෝගික තලයේදී නිශ්ක්‍රිය හෝ අකර්මන්‍ය වූ බැවිණි. දේශපාලනඥයන්ගේ කතා යනු ජනතාවට ‘ආතල්’ පිණිස වූ ඒවා පමණී. දේශපාලනඥයන් වේදිකාවේ සිට උගුර කඩාගෙන මෙවැනි ප්‍රලාප ගයද්දී පාක්ෂිකයන්ට එම ‘ආතල්’ එකෙන්ම අතැඟිලි ලේ පැහැ ගැනෙන තුරු අත්පුඩි තලන්නට පමණක් එම කතා සීමා කෙරිණ. ඒ ජනප්‍රිය දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයයි.
නමුත් ‘නීතියට කවුරුත් යටත් විය යුතු’ යැයි රතු නිවේදනයක් නිකුත් කළ එකම ජනාධිපතිවරයා අනුර කුමාර විය හැක. එය පොදුවේ රටේ සමස්ත ජනතාවටම නිකුත් කළ ‘රතු නිවේදනයකි’ බව අමතක කළ නොහැක. ප්‍රශ්ණය වන්නේ එම නිවේදනය ප්‍රකාරව නීතියට අනුකූලව හැඩ ගැසෙන්නට ශ්‍රී ලංකාව වැනි රටක ජනතාව සූදානම්ද යන කාරණාවයි.
රටේ ආණ්ඩුවට පිටින් MINI GOVERNMENT තිබෙන බව ජනාධිපති කියයි. ඒවා නිසැක ලෙස අහෝසි කැර දමන බවත් පැවසූ එකම ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයා අනුරම පමණකි. ඔහු කෙලින්ම පෞද්ගලික බස් MINI GOVERNMENT පාලනයක් ගැන කීවේය. පිටකොටුවේ වෙළෙඳ අධිකාරියේ MINI GOVERNMENT එකක් ඇතැයි පැවසුවේය. ඒ සියල්ල අහෝසි කරන බව හෙතෙම තදින් කීවේය.
මේවා ඇත්තය. නමුත් රටේ කිසිම ජනාධිපතිවරයෙක් අත නොගැසූ මාතෘකාය. මන්ද ඒ තරමටම මෙම මාෆියා බිහිසුණු බැවිණි. ආණ්ඩු පෙරළා දමන්නට වුවත් මෙම MINI GOVERNMENT මාෆියාකාරයින් සමත්ය. බලවත්ය. බස් සංගම් නායකයකු ජනාධිපති මන්දීරයේ මැදිරියකට කැඳවූ හිටපු ජනාධිපතිවරයෙක් පුටුවක් පෙන්වා ඔහුට වාඩිවෙන්නැයි කීවේය. බස් සංගම් නායකයා වාඩි වුණේය. එකෙනෙහිම ඔහුගේ මුහුණ ‘පුරවා’ එල්ල වූ දැඩි පහරද සමග සංගම්කාරයා පිටුවත් පෙරළා ගෙන ඇද වැටුනේය. “පරයා දැන ගනින්..තෝව මරනව මං…” ජනාධිපතිවරයා ගිගිරුවේ දබරැඟිල්ල ලෙලවමින්ය. පසු කලෙක් එම ජනාධිපතිවරයා බලයෙන් පහකර දමන්නට බස් සංගම් මාෆියාව පෙරමුණ ගෙන වැඩ කළේය. එවැනි මාෆියාවක් නැතහොත් MINI GOVERNMONT පාලනයක් පෙරළා දමන බවට අනුර ජනාධිපතිවරයා සහතික වෙයි.
2025 ජූලි 01 වැනිදා සිට සියලුම බස්රථ රියදුරන් SEAT BELT (ආසන පටි) පැළඳ රිය ධාවනය කළයුතු යැයි ජාතික ගමනා ගමන කොමිසමේ සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා පවසයි. රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ මොන අභියෝග ආවත් ජූලි 01 වැනිදා සිට රියදුරන්ට ආසන පටි අනිවාර්ය කැර ඇති බවයි. ඒවා නොපළඳින රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවත් හෙතෙම කීවේය. ජනාධිපති අනුර කුමාර ඉහත කතාවේදී විශේෂයෙන් සඳහන් කළේ දිනකට රිය අනතුරුවලින් පුද්ගලයන් 08 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වන බවයි. එබැවින් රිය අනතුරු වළකා ආරක්ෂිත හා සැපපහසු බස් සේවාවක් ජනතාවට ලබා දෙන බවත් ජනාධිපතිවරයා පැවසුවේය. 29.06.2025 දිනයේ ඇතැම් බස්රථ රියදුරන් මෙම නීතියට එරෙහිව විවිධ ප්‍රකාශ විද්්‍යුත් මාධ්‍ය වෙත ලබා දුන්හ. ඇතැම් රියදුරන් පැවසුවේ ආසන පටි පැළඳ සිටියදී අනතුරක් සිදු වුවහොත් තමන්ට රථයෙන් පැන ගන්නට අවස්ථාවක් නොලැබෙන බවයි. තවත් අය සඳහන් කරන්නට වූයේ ආසන පටි පැළඳ සිටියදී තමන්ට අවැසි අයුරින් ස්ටියරිං වීලය කරකැවිය නොහැකි බවකි. “පටියට බෙල්ල සිර වෙනවා” යැයි තවත් අයෙක් කියනු අසා සිටියෙමු. ජූලි 01 වැනිදා ආසන පටි පළඳින්නැයි පැවසුවත් බස් රථ බොහෝමයක ඒවා නැතැයි තවත් රියදුරන් කියති.
මෙයින් අදහස් වන්නේ ජූලි 01 වැනිදා සිට ආසන පටි පැළඳ බස්රථ පැදවීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වන්නට ඇතැම් රියදුරන් සූදානම් වන බවකි. ඊට හේතු වශයෙන් සමහර රියදුරන් ඉදිරිපත් කරන තර්ක අසාධාරණ හා ආත්මාර්ථකාමි බවින් යුක්තය. කෙසේ වුවත් ඔවුන්ගේ සහයට බස් සංගම්ද එකතු වනු ඇත. බස් මාෆියාවට දේශපාලන සහායද නොමසුරුව හිමිවෙයි. අනතුරුව මෙම විරෝධය, බස් වර්ජන දක්වා දිග්ගැස්සී යාමට වුවත් ඉඩ ඇත. බස් සංගම් විරෝධයට පක්ෂව හා ආණ්ඩුවේ නව තීරණවලට එරෙහිව සෞඛ්‍ය සේවා, ගුරු, දුම්රිය, ලංගම සහයෝගය වුවත් ලැබීමට ඉඩ ඇත. බස් MINI GOVERNMENT පාලනයක් ඇතැයි ජනාධිපති අනුර පැවසුවේ මේ ගැනය. නීතියට පුරවැසියන් යටත් විය යුතු යැයි කීවේ මේ නිසාය. නීතියට මිනිසුන් බය වෙන්නට ඕනෑ යැයි ජනාධිපතිවරයා පැවසුවේ මෙම තත්ත්වය නොදැන නොවේ.
නීතිය බල ගන්වමින් ඊට අවනත වන මහජන සේවාවක් රටේ ඇතැයි පොදු ජනතාවට ඒත්තු ගැන්විය හැකි පළවැනි වැඩ සටහන වශයෙන් ජූලි 01 වැනිදා සිට ආසන පටි පැලඳ බස් ධාවනය කිරීමේ නීතිය නම් කළ හැක. මෙය රජයට සුළුපටු අභියෝගයක් නොවේ. පැවැති සියලුම ආණ්ඩුවලට මෙම බස් මාෆියාව නැතිනම් බස් MINI GOVERNMENT ඉදිරියේ දනින් වැටෙන්නට සිදුවිය. එවැනි නිවට තත්ත්වකට පත් නොවී රටේ නීතිය සුරක්ෂිත කරන ව්‍යවස්ථාදායකයේ ශක්තිය පිළිබිඹු කරන්නට මෙය කදිම අවස්ථාවකි.
අනුර හොරේෂස් බි්රස්බෙන් සිට