ඩෙංගු රෝගියකු ⁣මුත්‍රා මැනීම අත්‍යවශ්‍ය වන හේතුව දැන ගනිමු – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා


අද අප ජීවත් වන්නේ මින් පෙර මේ රටේ අන් කවරදාවත් නොතිබූ තරමේ ඉතාමත් ඉහළ ඩෙංගු රෝග ආශ්‍රිත පරිසරයක ය. මේ නිසාම කිසිදු ලෙඩක් දුකක් නොමැතිව නිදහසේ සතුටින් සිටිනා පුද්ගලයකු මරණය දක්වා රැගෙන යෑමට හැකි වාතාවරණයක් අද වනවිට නිර්මාණය වී තිබේ.
දවසේ දිවා කල විවිධාකාර කාර්යවල නියැලෙන විට ඩෙංගු මදුරුවකුට අපගේ ශරීරයේ කොතැනක හෝ දෂ්ට කිරීමට අවස්ථාව ඇත. මෙය ගෙදර දී, කාර්යාලයේ හෝ මඟතොට දී ආදී වශයෙන් ඕනෑම තැනක සිදුවිය හැක්කකි.
ඩෙංගු මදුරුවාගේ දෂ්ටනයට අපට මුහුණ දීමට සිදුවුවහොත් ඒ වෙලාවට අපට කළ හැකි කිසිවක් නැත. ලැබෙන ඕනෑම දෙයක් භාර ගැනීමට සිදුවේ.
එතැනින් එහාට සිදු වියහැකි සියලු දේවල් තීරණය වන්නේ අපේ ශරීරයත් ඩෙංගු වයිරසයත් දෙකේ එකතුවෙනි. ඩෙංගු වයිරසය ඉවත් කිරීමට ප්‍රතිකාර මේ ලෝකයේ නොමැත. ඔබට ජීවත්වීමට අත්‍යවශ්‍ය නම් රෝහල සහ රෝගියා එක්ව කළ යුතු දේවල්, කළ යුතුය. මෙතනදී වරද්දා ගත්තොත් සමහර විට ජීවිතය අහිමිවි යාමට පවා බැරිකමක් නැත. එනිසා ඩෙංගු වයිරසය ඇතුළු වීමෙන් පසු ශරීරය තුළ සිදුවන දේවල්, සිදු වෙන්න යන දේවල් දැන් තේරුම් ගනිමු.
බඩට වැටෙන පෝෂණය මුළු ශරීරයටම බෙදා දෙන්නේ ලේ වල දියකරමිනි. මුළු ශරීරය පුරාම ලේ දහරාවන් ගලාගෙන යයි. මෙය සිදු වන්නේ හදවත විසින් සිදු කරනු ලබන තල්ලුවෙනි. එවිට නහර දිගේ මුළු ශරීරයටම ලේ ගමන් කිරීමත්, අවසානයේ එය නැවතත් හදවත දක්වා පැමිණීමත් සිදු වෙයි. ලේ වල විවිධාකාර දේ තිබේ. සෛල, ප්‍රෝටීන, ලුණු වර්ග සහ ජලය මින් සමහරකි. ප්‍රධාන වශයෙන් සෛල වර්ග තුනක් හඳුනා ගන්නට පුළුවන. ඒ රතු සෛල, සුදු සෛල සහ පට්ටිකා වශයෙනි.


ඩෙංගු වෛරසය ශරීරගත වූ පසු ශරීරය යම් සටනකට අවතීර්ණ වේ. උණ හටගන්නේ ඉන් පසුව ය. උණ හට ගත් පළමු දිනයේ ම ලේ පරීක්ෂණයක් මගින් එය ඩෙංගු ද නැද්ද යන වග වෛද්‍යවරුන්ට සොයා ගන්නට පුළුවන.
ඩෙංගු වැළඳුණු පසු මුල් දින කිහිපයේ සාමාන්‍යයෙන් ජීවිත අනතුරක් නැත. ඉතාමත් දැඩිව දැනෙන ශාරීරික වේදනාව, හිසරුදාව, ආහාර අරුචිය, ඔක්කාරය, බඩ බුරුල් වීම වැනි ලක්ෂණ රෝගියාට ඇතිවිය හැකිය. සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ මගින් රුධිර පට්ටිකා අඩුවීම ආරම්භ වී ඇති බව හඳුනා ගත හැකි වෙයි.
ඩෙංගුවල හැසිරීම ආකාර දෙකකට සිදුවන්නට පුළුවන. එනම් ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ වශයෙනි. රක්තපාතය යැයි කීවත් සාමාන්‍යයෙන් කිසිම කෙනෙකුට ලේ ගැලීමක් සිදුවන්නේ නැත. රුධිර පට්ටිකා කීයට අඩු වුණත් ඒ හේතුව නිසාම ලේ ගැලීමක් සාමාන්‍යයෙන් සිදු නොවේ. මේවාට බිය විය යුතු නැත. ඩෙංගු උණ පමණක් ජීවිත අවදානමක් ඇති නොකරන මුත් ඩෙංගු රක්තපාත උණ නිසා ජීවිත අනතුරක් ඇතිවීමේ ඉඩකඩක් පවතී. නමුත් හරි පාරේ ගියොත් වරදින්නට ඉඩක් නොමැත.

ඩෙංගු රක්තපාත උණ හැදෙන විට රුධිර පට්ටිකා විශාල වශයෙන් පහළට බසියි. මෙලෙස පට්ටිකා පහළ බසිනවිට රෝගියාට තිබෙන්නේ ඩෙංගු උණ ද නොඑසේ නම් ඩෙංගු රක්තපාත උණ ද යනුවෙන් වෛද්‍යවරු සැක කරති. ඉන්පසු බඩේ ස්කෑන් පරීක්ෂණයක් කළ විට සිදු වී ඇත්තේ කුමක්දැයි වෛද්‍යවරුන්ට පැහැදිලි වෙයි. ශරීරයේ ලේ නහරවල නිදහසේ ගමන් කළ ලේවල ඇති වතුර යම් ප්‍රමාණයක් නහරවලින් පිටතට පැමිණ විවිධ තැන්වලින් එකතු වී තිබෙන අන්දම ස්කෑන් එකේ පෙන්නුම් කරයි.
මෙය ආරම්භ වූ සැණින් රෝහල් කාර්ය මණ්ඩලය රෝගියා වෙත විශේෂ අවධානයක් යොමු කරන්නට පටන් ගනියි. ලේ වලින් වතුර අයින් වීම යනු සිරුරේ ලේ ප්‍රමාණය අඩුවීමක් ලෙස හැසිරෙයි. උදාහරණයක් ලෙස ඔබ කෑම පිසින විට හොද්ද හිඳෙන අයුරු, එවිට හොදි ප්‍රමාණය අඩුවෙන අයුරු සිහියට නගා ගන්න. එහි අරුත නම් ඕනෑම දෙයකින් වතුර ඉවත්වන විට එහි ප්‍රමාණය අඩුවන බව ය. ඇඟේ ලේ වලට සිදු වන්නේත් මෙවැනිම දෙයකි. වතුර අයින් වන විට ප්‍රමාණය අඩුවේ.


ශරීරයේ මෙවැනි දෙයක් සිදු වනවිට එහි විවිධ අවයව මේ අඩුපාඩුව විඳින්නට සූදානම් නැත. මේ නිසා ශරීරයේ අවයව එකින් එක කඩා වැටෙන විට අවදානම ද එන්න එන්නම වැඩිවෙයි. විටින් විට රෝගියාගේ රුධිර පීඩනය, ශරීර තත්ත්වයන් පරීක්ෂා කර බලන්නේ මේ නිසා ය.
ලේ වල ප්‍රමාණය ගැන ඉතාමත් අවධානයකින් සිටින අවයවයක් වන්නේ වකුගඩුව යි. ලේ වල ප්‍රමාණය අඩු වැඩි වන විදියට පිට කරන මුත්‍රා ප්‍රමාණය වෙනස් කරන්නට වකුගඩුවට පුළුවන. ඔබ වතුර ගොඩක් බිව්වොත් මුත්‍රා ගොඩක් පිටවෙන අන්දම ඔබ අත්දැක ඇති. වතුර නොබීම හිටියොත් වකුගඩුව පිට කරන මුත්‍ර ප්‍රමාණය ද අල්පයක් බවට පත් කරයි. ලේ ප්‍රමාණය අඩුවෙන විට ශරීරය පිට කරන මුත්‍රා ප්‍රමාණය අඩු කරගන්නේ ශරීරයට උදව්වක් ලෙස ය. පැයකට පිටවන මුත්‍රා ප්‍රමාණය මැනගත්තොත් ශරීරයේ ලේ ප්‍රමාණය අඩු වී තිබේද යන්න දැනගන්නට පුළුවන. නමුත් බොහෝ රෝගීන් සිතන්නේ මුත්‍රා මැනීම කරදරයක් ලෙස ය. එසේම රෝගියාගේ ඥාතීන් පවා පට්ටිකා අඩු වැඩිවීම ගැන දක්වන උනන්දුව මුත්‍රා මැනීම කෙරෙහි දක්වන්නේ නැත. නමුත් ඩෙංගු රෝගියකු මුත්‍රා මැනීම කොයිතරම් වැදගත්ද යන්න දැන් ඔබට වැටහෙනු ඇත. එනිසා පිට වෙන සෑම මුත්‍රා බින්දුවක් ම ඉවත දැමිය යුත්තේ මැන බැලීමෙන් පසුව ය. මෙය කරන්නට රෝගියාට නොහැකි නම් ඒ ගැන රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කළ යුතු වේ. යමක් සිදු වූ පසු ආපසු හැරෙන්නට නොහැකිය. ශරීරයට ලබාදෙන දියර ප්‍රමාණය තීරණය කරන්නේ ශරීරයෙන් පිට වෙන මුත්‍රා ප්‍රමාණය අනුව ය. රෝගියා නිදාගන්නා විට මුඛ මාර්ගයෙන් දියර ලබාගත නොහැකි නිසා එම කාලය තුළ දියර සේලයින් ලෙස ලබා දෙයි. අතේ සේලයින් කටුව ගසා ඇති තැන නොතෙමා ඉන්නටත් රෝගියා වග බලාගත යුතුය. නොඑසේ නම් කටුව ගැසූ තැන පැසවීමකට ලක්වන්නට පුළුවන. රෝගියාට බොන්නට පුළුවන් ප්‍රමාණ සහ දියර වර්ග වාට්ටුවේ වෛද්‍ය කාර්ය මණ්ඩය විසින් හරියටම දන්වනු ඇත. අප්‍රසන්න කිසිම දියරයක් බොන්නට හොඳ නැත. සමහරු පැපොල් කොළ යුෂ ලබා දෙති. මේවායේ අප්‍රිය ස්වභාවය මත වමනය යන්නට පුළුවන. වමනය පිටවන විට ද ශරීරයේ දියර පිට වෙයි. එනිසා වමනය යා හැකි දේවල් ගැනීමෙන් වැළකිය යුතුය. බොන දේවල් පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් විමසීම වැදගත් වේ.


ශරීරයෙන් දියර ඉවත්වන්නේ ප්‍රධාන වශයෙන් මුත්‍රා සහ දහඩිය ලෙසින් වුවද, තවත් අමතර ගැටලු වශයෙන් වමනය, පාචනය සහ මාස් ශුද්ධිය දක්වන්නට පුළුවන. මෙවැනි දේ වෛද්‍යවරයාට වහාම දැන්විය යුතුය. ශරීරයට ලැබෙන දියර ප්‍රමාණයත්, පිටවන දියර ප්‍රමාණයත් ගැන වෛද්‍යවරුන් සිටින්නේ මනා අවධානයෙනි. බොන දියර ප්‍රමාණයත්, පිටවන මුත්‍රා ප්‍රමාණයත් ඔබ මැන සටහන් කරගත යුතුය. නමුත් ගැටලුව වන්නේ වමනය, පාචනය, මාස් ශුද්ධිය හරහා පිටවන ප්‍රමාණය මැනගත නොහැකිවීමය. එනිසා එවැනි දෑ වෛද්‍යවරුන්ට දැන්වූ විට ඔවුන් විසඳුමක් ලබා දෙනු ඇත.


ඩෙංගු රක්තපාත උණ අවදානම සාමාන්‍යයෙන් තිබෙන්නේ දින දෙකක් පමණි. එම දින දෙක අවසාන වන විට රුධිර පට්ටිකා ක්‍රමයෙන් ඉහළ නගින අතර ශාරීරික වේදනා සියල්ල පහවී යන්නට පටන් ගනී. ඇඟ රතුපාට වීම, කසන්නට පටන් ගැනීම හොඳ ලක්ෂණයකි. එයින් පෙන්වන්නේ රෝගය සුව වෙමින් පවතින බව ය.
මේ සියලු දේ ඉතා නිවැරදි ව සිදු කරගන්නට නම් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක්, සුදුසුකම් ඇති රෝහලක් ඔබ විසින් තෝරා ගත යුතු වෙයි. එනිසා ඉහත සඳහන් කළ දේවල් හොඳින් වටහා ගැනීම අත්‍යවශ්‍ය ය. රජයේ රෝහලක් හෝ පෞද්ගලික රෝහලක් හෝ කුමක් වුවත් සියලු දේ ඉටුකර දීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගියා විසින් සහාය දිය යුතුය. රෝහල මාරු කිරීම පිළිතුරක් වන්නේ නැත. එවිට සිදුවන්නේ දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක්වත් වගකීම ගන්නේ නැතිවීම ය. පුද්ගලික මතිමතාන්තර, නෑදෑ හිතමිතුරන් පවසන දේවල්, විවිධ විශ්වාස, ඇදහිලි ආදිය මාරාන්තික රෝගයක් ඉදිරියේ පසෙක ලා යුතුය. වෛද්‍යවරුන් ඩෙංගු රෝගය ගැන හොඳින් අධ්‍යයනය කර තිබෙන බව විශ්වාස කරන්න. එවිට වරදින්නේ නැත.

කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

විනිවිද සායනය