ජනාධිපති සටන දැන් ගලඋඩ සටනක් බවට පත්ව ඇත. අපේක්ෂකයන් සිව් දෙනෙකු මේ වන විට ප්‍රසිද්ධියේ තමන් ජනාධිපති සටනට ඉදිරිපත් වන බව කියා ඇත. අතර තවත් පිරිසක් ජනාධිපති සටනට ඉදිරිපත් වන බවට නොනිල ආරංචි මාර්ග සඳහන් කරයි.වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති තෝරා ගැනීමේ සටනට ඉදිරිපත් වන බව ප්‍රසිද්ධ කාරණයකි. ඒ අතර ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ජනාධිපති තෝරා ගැනීමේ ඡන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව ය. ඔහු එම ප්‍රකාශය කොට පැය කිහිපයක් යන්නට මත්තෙන් සජිත් ප්‍රේමදාස ද ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවය.මේ වන විට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ද තරඟ බිමට අවතීර්ණ වී සිටියි.මේ සියළු දෙනාගෙන් අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තෝරා ගත හැක්කේ 225 දෙනාගෙන් එක අයෙකු පමණකි.
මෙවර මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ද එම 225 දෙනාටම පමණකි. මෙවර විශේෂත්වය වනුයේ කථානායකවරයාට ද ඡන්දය දිය හැකිවීම ය. කතානායකවරයාට ඡන්දය දිය හැක්කේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති වරයෙකු තෝරාපත් කර ගන්නා අවස්ථාවකදී පමණක් වීම ද විශේෂත්වයකි.
2020 පාර්ලිමේන්තු මැතිවරණය අනුව වැඩිම බලයක් හිමිකර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 145 කි. සමගි ජන බලවේගයට මන්ත්‍රීවරු 54 කි. දෙමළ සන්ධානය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රීවරුන් 10 කි. ජාතික ජනබලවේගයට මන්ත්‍රීවරුන් 3 කි. ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයට මන්ත්‍රී ධූර දෙකක් හා අකිල ඉලංකෙයි තමිල් කොංග්රස් පක්ෂයට මන්ත්‍රීධූර දෙකක් ලෙස ලැබී තිබුණි.
තමිල් මක්කල් විඩුදලේ පුලිකල්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසිය කුට්ටනි, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය යන පක්ෂවලට එක් මන්ත්‍රීධූරය බැගින් හිමි ය. පසුව මෙම සංයුතිය වෙනස් විණි. ඩයනා ගමගේ ඇතුළු සජබ මන්ත්‍රීවරුන් පිරිසක් මුලින්ම ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණිම නිසා ආණ්ඩුවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 160 කට ආසන්න විය.
එහෙත්,මැයි මස 09 දා ගාලුමුවදොර පිටියේ සිටි අරගලකරුවන්ට අරලිය ගහ මන්දිරයේ සිට පැමිණි පිරිසක් එල්ල කළ පහරදීමත් සමඟ රට පුරා ඇතිවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හමුවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 40 ට ආසන්න සංඛ්‍යාවක් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට ප්‍රකාශ කළහ.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනාත්, පක්ෂ 11 මන්ත්‍රීවරුන් 16 දෙනාත් මුලින්ම ස්වාධීන වූහ. ඉන් පසුව පොදුජන පෙරමුණේ අනුර යාපා කණ්ඩායම ලෙස මන්ත්රීවරන් 10 දෙනෙකුත් පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම ලෙස තවත් 10 දෙනෙකුත් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවට දැනුම් දෙන ලදී. මේ සියළු දෙනාගේ සහාය තමන්ට හිමි බව ඩලස් අලහප්පෙරුම කියා තිබුණි. එහෙත් ශ්‍රීලනීපය දෙකට බෙදී ඇති නිසා එහි මුළු ඡන්ද සංඛ්‍යාවම ඩලස් සතු නොවනු ඇත.
එසේ ගත්ත ද අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරු 88 දෙනෙක් සිටිති. නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන් 10 දෙනා මේ වන විට පක්ෂයේ තීරණයට එකඟ වීම නිසා මන්ත්‍රීවරුන් 100 කට වැඩි පිරිසක ගේ සහායක් පොදුජන පෙරමුණ සතුව ඇත. ශ්‍රීලංකා පොදුජන පෙරමුණ කියන්නේ ආණ්ඩු පක්ෂය සතුව මන්ත්‍රීවරු 118 ක ගේ සහාය හිමිවන බව ය. ඉන් නිවෙස් ගිනි බත් වූ මන්ත්‍රීවරුන් 77 දෙනාගේ සහාය අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සතු බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් ෆේස්බුක් සටහනක් තබමින් කියා තිබුණි.
පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයට හිමි උපරීම ඡන්ද සංඛ්‍යාව 62 කි. යථාර්ථවාදී සංඛ්‍යාව 58 කි. සජබට හරීන් හා මනූෂ නොමැතිව කෙළින්ම 45 ක් චම්පික රණවක ද ඇතුළත්ව තිබේ. රජිත් කීර්ති තෙන්නකෝන් කියන අන්දමට ශ්‍රීලනීප හා ඩලස් කණ්ඩායමේ ස්වාධීන මන්ත්‍රීවරුන් ද ඇතුළත්ව සිටින්නේ 69 ක් හෝ 70 කි. ඔහු කියන ආකාරයට විපක්ෂයේ දෙමළ සන්ධානය ද ඇතුළුව දෙමළ පක්ෂ සියල්ලේ මන්ත්‍රීවරුන් 13 දෙනාගේ සහාය සජිත්ට හිමිවීමට නියමිත ය. සජිත් ප්‍රේමදාස සතු උපරීම මන්ත්‍රී සංඛ්‍යාව ඒ අනුව 62 ක් පමණ වේ.මේ අතර මෙම ජනාධිපති වරයා තේරීමේ දී තම පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන කියයි.එහෙත් එය දේශපාලන “ඩීක් එකකට” පොටක් පාදා ගැනීමකැයි තවත් පිරිසක් කියති.
මේ අතර රනිල් වික්‍රමසිංහ ගේ කණ්ඩායමේ අගමැති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන බව නිල නොවන ප්‍රකාශ වලින් කියැවේ. ඒ අනුව රනිල්ට අකමැති බොහෝ දෙනෙක් දිනේෂ්ට කැමැති ය. දෙදෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් වන ඡන්දයකදී ජනාධිපති වන්නට අවශ්‍ය වන්නේ බහුතරය මිස 113 ක ඡන්ද සංඛ්‍යාවක් නොවේ. එම නිසා ජනාධිපති තෝරන පාර්ලිමේන්තු ඡන්දය ජනාධිපති තෝරාගන්නා ජනතා ඡන්දයට වඩා බෙහෙවින් වෙනස් ය.
පොදුජන පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවට ප්‍රකාශ කර තිබියදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන ඩලස් අලහප්පෙරුම පක්ෂ තීන්දුවට පිටින් තීන්දුවක් ගැනීම නිසා සිය පක්ෂයේ සහාය රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට හිමිවන බව එහි මහලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ය. එහෙත් එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මන්ත්‍රී මධූර විතානගේ කීවේ එවැනි තීන්දුවක් පක්ෂය ගෙන නැති බවය.එසේ ප්‍රකාශ කිරීම ගැන මහාචාර්ය ජී.එල් පීරිස් සාගර කාරියවසම්ට චෝදනා එල්ල කොට තිබේ.
එයින් පැහැදිලි වන්නේ පොහොට්ටුව තුළ ද ගැටුමක් ඇති බව ය. අපේක්ෂකයන් වැඩි වන සංඛ්‍යාව අනුව බෙදී යන්නේ ද 225 ක ඡන්ද සංඛ්‍යාවම ය. කෙසේ නමුත් දැනට ප්‍රධාන අපේක්ෂකයන් සිව්දෙනෙකු ඉදිරිපත්වීමට හේතුව විපක්ෂයේ හා ආණ්ඩු පක්ෂයේ ඇති අසමගිය බව නම් පැහැදිලි ය.
අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටින මන්ත්‍රීවරුන්ගෙන් කිසිවෙකුට 50% ක් ගන්නට බැරිවුවහොත් දෙවන මනාපය ගණන් කිරීමට සිදුවේ. එයිනුත් විසඳා ගත නොහැකිවුවහොත් කුසපත් ඇදීම දක්වා එය දිග් ගැසෙනු ඇත. කෙසේ වෙතත් දැනගන්නට ඇති ආකාරයට අනිවාර්යයෙන්ම අපේක්ෂකයන් සිව්දෙනෙකු ජනාධිපති තරඟයට ඉදිරිපත් වීමට නියමිතය. සටන තවමත් අවසන්ව නැත. මේ සතිය පුරාම සටන පැවැත්වෙනු ඇත.පසුගිය කාලයේ අපේ රටේ ජනාධිපතිවරණ වල දී උඩ පැන පැන අනාවැකි කියන්නට යාම නිසා පස්ස බිම ඇන ගත් ජ්‍යොතීර්වේදීන් දැන් ආගිය අතක් නැත.ඉන් පැවසෙනුයේ හෙට අනිද්දා පත් වන නව ජනාධිපත් වරයා කවුරුන්ද යන්න පිළිබඳව නව ග්‍රහයන් වත් නොදන්නා බවකි.
ලසන්ත වීරකුලසූරිය