
තව ටික දවසකින් බංග්ලාදේශය හරහා නැවතත් යම් දේශපාලන කුණාටුවක් හමා යාමේ ලකුණු පහළ වී තිබේ. එවැනි සැකයක් මතුවන්නේ මෙයට ටික කලෙකට පෙර තමාට එරෙහිව රට තුළ මතු වූ ජනතා නැගිටීම හමුවේ රටින් පලා ගිය හිටපු අගමැතිනී ෂෙයික් හසීනා විසින් කරනු ලැබ ඇති ප්‍රකාශයක් නිසා ය.
මේ වනවිට ඉන්දියාවේ නව දිල්ලි නුවර දැඩි ආරක්ෂාවක් යටතේ රැඳී සිටින ඇය පවසා ඇත්තේ තමා ඉක්මනින් නැවත බංග්ලාදේශයට පැමිණීමට බලාපොරොත්තු වන බව යි. ලබන දෙසැම්බර් මාසයේ තමා බංග්ලාදේශයට පැමිණෙන බවක් ඇය ප්‍රකාශ කර ඇත.
බංග්ලාදේශ බලධාරීන් ද බලා සිටින්නේ හසීනා නැවත පැමිණෙන තුරු ය. ඇය පැමිණි පසු අත් අඩංගුවට ගෙන මරණ දඬුවම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඔවුන් බලාපොරොත්තු වන ආකාරයක් පෙනේ.

බංග්ලාදේශයේ අධිකරණයක් විසින් ටික කලෙකට පෙර ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම කරන ලද බව රහසක් නොවේ. නමුත් මෙම තීන්දුව ලබා දෙන විට හසීනා සිටියේ ඉන්දියාවට පලා ගොසිනි. ඇය නැවත බංග්ලාදේශයට බාර දෙන මෙන් බංග්ලාදේශ රජය ඉන්දීය රජයෙන් ඉල්ලා සිටියත් එය ඉටු වූයේ නැත. තමා දෙසැම්බරයේ නැවත සියරට පැමිණෙන බවක් හසීනා පවසන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.
හසීනාගේ පාලනයට එරෙහිව විරෝධතා මතු වූයේ 2024 වසරේ මැද භාගයේ යි. ඊට නායකත්වය දුන්නේ එරට තරුණ පරපුර ය. මෙය 2022 ලංකාවේ ඇති වූ “අරගලයට” සමාන නැගිටීමක් විය.
තමාට එරෙහිව පැන නැගුණු විරෝධතා උණුසුම් වෙද්දී හසීනා රජය එය මර්ධනය කිරීම සඳහා දැඩි පියවර ගත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා පෙන්වා දුන්නේ විරෝධතාකරුවන් 1,400 කට ආසන්න සංඛ්‍යාවක් මෙහි දී මරණයට පත් වූ බව යි.

විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සඳහා හසීනා ආරක්ෂක අංශවලට නියෝග කළ බවට ද චෝදනා එල්ල විය.
2024 අගෝස්තු 5 වැනි දින ඇය හමුදා හෙලිකොප්ටරයක නැගී ඉන්දියාවට පලා යාමෙන් පසු පත් වූ අන්තර්කාලීන ආණ්ඩුව හසීනා ඇතුළු ඇගේ පාලනයට සම්බන්ධ ඇතැමුන්ට එරෙහිව නඩු විභාගයක් ආරම්භ කළේය. ඒ ඔවුන් විරෝධතා මර්ධනය කළ ආකාරයන්ට අදාල චෝදනා පදනම් කර ගනිමිනි. මෙම නඩු විභාගය සඳහා හසීනා පෙනී සිටියේ නැත.
ඇයට මරණ දණ්ඩනය නියම කරන ලද්දේ මෙම නඩු විභාගයෙන් අනතුරුව යි.

හසීනා ඉන්දියාවට පලා යාමෙන් පසු වසර දෙකක් ගතවන තුරුම ප්‍රසිද්ධියේ කිසිදු ප්‍රකාශයක් කළේ නැත. නමුත් පසුගිය 5 වැනි දින විඩියෝ සබැඳියාවක් ඔස්සේ පෙනී සිටිමින් ඇය යම් ප්‍රකාශයක් සිදු කළාය. තමා දෙසැම්බර් මාසයේ බංග්ලාදේශයට පැමිණෙන බව ඇය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ මෙම අවස්ථාවේ දී යි.
තමා බංග්ලාදේශයට පැමිණි පසු අත් අඩංගුවට ගැනීමට ඇති ඉඩකඩ ගැන ද හසීනා එහි දී සඳහන් කළාය. අත්අඩංගුවට ගැනීමට, සිරගත කිරීමට සහ මරණයට පත් කිරීමට ඉඩක් තිබුණත් තමා දෙසැම්බරයේ නැවත බංග්ලාදේශයට පැමිණෙන බව කී ඇය තමාගේ පෞද්ගලික ආරක්ෂාවට වඩා ජනතාව වෙනුවෙන් කිරීමට ඇති මෙහෙවර වැදගත් බවක් පැවසුවාය.
“මට මොන විදියේ ඉරණමක් හිමි වීමට නියමිතව තිබුණත් මා මගේ ජනතාව වෙත පැමිණෙනවා. මගේ ආදරණීය රට වැසියන් දුක් විඳිද්දී මට වෙන රටකට වී සිටින්නට බැහැ. දෙසැම්බර් මාසයේ නැවත පැමිණීමට මට අවශ්‍ය යි”.
ඇය බංග්ලාදේශයට පැමිණෙන නිශ්චිත දිනයක් ගැන ප්‍රකාශ කර නොතිබුණු අතර ඇය පවසන්නේ ඒ ගැන නිසි වේලාවට දැනුම් දෙන බව යි.
මේ වනවිට බංග්ලාදේශයේ ආණ්ඩු බලය හොබවන්නේ දීර්ඝ කාලයක් හසීනාගේ දේශපාලන ප්‍රතිවාදිනිය වූ ඛලීඩා සියා නායකත්වය දුන් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය යි. ඛලිඩා සියා පසුගිය වසරේ අභාවප්‍රාප්ත වීමෙන් පසු දැන් එහි නායකත්වය මෙන්ම රටේ අගමැති ධුරය ද දරන්නේ ඇගේ පුත්‍රයකු වන තරීක් රහ්මාන් ය.
හසීනා නායකත්වය දුන් පක්ෂය වන අවාමි ලීගය නමැති පක්ෂයේ දේශපාලන කටයුතු මේ වනවිට තහනම් කර තිබේ. එම තහනම ඉවත් කර ගනිමින් නැවත දේශපාලන කටයුතු ආරම්භ කිරීම හසීනා ගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.

හසීනා ප්‍රකාශ කර ඇති ආකාරයට අනුව ඇය දෙසැම්බර් මාසයේ නැවත බංග්ලාදේශයට පැමිණියහොත් එවිට කුමන තත්වයක් ඇති වේවි ද?
ඇය අත් අඩංගුවට ගෙන සිරගත කිරීමට බංග්ලාදේශ බලධාරීන් පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ නමුත් හසීනාට එරෙහිව ලබා දී ඇති නඩු තීන්දුවලට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමේ අවස්ථාව ඇයට තිබේ.
හසීනා ඇයට එරෙහි චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ අතර ඒවා දේශපාලන වශයෙන් පලිගැනීම සඳහා එල්ල කරන ලද ඒවා බව පවසයි.
හසීනා අභියාචනයක් ගොනු කළහොත්, ඇයට මරණ දඬුවම ලබා දෙනවාද නැද්ද යන්න තීරණය වනු ඇත්තේ එම අභියාචනය පිලිබඳ කෙරෙන විභාගයකින් අනතුරුව ය.
කෙසේ නමුත් හසීනාට සහ ඇගේ පක්ෂයට සහය දක්වන ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් බංග්ලාදේශයේ තවමත් සිටින බව ද අමතක කළ යුතු නොවේ. එමෙන්ම කලාපීය බලවතා වන ඉන්දියාව ද හසීනාගේ මිත්‍ර පාර්ශ්වයකි.
ඉන්දියාව අමනාප කරගෙන බංග්ලාදේශයේ වර්තමාන පාලකයන්ට ද ඉදිරියට යාම පහසු නැත.
මෙම තත්වය තුළ හසීනාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ඉතා අභියෝගාත්මක කටයුත්තක් වනු ඇති බව පැහැදිලි ය.
නිහාල් පීරිස්