බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට

බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමේ කටයුතු ද දැඩි අසීරුතාවයකට හා අවදානමකට ලක්ව ඇති බවයි.

රෝගීන් වාර්තා වීම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඊට සමානුපාතිකව ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බවයි.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වැඩිම රෝගී ප්‍රතිශතයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් තෝරාගෙන එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සතියක් පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.එම සතිය අවසානයේදී එහි ප්‍රගතිය සමාලෝචනය බවත් ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් කොටස් තුනක සැලසුමක් සකස් කර ඇති බව ද අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දෙනලදි.ඩෙංගු රෝගීන්ගේ වර්ධනය ඉතාමත් බරපතළ මට්ටමක පවතින බැවින් සහ රෝහල් විශාල සංඛ්‍යාවක් උපරිම ධාරිතාවට පැමිණ රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින්, මේ මොහොතේදී කෙටිකාලීන හදිසි (Emergency) පියවරයන් ක්‍රියාවට නැංවීමට මූලිකත්වය දී ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

කාලීන පුවත්