බිලියන ගණන් වංචා කළ මැලේසියාවේ හිටපු අගමැති සිරගත කරයි

මොන තරම් දූෂණ වංචාවල නිතර වුණත් බොහෝ රටවල දේශපාලන නායකයන්ට නිසි දඬුවම් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. විශේෂයෙන් ආසියාව වගේ කලාපවල මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්න පිලිවන්. කෙසේ නමුත් මෙයට තරමක් වෙනස් කතාවක් ගැන ඊයේ මැලේසියාවෙන් වාර්තා වුණා. මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් පුවතකින් පැවසුණේ මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වන නජීබ් රසාක් දූෂණ චෝදනා මත වසර 12 ක කාලයකට සිරගත කර ඇති බවයි.

2009 සිට 2018 දක්වා වසර නවයක කාලයක් මැලේසියාව පාලනය කළ රසාක් මේ ආකාරයෙන් සිරගත කෙරුණේ රජයේ අරමුදලකින් විශාල වශයෙන් මුදල් සොරකම් කිරීමේ සිද්ධියක් මතයි. ඔහු විසින් වංචා කරන ලද මුදල මැලේසියානු රිඟිත් මිලියන 42 ක් බවයි පැවසෙන්නේ. මෙය ලංකා මුදලින් රුපියල් බිලියන 3.4 කට ආසන්න යි. 1Malaysia Development Berhad (1MDB) නැමැති සංවර්ධන අරමුදලකට අයත් ආයතනයකින් රසාක්ගේ පෞද්ගලික ගිණුම්වලට මෙම මුදල් බැර වී ඇති බවක් සඳහන් වුණා.

මෙම වංචාව පිළිබඳ චෝදනාව මුලින්ම එල්ල වූයේ මෙයට වසර කිහිපයකට පෙර යි. ඒ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයෙන් පසු 2020 වසරේ රසාක් වැරදිකරු වූ අතර ඔහුට සිර දඬුවම් නියම වුණා. නමුත් රසාක් මෙම තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කිරීමට පියවර ගත්තා. එරට ඉහළම උසාවිය වන ෆෙඩරල් උසාවිය පසුගිය දා ඔහුගේ අවසන් අභියාචනය ද ප්‍රතික්‍ෂේප කළ අතර ඒ අනුව දැන් රසාක්ට වසර 12 ක සිර දඬුවම විඳින්නට සිදුව තිබෙනවා. එපමණක් නොවෙයි, රිඟිත් මිලියන 210 ක (ලංකා රුපියල් බිලියන 17 ක) දඩයකුත් ඔහුට ගෙවීමට සිදුවෙනවා. තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ හිටපු අගමැතිවරයා යම් කම්පනයකට ලක් වූ බවක් පෙනුණේ යයි ද මාධ්‍ය සඳහන් කර තිබුණා.

දූෂණ වංචාවලට එරෙහිව කටයුතු කරන එරට දේශපාලන ක්‍රියාකාරිකයන් සහ දේශපාලන නායකයන් ද, සිවිල් වැසියන් ද මෙම තීන්දුව නිසා අමන්දානන්දයට පත්ව සිටිනු දැකිය හැකියි. ඔවුන් මෙය හඳුන්වා තිබුණේ 2018 වසරේ රසාක් ගේ ආණ්ඩුව ගෙදර යැවීමටත්, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමටත් කටයුතු කළ පාර්ශ්ව ලැබූ විශාල ජයග්‍රහණයක් හැටියට යි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හිටපු අගමැතිවරයා ගෙන යනු ලැබුවේ කජාන් නැමැති බන්ධනාගාරයට යි. එය මැලේසියාවේ අගනුවර වන ක්වාලා ලම්පූර් නගරය ආසන්නයේ පිහිටි බන්ධනාගාරයක්. ඇතැමුන් පවසන්නේ තරු හතේ හෝටල්වල කාලය ගත කළ රසාක්ට බන්ධනාගාර ජීවිතය අතිශයින් දුෂ්කර එකක් වනු ඇති බවයි. මැලේසියාවේ හිටපු අගමැතිවරයකුට මෙවැනි සිර දඬුවමක් ලැබුණු පළමු අවස්ථාව මෙය හැටියටත් සැලකෙනවා. සිර දඬුවම කල් දමා ගැනීමටත් රසාක් උත්සාහයක් දරා තිබුණා. නමුත් අධිකරණය එයත් ප්‍රතික්‍ෂේප කළ බව සඳහන්. රසාක්ට මෙම දඬුවම විඳින්නට සිදුව ඇත්තේ ඔහුගේ පක්ෂය බලයේ සිටිය දී වීමත් විශේෂත්වයක්.

‘මා සිතන්නේ මෙය ඉතා හොඳ ආරම්භයක්. මැලේසියාව ඉතා ශක්තිමත් ආයතනවලින් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට මේ තුළින් පරිවර්තනය වෙනවා. පරිණත වෙනවා’ එරට විපක්‍ෂ නායක අන්වර් ඉබ්‍රහිම් පවසා තිබුණා. ‘…වංචා දූෂණවල නිරත වන දේශපාලන නායකයන්, ප්‍රභූන් සිතන්නේ ඔවුන් නීතියට උඩින් සිටින, පරාජය නොකළ හැකි උදවිය කියලයි. නමුත් දැන් පණිවුඩය ඉතා පැහැදිලියි’ ඔහු තවදුරටත් සඳහන් කර තිබෙනවා. මීළඟ මැතිවරණයේ දී දූෂණයෙන් තොර දේශපාලන නායකයන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මැලේසියාවේ මීළඟ මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ යි.

හිටපු අගමැතිවරයාගේ බිරිඳ වන රොස්මා මැන්සර්ට එරෙහිවත් චෝදනා රැසක් තිබෙනවා. මුදල් විශුද්ධිකරණය, බදු පැහැර හැරීම වැනි චෝදනා ඇයට එරෙහිව එල්ල වී ඇති අතර ඒ පිළිබඳ නඩු විභාග ද මේ වනවිට ඉදිරියට යමිනුයි තිබෙන්නේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර