
පන්සල්වල පෙම් කෙළීම සාමාන්‍යයෙන් අපේ රටවල බෞද්ධයන් අනුමත කරන වැඩක් නොවේ. එය සැලකෙන්නේ ආගමට කරන නිගරුවක් හැටියට යි.
කෙසේ නමුත් තවත් ආසියානු බෞද්ධ රටක් වන දකුණු කොරියාවෙන් මීට වඩා තරමක් වෙනස් කාරණයක් ගැන වාර්තා වෙනවා. ඒ රටේ බෞද්ධ පන්සල් මේ වනවිට තරුණ තරුණියන් ජෝඩු කිරීමේ වැඩපිලිවෙලකට අත ගසා ඇති බවයි පැවසෙන්නේ. තරුණ තරුණියන්ට එකිනෙකා දැන හඳුනා ගන්නටත්, ආදර සබඳතා ඇති කර ගන්නටත් උදව් කරන තැන් බවට දකුණු කොරියාවේ විහාරස්ථාන පත් වෙමින් ඇති බව සඳහන්. එරට බෞද්ධ භික්ෂූන් මේ කටයුත්තෙහි නිරත වන්නේ ජාතික මෙහෙවරක් හැටියට සලකමිනු යි.
දකුණු කොරියාවේ පන්සල් මේ ආකාරයේ වැඩපිලිවෙලක් දියත් කරන්නට පියවර ගෙන ඇත්තේ එරට මේ වනවිට මුහුණ දී සිටින විශාල අර්බුදයක් නිසා යි. එනම් දකුණු කොරියාවේ ජනගහණය වසරින් වසර අඩු වෙමින් තිබීම යි. එරට උපත් අනුපාතය විශාල වශයෙන් පහත වැටී ඇති අතර දකුණු කොරියාව සැලකෙන්නේ ලෝකයේ අඩුම උපත් අනුපාතයක් ඇති රටවලින් එකක් හැටියට යි.

මේ තත්වය නිසා ආර්ථික නිශ්පාදන ක්‍රියාවලියට දායක විය හැකි පිරිස බරපතල ලෙස අඩු වෙමින් තිබෙනවා.
වැඩි කල් නොගොස් දකුණු කොරියානු ජාතිය වඳ වී යාමේ තර්ජනයක් ගැන පවා පසුගිය කාලයේ කතාබහක් තිබුණා.
එරට මහළු ජනගහණය ඉහළ යමින් තිබීමත් ලොකු ප්‍රශ්නයක්. ඔවුන් නඩත්තු කිරීම සඳහා ද රජයට විශාල වියදමක් දැරීමට සිදු වී තිබෙනවා.
දකුණු කොරියාවේ මෙවැනි අර්බුදයක් වර්ධනය වීමට හේතු වී ඇති කාරණා කිහිපයක් ගැන සඳහන් වෙනවා. තරුණ තරුණියන් විවාහ වීමට දක්වන මැලිකම, විවාහ වන අය පවා දරුවන් හැදීමට කැමැත්තක් නොදැක්වීම ආදිය මෙහිදී පෙන්වා දිය හැකියි.

ඔවුන් මේ ආකාරයෙන් කටයුතු කිරීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ආර්ථික ප්‍රශ්න යි. විවාහ ජීවිතයක් ගත කිරීම, දරුවන් ලොකු මහත් කිරීම එරට ආර්ථික වශයෙන් පහළ ස්ථරවල සිටින තරුණ තරුණියන්ට ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති බව සඳහන්.
එමෙන්ම එරට තරුණ තරුණියන් විවාහ ජීවිතයට වඩා වෘත්තීය ජීවිතවලට ප්‍රමුඛත්වයක් දීමටත් පටන් ගෙන තිබෙනවා. කාන්තාවන් අතර මේ තත්වය වර්ධනය වීම දරු උපත් අඩු වීමටත් හේතු වී ඇති කැපී පෙනෙන කාරණයක් ලෙස සැලකෙනවා.

මේ පරපුරේ අය තමුන්ව හඳුන්වා ගන්නේ සම්පෝ පරම්පරාව (Sampo Generation) යනුවෙන්. එහි අදහස ඔවුන් කාරණා තුනක් අත් හැර දමා ඇති බව යි. ඒවා නම් ප්‍රේම සබඳතා ඇති කර ගැනීම, විවාහ වීම සහ දරුවන් හැදීම යි.
කෙසේ හෝ වේවා, ප්‍රේම සබඳතා ඇති කර ගැනීමට කැමති අයට වුවත් ඒ සඳහා ඇති අවස්ථා අඩු වී ඇති බවත් පැවසෙනවා.
දකුණු කොරියාවේ ජනගහණය උපරිමයකට ළඟා වී තිබුණේ 2019 වසරේ බවයි වාර්තා වන්නේ. එයින් පසු දිගින් දිගටම එය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා.
මේ අර්බුදකාරී තත්වය විසඳීම සඳහා රජයත්, ආගමික සහ සිවිල් සංවිධාන ආදියත් දැඩි උත්සාහයක් ගනිමින් සිටින අතර දරුවන් හදන අඹුසැමියන්ට යම් දීමනා ලබා දීම, පහසු මිලට නිවාස ලබා දීම, රැකියාවලින් වැඩිපුර නිවාඩු ලබා දීම වැනි පියවරවලට රජය යොමු වී තිබෙන බව සඳහන්.
ලිපිය මුල දී සඳහන් කළ ආකාරයට දකුණු කොරියාවේ බෞද්ධ පන්සල් තරුණ තරුණියන් “ජෝඩු කිරීමේ” වැඩසටහන් දියත් කිරීමට පටන් ගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් තුළ යි.

මේ වනවිට මෙම වැඩසටහන් පිලිබඳව තරුණ තරුණියන් අතර යම් උනන්දුවක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. එවාට සහභාගි වන පිරිස වැඩි වෙමින් ඇති බවක් සඳහන්.
ආගම පිලිබඳව ඇති ගෞරවය, පන්සල්වල ඇති නිදහස්, නිස්කලංක පරිසරය, භික්ෂූන්ගේ මැදිහත් වීම වැනි කාරණා මීට හේතු වී ඇතැයි සැලකෙනවා.
මීට ටික දිනකට පෙරත් දොංහ්වාසා නැමැති කඳුකර පන්සලක පැවැත්වුණු මෙවැනි වැඩසටහනක් මාධ්‍ය තුළ ලොකු අවධානයක් දිනාගෙන තිබුණා. මෙම විහාරස්ථානය තුරුලතාවෙන් සෙවන වුණු, ඉතාම දැකුම්කළු පරිසරයක පිහිටා තිබෙන්නක් බවයි සඳහන් වන්නේ.
දොංහ්වාසා පන්සලේ පැවති වැඩසටහනට සහභාගි වීම සඳහා ඉඩකඩ තිබී ඇත්තේ 24 දෙනෙකුට (තරුණියන් 12 කට සහ තරුණයන් 12 කට) පමණක් වුවත් ඒ සඳහා 1,600 කට ආසන්න සංඛ්‍යාවක් ඇයැදුම් කර තිබුණා ලු.

මෙම වැඩසටහන නම් කර තිබී ඇත්තේ “මම පන්සල් යනවා” යනුවෙන්. එය දින දෙකක වැඩසටහනක් වූ බවත් සඳහන්.
මේ සඳහා අවස්ථාව ලබා දී තිබුණේ අයදුම්කරුවන් ගැන ඉතා හොඳින් සොයා බැලීමෙන් පසුව යි. සම්බන්ධතාවක් ඇතිකර ගැනීම ගැන අවංකව සහ බැරෑරුම්ව කල්පනා කරන අය මේ සඳහා තෝරාගැනීමට සංවිධායකයන් පරෙස්සම් වී තිබුණා.
විහාරස්ථානය අවට නිස්කලංක පරිසරයේ ගැවසෙමින් එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීමට, තමුන්ගේ කලා කුසලතා ආදිය ප්‍රදර්ශණය කිරීමට, එකට ආහාර ගනිමින් කාලය ගත කිරීමට, මේ ආදී බොහෝ කටයුතුවලට මෙම වැඩසටහනේ දී ඊට සහභාගි වූවන්ට අවස්ථාව ලැබී තිබූ බව සඳහන්. ඇතැමුන් වැඩසටහන අවසන්ව නික්ම ගොස් තිබුණේ අලුත් සබඳතා ඇති කරගෙන යි.
නිහාල් පීරිස්