සිංහල සාහිත්‍ය වංශ වැලිතලාවෙන් යට කළ නොහැකි ගත්කතුවර වැළිහිඳ මුනිරත්න – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

සිංහල සාහිත්‍ය ඉතිහාසය විමසා බැලීමේදී එහි වර්ධනය සම්භාව්‍ය සාහිත්‍යය, නවකතාව, කෙටිකතාව සහ කවිය වැනි ප්‍රධාන ධාරාවන්ගෙන් පමණක් සමන්විත වූවක් නොවේ. නො එසේ නම්, සාහිත්‍යයක් ජීවමාන සංස්කෘතික ක්‍රියාවලියක් බවට පත්කරන්නේ එහි උසස් සාහිත්‍ය කෘති පමණක් නොවේ. සාමාන්‍ය ජනතාවගේ පරිකල්පනයන් අවදි කළ, ඔවුන්ගේ කියවීමේ රුචිය හැඩගැස්වූ සහ පොත් වෙළෙඳපොළ තුළ විශාල සංසරණයක් ඇති කළ ජනප්‍රිය ප්‍රබන්ධ ද සිංහල සාහිත්‍ය ඉතිහාසයට එක්විය යුතුය. ඒ අනුව, රහස් පරීක්ෂක කතා, මාරක කතා, ත්‍රාසජනක කතා, අභිරහස් ප්‍රබන්ධ, අද්භූත කතා මෙන්ම විද්‍යාත්මක හා අනාගතවාදී පරිකල්පනය ඇසුරින් නිර්මාණය වූ කෘති ද සිංහල පාඨක සංස්කෘතියේ නොසලකා හැරිය නොහැකි අංගයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් විසිවන සියවසේ මැද භාගයේදී මෙම ජනප්‍රිය කියවීම් සංස්කෘතිය වඩාත් ප්‍රබල වූ අතර, එහි කැපී පෙනෙන ලේඛකයකු ලෙස අද වන විට බොහෝ දෙනකුට අමතකව ගොස් ඇති වැලිහිඳ මුනිරත්නගේ නම සඳහන් කළ හැකිය. එමෙන්ම ඔහු ජීවිත කාලය පුරාවටම සිය නමේ එන වැලිහිඳ යන්න “වැළිහිඳ” නමින් භාවිත කිරීම ද විශේෂත්වයකි.

වැලිහිඳ මුනිරත්න තරුණ වියේදී

වැලිහිඳ මුනිරත්න 1938 ජූලි 10 වන දා කෑගල්ල දිස්ත්‍රික්කයේ අඹුවන්වෙල කැනවිල්ල වලව්වේ උපත ලබා, කුරුණෑගල ශාන්ත ආනා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, පසුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයෙන් හා පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ලේඛකයෙකි. ඔහු ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වූ බවද සඳහන් වේ. ඔහුගේ ලේඛන ජීවිතයේ ආරම්භක අවධිය සම්බන්ධයෙන් සඳහන් වන ‘අභිරහස් මරුවා’ කෘතිය 1959 වසරේ එළිදකින අතර, එවිට වැලිහිඳ මුනිරත්න විසිඑක් වියැති තරුණයකු වීම ද විශේෂත්වයකි. මේ දක්වාම පුස්තකාල නාමාවලිවල ද මෙම කෘතිය “මුනිරත්න, වැලිහිඳ” යන කර්තෘ නාමය යටතේ ලැයිස්තුගත කර තිබීමෙන් එහි යාවත්කාලීන පැවැත්ම තහවුරු වේ.

වැලිහිඳ මුනිරත්නගේ නිර්මාණ ලෝකය එක් කෘතියකට හෝ එක් සාහිත්‍ය ප්‍රභේදයකට සීමා නොවූ බව ඔහුගේ කෘති නාමාවලියෙන් පෙනී යයි. ‘බහිරව නිධානය’, ‘මනෝහාරි’, ‘ලේ බොන මාරයා’, ‘මතු ආත්මයේදී’, ‘අවාසනාවන්ත පෙම්වතා’, ‘බිසෝ මැණිකේ’ සහ ‘පැතුවා සේ අපි දෙදෙනා’ වැනි විවිධ තේමාවන් යටතේ ලියැවුණු කෘති ඔහුගේ නාමය සමඟ සම්බන්ධ වේ. විශේෂයෙන් ‘බහිරව නිධානය’ සහ ‘අභිරහස් මරුවා’ වැනි කෘති වර්තමාන පුස්තකාල හා පොත් නාමාවලිවල ද දක්නට ලැබීමෙන් වැලිහිඳ මුනිරත්නගේ කෘති සම්පූර්ණයෙන්ම අතීතයට ගිය සාහිත්‍යමය කෞතුක වස්තු නොවන බව පැහැදිලි වේ.

වැලිහිඳ මුනිරත්නගේ සාහිත්‍ය මෙහෙවර තේරුම් ගැනීම සඳහා ඔහු ලියූ කාලයේ ජනප්‍රිය කියවීම් සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍යය. විසිවන සියවසේ මැද භාගයේදී සිංහල පාඨකයා අතර අඩු මුදලකට ගතහැකි, කෙටි හෝ මධ්‍යම ප්‍රමාණයේ, වේගවත් සිදුවීම් සහිත කතා පොත් ජනප්‍රිය විය. ඒවායේ අභිරහස, මරණය, ආදරය, අපරාධය, පළිගැනීම, භීතිය සහ විස්මය වැනි අංග බහුලව පැවතිණි. වර්ණවත් පිටකවර, කුතුහලය දනවන මාතෘකා සහ වේගවත් ආඛ්‍යාන රටාව හේතුවෙන් එවැනි කෘති පාඨකයාට පහසුවෙන් සමීප විය. මෙය වැදගත් සමාජ සංස්කෘතික පරිවර්තනයක් ද විය. එනම්, සාහිත්‍යය පාසල්, විශ්වවිද්‍යාල හෝ උගත් ප්‍රභූ පන්තියේ කියවීමක් පමණක් නොව, සාමාන්‍ය ජනතාවගේ විවේක කාලය හා දෛනික ජීවිතය සමඟ සම්බන්ධ වූ ජනප්‍රිය සංස්කෘතික භාවිතයක් බවට පත්වීමයි. නමුත් වැලිහිඳ මුනිරත්නගේ පොතපත ප්‍රමාණයෙන් හෝ මිලෙන් කුඩා නොවූ මුත් ඔහු ලියූ රහස් පරීක්ෂක, මාරක හා ත්‍රාසජනක ප්‍රබන්ධ පාඨක ලෝකය විශාල වශයෙන් ග්‍රහණය කර ගැනීමට සමත් විය. මුල් කාලීනව ඔහුගේ කෘතීන් බොහොමයක කවරය හැඩගන්වන ලද්දේ ද එවකට මුල් පෙළේ චිත්‍ර ශිල්පියකු සේම ගායකයකු ලෙසින් ද ප්‍රකටව සිටි සුසිල් ප්‍රේමරත්නයන්ගේ සිත්තමකිනි. වැලිහිඳ මුනිරත්නගේ කෘති සාහිත්‍ය විචාරයේ ප්‍රධාන ධාරාව තුළ දිගු කලක් අඩු අවධානයක් ලැබුවද, සාමාන්‍ය පාඨකයා අතර ඒවාට තිබූ බලපෑම නොසලකා හැරිය නොහැකිය. එබැවින්, මෙවැනි ලේඛකයන් අධ්‍යයනය කිරීමේදී “උසස්” සහ “පහත්” සාහිත්‍යය යන සම්ප්‍රදායික බෙදීමෙන් ඔබ්බට ගොස්, ඊට වඩා පුළුල් දෘෂ්ටියක් උපයෝගී කරගත යුතුය.

වැලිහිඳ මුනිරත්නගේ නිර්මාණවල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ අභිරහස, මරණය, භීතිය සහ රහස් පරීක්ෂණය එකිනෙක සම්බන්ධ කරමින් පාඨකයාගේ කුතුහලය කතාවේ අවසානය දක්වා රඳවා ගැනීමට ඔහු දැක්වූ හැකියාවයි. ඔහුගේ කතා ලෝකයේ “ලක්ෂ්මන්” නම් රහස් පරීක්ෂක චරිතය පුනරාවර්තනය වීම ද මෙම ආඛ්‍යාන ක්‍රමයේ වැදගත් ලක්ෂණයකි. එවැනි පුනරාවර්තන චරිතයක් හඳුන්වාදීමෙන් ලේඛකයාට කතා කිහිපයක් එකම රහස් පරීක්ෂක ලෝකයකට සම්බන්ධ කිරීමට හැකි වේ. එය පාඨකයා තුළ චරිතය පිළිබඳ හුරුපුරුදුකමක් ඇති කරන අතර, ඊළඟ කතාව කියවීමටද පෙළඹවීමක් ඇති කරයි.

මෙහිදී ‘මාරක ඇටසැකිල්ල’ කෘතිය විශේෂයෙන් අපගේ අවධානයට ලක්ව තිබේ. එහි මූලික ආකර්ෂණය වන්නේ රාත්‍රී අඳුර තුළ මිනිස් ඇටසැකිල්ලක් මෙන් දිස්වන අද්භූත රූපයක් මගින් මිනිසුන් භීතියට පත්කිරීමයි. එම භීතිය මුදල් මංකොල්ලකෑම් හා පැහැරගැනීම් වැනි අපරාධ සඳහා යොදාගන්නා උපක්‍රමයක් බව කතාවේ අවසානයේ අනාවරණය වේ. මෙහිදී ලක්ෂ්මන් රහස් පරීක්ෂකයා විසින් අභිරහස විමර්ශනය කරමින් “අද්භූත” බව පිටුපස සැඟවී ඇති මිනිස් ක්‍රියාකාරිත්වය හෙළි කිරීම වැදගත් වේ. එනම්, පාඨකයා මුලදී විශ්වාස කරන්නේ අද්භූත බලවේගයක් පිළිබඳව වුවද, අවසානයේදී එය මිනිසා විසින් සැලසුම් කරන ලද වංචාවක් බවට පරිවර්තනය වේ. මෙය මායාවෙන් යථාර්ථයට යන සාධනීයත්වයට හොඳම නිදසුනකි.

මෙම කෘතියේ විශේෂත්වය වන්නේ එහි කතා නායකයා සමාජයේ භීතියක් නිර්මාණය කිරීමට තාක්ෂණික උපක්‍රමයක් භාවිත කිරීමයි. කළු ඇඳුමක් සහ දීප්තිමත් ද්‍රව්‍යයක් භාවිත කරමින් අඳුරේ ඇටසැකිල්ලක් මෙන් පෙනෙන රූපයක් නිර්මාණය කිරීම මගින් ස්වාභාවික හෝ අද්භූත සංසිද්ධියක් සේ පෙනෙන දෙයක් මිනිසා විසින් නිර්මාණය කළ හැකි බව කතාව පෙන්වා දෙයි. මේ අනුව, ‘මාරක ඇටසැකිල්ල’ සරල භූත හෝ අද්භූත කතාවකට වඩා “අද්භූත බවට පෙනෙන දෙය පිටුපස යථාර්ථයක් තිබිය හැකිය” යන අදහස මත ගොඩනැඟුණු රහස් පරීක්ෂක ආඛ්‍යානයක් බව අපගේ වැටහීමයි.

කෙසේ වෙතත්, මෙහි විද්‍යාත්මක නිරවද්‍යතාව පිළිබඳවද සැලකිලිමත් විය යුතුය. රේඩියම් හෝ වෙනත් විකිරණශීලී ද්‍රව්‍යයක් “අඳුරේ බල්බයක් මෙන් ආලෝකය නිකුත් කරයි” යන සරල අදහස විද්‍යාත්මකව නිවැරදි නොවේ. ඉතිහාසයේ භාවිත වූ රේඩියම් අඩංගු දීප්තිමත් තීන්තවල දිස්වන ආලෝකය සඳහා විකිරණ මගින් ෆොස්ෆර් වැනි ද්‍රව්‍ය උත්තේජනය වීම වැදගත් විය. එබැවින්, මෙම කතාව නූතන විද්‍යාත්මක නිර්ණායක අනුව සම්පූර්ණ විද්‍යා ප්‍රබන්ධයක් ලෙස හඳුන්වාදීම සුදුසු නොවේ. එහෙත් විද්‍යාත්මක හෝ තාක්ෂණික උපක්‍රමයක් භාවිත කරමින් අද්භූත බව තාර්කිකව විග්‍රහ කිරීමට වැලිහිඳ මුනිරත්න උත්සාහ කිරීම එහි ඇති විශේෂ ලක්ෂණයකි.

 

මෙය අපව වැලිහිඳ මුනිරත්නගේ සාහිත්‍යය සහ සිංහල විද්‍යා ප්‍රබන්ධයේ ඉතිහාසය අතර ඇති සම්බන්ධතාව වෙත ගෙන යයි. විද්‍යා ප්‍රබන්ධයක් යනු විද්‍යාත්මක වචන කිහිපයක් හෝ තාක්ෂණික උපක්‍රමයක් කතාවකට ඇතුළත් කළ පමණින් සෑදෙන ප්‍රභේදයක් නොවේ. එහිදී විද්‍යාව හෝ තාක්ෂණය කතා වස්තුවේ මූලික පදනමක් බවට පත්විය යුතු අතර, එමගින් මිනිසාගේ ජීවිතය, සමාජය, අනාගතය හෝ මානව පැවැත්ම පිළිබඳ ප්‍රශ්න පරිකල්පනය කළ යුතුය. එබැවින්, වැලිහිඳ මුනිරත්නගේ සමස්ත නිර්මාණ “සිංහල විද්‍යා ප්‍රබන්ධ” ලෙස වර්ග කිරීම ශාස්ත්‍රීය වශයෙන් අතිශයෝක්තියකි. ඔහුගේ නිවැරදි ස්ථානය වන්නේ ජනප්‍රිය මාරක හා අභිරහස් ප්‍රබන්ධය තුළ විද්‍යාත්මක හා තාක්ෂණික පරිකල්පනය භාවිත කළ ලේඛකයකු ලෙසය. මෙයද කෙසේවත් සුළුකොට තැකිය යුතු තත්ත්වයක් නොවේ.

වැලිහිඳ මුනිරත්නගේ ‘ලේ බොන මාරයා’ වැනි කෘති ඔහුගේ නිර්මාණ ලෝකයේ තවත් පැත්තක් පෙන්වා දෙයි. මිනිසුන් ඝාතනය කරන අද්භූත ගෝරිල්ලකු වටා ගොඩනැඟෙන එවැනි කතාවක මරණය, වනය, පැහැරගැනීම, භීතිය සහ රහස් පරීක්ෂණය එකම ආඛ්‍යාන අවකාශයකට එක්වේ. මෙවැනි කෘතිවල අරමුණ විද්‍යාත්මක සිද්ධාන්තයක් විග්‍රහ කිරීමකට වඩා පාඨකයාගේ චිත්තවේගීය ප්‍රතිචාරය, භීතිය, කුතුහලය, විස්මය සහ ඊළඟ පිටුව කියවීමට ඇති නොඉවසිල්ල උත්තේජනය කිරීමය. ඒ අර්ථයෙන්, ඔහු ජනප්‍රිය ප්‍රබන්ධයේ මූලික න්‍යායයක් වූ “කියවීමට පෙළඹවීම” ඉතා සාර්ථකව භාවිත කළ ලේඛකයකු ලෙස හඳුනාගත හැකිය.

ඔහුගේ සාහිත්‍ය ජීවිතය නවකතා ලිවීමට පමණක් සීමා නොවූ බවටද මතක සටහන් පවතී. වැලිහිඳ මුනිරත්න 2013 වසරේ ලියා එළිදැක්වූ “හැට වසරක චිත්‍රපට ගීත නාමාවලිය (1947-1997)” කෘතිය ඔහුගේ සිනමා ලැදියාව සහ සිනමාව වෙනුවෙන් කළ කැපවීම මනා ලෙස පෙන්නුම් කරන්නකි. එමෙන්ම, ඔහු තරුණ වියේදී සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වී කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේදී දකුණු ඉන්දීය නළු නිළියන් සහ ශ්‍රී ලාංකික නළු නිළියන් අතර කථන පරිවර්තක ලෙස කටයුතු කළ බවත්, ‘නළඟන’ චිත්‍රපටය සමඟ සහාය අධ්‍යක්ෂණ කටයුතුවලට සම්බන්ධ වූ බවත්, ඉන්දියාවේදී ‘දේව සුන්දරී’ චිත්‍රපට නිෂ්පාදන කටයුතු සමඟ සම්බන්ධ වූ බවත් සඳහන් වේ. ඔහු තුළ වූ මෙම සිනමා ඇල්ම නිසාම ඔහු කොළඹ මට්ටක්කුලියේ සම්භාණ්ඩ සංයුක්ත මණ්ඩලයේ කළමනාකරුවකු ලෙස සේවයේ යෙදෙන අතරේ තම සොයුරු සොයුරියන් හා එක්ව කලක් ප්‍රදේශවාසීන් අතරේ අතිශය ජනප්‍රියව පැවැති ගල්ගමුවේ ‘ෂර්දා’ සිනමා ශාලාව පවත්වාගෙන ගිය බව ද කියැවේ. නමුත්, ඔහු තම ලේඛන දිවිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළ කිහිප අවස්ථාවකම ප්‍රකාශ කොට ඇත්තේ තම සෑම නවකතාවකම ඇත්තේ සිය පරිකල්පනය මිස බටහිර සිනමා කෘති ආභාෂය නොවන බවකි. ඔහු එසේ පවසන්නට ඇත්තේ ඒ වන විට අතිශය ජනප්‍රියත්වයට පත් රහස් පරීක්ෂක කතා, මාරක කතා, ත්‍රාසජනක කතා, අභිරහස් ප්‍රබන්ධ, අද්භූත කතා බොහොමයක් බටහිර සිනමා සෙවනැලි බවට එල්ල වූ චෝදනා හමුවේ විය යුතුය.

වැලිහිඳ මුනිරත්නගේ සාහිත්‍යය පිළිබඳ සාකච්ඡාවේදී තවත් වැදගත් කරුණක් වන්නේ ජනප්‍රිය සාහිත්‍යයට ලැබුණු විචාරාත්මක ඇගැයීම්වලදී ඔහු නොසලකා හැරීමයි. දිගු කලක් විශ්වවිද්‍යාලීය සාහිත්‍ය අධ්‍යයනයේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ සම්භාව්‍ය කෘති, නවකතා, කාව්‍ය සහ සමාජ-දේශපාලන අර්ථකථනයන් සහිත නිර්මාණ වෙතය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් ගණනක් පාඨකයන් කියවූ මාරක කතා, රහස් පරීක්ෂක කතා සහ ත්‍රාසජනක ප්‍රබන්ධ බොහෝවිට සාහිත්‍ය ඉතිහාසයේ නොවැදගත් සාධකයක් බවට පත්විය. නමුත්, නූතන සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයනයේදී “මිනිසුන් කියවූයේ කුමක්ද?” යන ප්‍රශ්නය “විචාරකයන් අගය කළේ කුමක්ද?” යන ප්‍රශ්නය තරමටම වැදගත්ය.

එම දෘෂ්ටිකෝණයෙන් බලන විට වැලිහිඳ මුනිරත්න යනු කෘති කිහිපයක් ලියූ ජනප්‍රිය ලේඛකයකු පමණක් නොවේ. ඔහු එක්තරා යුගයක ශ්‍රී ලාංකික පාඨකයාගේ පරිකල්පනය කෙසේ ක්‍රියා කළේද යන්න හඳුනාගැනීමට උපකාර වන සාහිත්‍යමය සාක්ෂියකි. මරණය, භීතිය, අපරාධය, අද්භූතභාවය, ආදරය, අභිරහස සහ තාක්ෂණික උපක්‍රම වැනි විවිධ අංග ඔහුගේ කෘතිවල එකිනෙක හමුවෙයි. ඒවා තුළින් එවක පාඨකයා තුළ තිබූ විස්මයට ඇති ආශාව, නොදන්නා දේ පිළිබඳ කුතුහලය සහ දෛනික යථාර්ථයෙන් පරිකල්පනීය ලෝකයකට ගමන් කිරීමට ඇති අවශ්‍යතාව ද හඳුනාගත හැකිය. ඒ කෙසේ හෝ ඔහුගේ ලේඛක ප්‍රවර්ගය නියෝජනය කළ ලේඛකයන් හට හිමි නොවූ කලා භූෂණ රාජ්‍ය සම්මානය ද වැලිහිඳ මුනිරත්න වෙත හිමි වීම ද විශේෂයෙන් සැලකිය යුත්තකි.

එබැවින් වැලිහිඳ මුනිරත්නගේ සාහිත්‍ය උරුමය පිළිබඳ අවසාන තක්සේරුවේදී ඔහුගේ සැබෑ වැදගත්කම පවතින්නේ සිංහල නවකතාව තුළ විවිධ විෂයන් සම්බන්ධ නව පරිකල්පන පුබුදුවා ප්‍රබන්ධ සම්ප්‍රදාය ශක්තිමත් කළ ලේඛකයකු ලෙසිනි. ඒ සමඟම, ‘මාරක ඇටසැකිල්ල’ වැනි කෘති මඟින් අද්භූත බවට පෙනෙන සිදුවීමක් පිටුපස මිනිසා විසින් නිර්මාණය කළ තාක්ෂණික හෝ භෞතික හේතුවක් සෙවීමේ පරිකල්පනයක් ඔහු ඉදිරිපත් කරයි. එම නිසා ඔහුගේ නිර්මාණ ජනප්‍රිය ත්‍රාසජනක ප්‍රබන්ධය සහ විද්‍යාත්මක පරිකල්පනය අතර ඇති සීමා ප්‍රදේශය අධ්‍යයනය කිරීමට වැදගත් සාහිත්‍යමය අවස්ථාවක් සපයයි.

අවසාන වශයෙන් කිව හැක්කේ වැලිහිඳ මුනිරත්නගේ වැදගත්කම තිහක් පමණ වන ඔහු ලියූ කතා සංඛ්‍යාවෙන් හෝ ඒවාට ලැබුණු විචාරක පිළිගැනීමෙන් පමණක් මැනිය නොහැකි බවයි. ඔහුගේ වැදගත්කම පවතින්නේ සිංහල පාඨකයාට අභිරහස, භීතිය, මරණය, විස්මය සහ තාක්ෂණික පරිකල්පනය එකට මුසු වූ කියවීම් ලෝකයක් නිර්මාණය කිරීම තුළය. ඔහුගේ කතා පාඨකයා මායාවෙන් යථාර්ථය වෙතත්, භීතියෙන් තර්කය වෙතත්, නොදන්නා දේ පිළිබඳ විස්මයෙන් එය විමසීමට ඇති කුතුහලය වෙතත් ගෙන යයි. එබැවින්, සිංහල ජනප්‍රිය ප්‍රබන්ධය, මාරක කතා සම්ප්‍රදාය සහ විද්‍යාත්මක පරිකල්පනය අතර ඇති සංකීර්ණ සම්බන්ධතාව අධ්‍යයනය කිරීමේදී වැලිහිඳ මුනිරත්නගේ නම කෙසේවත් නොසලකා හැරිය නොහැකිය.

එම අර්ථයෙන් වැලිහිඳ මුනිරත්න යනු සිංහල සාහිත්‍යයේ ප්‍රධාන ධාරා මගින් පමණක් විස්තර කළ නොහැකි, ජනප්‍රිය කියවීම් සංස්කෘතියේ ගැඹුරු පැවැත්ම නියෝජනය කරන ලේඛකයෙකි. ඔහුගේ කෘති නැවත සොයාගෙන, ඒවායේ මුද්‍රණ ඉතිහාසය, පාඨක සංසරණය, ආඛ්‍යාන තාක්ෂණය සහ විද්‍යාත්මක පරිකල්පනය විධිමත් ලෙස අධ්‍යයනය කිරීමෙන් සිංහල සාහිත්‍ය ඉතිහාසයේ මෙතෙක් අවධානය අඩුවෙන් ලැබුණු වැදගත් පරිච්ඡේදයක් තවදුරටත් අනාවරණය කරගත හැකිය. එබැවින්, වැලිහිඳ මුනිරත්නගේ නාමය සිංහල ජනප්‍රිය ප්‍රබන්ධ ඉතිහාසයේ නොමැකෙන සලකුණක් ලෙස පමණක් නොව, සිංහල පාඨක පරිකල්පනයේ විකාශනය අධ්‍යයනය කිරීමට උපකාර වන වැදගත් සාහිත්‍යමය සලකුණක් ලෙසද අගය කළ යුතුය. ඒ අතරේ සිය අසූවන වියෙහිදී 2018 වසරේ ඔක්තෝබර් 18 වන දා සදහටම දැයෙන් සමුගත් වැලිහිඳ මුනිරත්නගේ දෙටු දියණිය කුමාරි වැළිහිඳ අගනා විදෙස් සාහිත්‍ය කෘතීන් කිහිපයක් සිංහල පාඨක ලොවට හඳුන්වා දෙමින් සිය පියාගේ සාහිත්‍ය මෙහෙවර නූතන සමාජය වෙත ද ගෙන එමින් හිඳින්නීය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර – හිටපු මානව විද්‍යා මහාචාර්ය

රසගඟුල