වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ සිරගත කර සිටින පාකිස්තානයේ භිටපු ක්‍රිකට් නායක සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මේ දිනවලත් ලොකු අවධානයක් දිනා ගනිමින් සිටියි. ඒ ඔහුගේ සෞඛ්‍යයට අදාල කාරණයක් නිසා ය.73 වැනි වියෙහි පසුවන ඔහුගේ දකුණු ඇස අන්ධභාවයට පත් වෙමින් ඇති අතර මානසික වශයෙන් ද ගැටලු මතු වී ඇති බව වාර්තා වේ.
බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින්නේ වෙනම සිරකුටියක් තුළ හුදෙකලාව බව සඳහන් ය. ඔහුගේ පවුලේ සමීපතමයන් හමු වීමට ඇති අවස්ථා ද බෙහෙවින් සීමා කර ඇති බව පැවසේ.
ඉම්රාන් රඳවා සිටින්නේ රාවල්පිණ්ඩි නුවර අදියාලා බන්ධනාගාරයේ යි.

ඉහත කී තත්වය තුළ ඉම්රාන් දැඩි මානසික පීඩනයකින්, කාංසා තත්වයකින් (Anxiety ) පසුවන බවක් වාර්තා වේ. ඊට අමතරව රුධිර පීඩනයේ සහ හෘද ස්පන්දනයේ අක්‍රමිකතාවලින් ද පෙළෙන බවක් පසුගිය දිනවල වෛද්‍යවරුන් ද වාර්තා කර තිබිණි.
ඉම්රාන් දේශපාලනයට පිවිසීමෙන් පසු බොහෝ ගැටලුවලට මුහුණ දෙන්නට සිදු විය. 2018 වසරේ පාකිස්තානයේ අගමැති ධුරයට පත් වූ ඔහු 2022 වසරේ විරුද්ධ පක්ෂ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවක් හරහා එම ධුරයෙන් ඉවත් කෙරිණි. මෙය විවිධ පාර්ශ්ව එක්ව කළ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවට අදහස් පළ විය.
එයින් පසු ඉම්රාන්ට එරෙහිව විවිධ චෝදනා එල්ල කෙරුණු අතර වංචා දූෂණ පිලිබඳ චෝදනා ද ඒ අතර විය. ඔහු සිරගත කෙරුණේ ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගවලින් පසුව යි. ඉම්රාන් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඒවා හුදෙක් තමාගෙන් දේශපාලන වශයෙන් පලිගැනීම සඳහා එල්ල කළ ඒවා බව ප්‍රකාශ කළේය.

කෙසේ හෝ වේවා, සිරගෙදර සිටින ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහීමත් සමග ඉම්රාන් ගේ පවුලේ අය ද, ඔහුගේ දේශපාලන පක්ෂය වන තෙහ්රීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ නායකයෝ ද මේ ගැන අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළෝය. ඒ ඉම්රාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා බන්ධනාගාරයට නියෝග නිකුත් කරන මෙන් ඉල්ලමිනි.
නමුත් ඉස්ලමාබාද් හි මහාධිකරණය මෙම ඇතැම් ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව වාර්තා විය. එම තත්වය තුළ ඉම්රාන් ගේ ඥාතීන් ඇතුළු පාර්ශ්වය ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස අගෝස්තු 18 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නියෝගයක් ලබා දුන්නේය.
එම නියෝගයෙන් පැවසුණේ පැය 48 ක් ඇතුළත ඉම්රාන් ෂිෆා ජාත්‍යන්තර රෝහල නැමැති පෞද්ගලික රෝහල වෙත මාරු කරන ලෙසයි. එමෙන්ම ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුතු වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙස ද නියෝග කළ අතර ඉම්රාන් ගේ සොහොයුරියක වන උස්මා ඛාන් සහ පෞද්ගලික වෛද්‍යවරයා වන ෆයිසාල් සුල්තාන් යන දෙදෙනා ද ප්‍රතිකාර කටයුතු සඳහා සම්බන්ධ කරගන්නා ලෙස නියෝග කර තිබිණි.
සතියකට වරක් පවුලේ අය හමුවීමට ඉම්රාන්ට අවසර ලබා දීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. ඉම්රාන් ගේ පුතුන් දෙදෙනෙකු මේ වනවිට එංගලන්තයේ ලන්ඩන් නුවර සිටින අතර ඔවුන් සමග සතියකට දෙවරක් කතා කිරීමට ද ඉඩ සලසා දී තිබිණි.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ඉම්රාන් ගේ පවුලේ අය ඇතුළු පාර්ශ්වය ලැබූ විශාල ජයග්‍රහණයක් විය.
කෙසේ නමුත් අදියාලා බන්ධනාගාරය මෙම නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළේ නැත. ඔවුන් කළේ ඉම්රාන් ෂීෆා පෞද්ගලික රෝහල වෙත ගෙන යනු වෙනුවට පැය කිහිපයකට රජයේ රෝහලක් වෙත ගෙන යාම යි. එසේ කළේ ඉම්රාන් ගේ ආරක්ෂාව පිලිබඳව සලකා බවක් ද බලධාරීන් ප්‍රකාශ කර තිබෙනු දැකගත හැකි විය. ඔවුන් ඉම්රාන් ගෙනගොස් තිබුණේ පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතන රෝහලට යි.

මෙම රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබුණේ ඉම්රාන් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව යි. පැය හතරක පහක කෙටි පරීක්ෂාවකින් පසු ඔහු ආපසු අදියාලා බන්ධනාගාරය වෙත ගෙන ගොස් තිබිණි.
මෙම තත්වය තුළ මහත් කණස්සල්ලට පත් ඉම්රාන් පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවතත් පෙත්සමක් ගොනු කිරීමට පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණය කලින් දුන් නියෝගය නොසලකා හැරීමෙන් බලධාරීන් අධිකරණයට අපහාස කර ඇති බවට මෙම පෙත්සමෙන් චෝදනා කෙරිණි. මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරිෆ්, අධිකරණ ඇමැති අසාම් නසීර් තරාර්, තොරතුරු පිලිබඳ අමාත්‍ය අතාවුල්ලා තරාර් සහ ඉස්ලමාබාද් හි කොමසාරිස් සොහේල් අෂ්රෆ් ඇතුළු කිහිප දෙනෙකි. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ඉම්රාන් ගේ සොහොයුරිය උස්මා ඛාන් ය. ඇය ද වෛද්‍යවරියකි.
කෙසේ හෝ වේවා, අමාත්‍ය අතාවුල්ලා තරාර් ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ෂිෆා පෞද්ගලික රෝහල වෙත ගෙන යන්නට සූදානම් වුවත් ඉම්රාන් ගේ දේශපාලන පක්ෂය වන තෙහ්රීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ආධාරකරුවන් රෝහල අසලට රැස් වීම නිසා ආරක්ෂාව පිලිබඳ ගැටලුවක් මතු වූ බව ඔහු ප්‍රකාශ කළේය. ඉම්රාන් රජයේ රෝහල වෙත ගෙන ගියේ ඒ නිසා බව ඔහු පවසා තිබිණි. නමුත් ඉම්රාන් පරීක්ෂා කිරීම සඳහා ෂිෆා රෝහලේ වෛද්‍යවරුන් කැඳවන ලද බවක් ද, මේ නිසා අධිකරණ නියෝගයේ අරමුණ ඉටු වී ඇති බවක් ද ඇමතිවරයා සඳහන් කර තිබේ.
උස්මා ඛාන් ගොනු කළ අධිකරණයට අපහාස කිරීම පිලිබඳ පෙත්සම සැප්තැම්බර් 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වීමට නියමිත ය.

ඉම්රාන් ගේ සෞඛ්‍ය තත්වයට අදාලව ලෝකයේ සුප්‍රකට ක්‍රිකට් නායකයන් 21 දෙනෙකු පාකිස්තාන අගමැතිවරයා වෙත යොමු කර තිබූ ලිපියක් ගැනත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කළේය. ඉම්රාන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඔවුන් ද මෙම ලිපියෙන් ඉල්ලා තිබිණි. එයට අත්සන් කළ සුප්‍රකට ක්‍රිකට් නායකයන් අතර සුනිල් ගවස්කාර්, කපිල් දේව්, ක්ලයිව් ලොයිඩ්, අර්ජුන රණතුංග, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ග්‍රෙග් චැපල්, ඉයන් චැපල්, ඇලන් බෝඩර්, ස්ටීව් වෝ, ඩේව්ඩ් ගවර්, ඇලස්ටෙයාර් කුක් වැනි අය දැකගන්නට ලැබිණි.
ඉම්රාන් පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගොස් ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නිසි ආකාරයෙන් ඉටු නොකිරීම පිලිබඳව මෙම ක්‍රීඩකයන් කණගාටුව ප්‍රකාශ කර තිබිණි.
කෙසේ හෝ වේවා දැන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ සැප් 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය කවර පියවරක් ගනු ඇත් ද යන්න පිලිබඳව ය.
නිහාල් පීරිස්