
අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක සැබෑ ශක්තිය මැනිය යුත්තේ අපරාධකරුවන්ට දඬුවම් කිරීමේ හැකියාවෙන් පමණක් නොවේ. චෝදනාවකට ලක් වූ පුද්ගලයකුට නීතියෙන් හිමි ආරක්ෂාව, මානව ගෞරවය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ආරක්ෂා කිරීමට එම පද්ධතිය දක්වන කැපවීමෙන්ද එහි සැබෑ ස්වභාවය හෙළි වේ. නීතියේ එක් අරමුණක් වරදකරුවන්ට දඬුවම් කිරීම නම්, එහි අනෙක් වැදගත් අරමුණ වන්නේ නිර්දෝෂී පුද්ගලයන් අසාධාරණයට ලක්වීම වැළැක්වීමයි.
මෙම මූලධර්මයේ කේන්ද්රය වන්නේ නිර්දෝෂීභාවයේ පූර්වනිගමනයයි. එනම්, නීතියට අනුකූලව වරදකරු බව ඔප්පු කරන තුරු චෝදනාවකට ලක් වූ පුද්ගලයකු වරදකරු ලෙස නොසැලකිය යුතු බවයි.
මෙම මූලධර්මය නඩු විභාගයකදී අනුගමනය කළ යුතු සාක්ෂිමය නීතියක් පමණක් නොවේ. එය අධිකරණය, පොලිසිය, බන්ධනාගාරය සහ අපරාධ යුක්ති විනිශ්චය ක්රියාවලියට සම්බන්ධ අනෙකුත් ආයතන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මූලික නෛතික ප්රමිතියකි.
එබැවින් විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් කරන විට ඔහු අඳින ඇඳුම, ඔහුට යොදන මාංචු හෝ විලංගු සහ මහජනයා ඉදිරියේ ඔහු ඉදිරිපත් කරන ආකාරය හුදෙක් බන්ධනාගාර පරිපාලනයට අදාළ සුළු කරුණු ලෙස බැහැර කළ නොහැකිය. ඒවා විත්තිකරු පිළිබඳ පූර්වග්රහයක් ඇති කිරීමටත්, සාධාරණ නඩු විභාගයකට අවශ්ය මධ්යස්ථ පසුබිමට බලපෑම් කිරීමටත් ඉඩ ඇති කරුණුය.

ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් හිමි ආරක්ෂාව
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ මූලික අයිතිවාසිකම් 13(5) ව්යවස්ථාව නිර්දෝෂීභාවයේ පූර්වනිගමනය පැහැදිලිව පිළિගනී. එම ව්යවස්ථාව අනුව, නීතියෙන් නියම කර ඇති සීමාවන්ට යටත්ව, සෑම පුද්ගලයකුම වරදකරු බව ඔප්පු කරන තුරු නිර්දෝෂී යැයි පූර්වනිගමනය කරනු ලැබේ.
එසේම 13(3) ව්යවස්ථාව අනුව, අපරාධ චෝදනාවකට ලක් වූ පුද්ගලයකුට නිසි බලය ඇති අධිකරණයක් ඉදිරියේ, නීතිඥයකු මඟින් හෝ පෞද්ගලිකව, සාධාරණ නඩු විභාගයකදී කරුණු ඉදිරිපත් කිරීමේ අයිතිය හිමි වේ. 12(1) ව්යවස්ථාව නීතිය ඉදිරියේ සමානත්වය හා නීතියේ සමාන ආරක්ෂාව තහවුරු කරන අතර, 11 ව්යවස්ථාව වධහිංසාවෙන් සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලෙන් ආරක්ෂාව සපයයි.
මෙම ව්යවස්ථා එකට සලකා බැලීමේදී වැදගත් නීතිමය පණිවුඩයක් මතු වේ. එනම්, පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබීම, රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම හෝ වෙනත් නඩුවක වරදකරු වී සිටීම යන කරුණු මත පමණක් ඔහුට එරෙහි නව චෝදනාවක වරද තීරණය කළ නොහැකි බවයි.
එහෙත් මෙහිදී එක් වෙනසක් පැහැදිලිව තේරුම්ගත යුතුය. වෙනත් වරදකට වරදකරු වී සිරදඬුවමක් විඳින පුද්ගලයකු එම වරද සම්බන්ධයෙන් වරදකරු බවට පත් වී සිටිය හැකිය. එහෙත් ඔහුට එරෙහිව වෙනම නඩුවක චෝදනාවක් විභාග වන විට, එම නව චෝදනාව සම්බන්ධයෙන් ඔහුගේ වරද ස්වාධීනව ඔප්පු කළ යුතුය. පළමු වරදට අදාළ වරදකරුභාවය දෙවන නඩුවේ වරද ඔප්පු කිරීමේ ආදේශකයක් නොවේ.

තෙ ඛින්ග් ව්. ස්ටෙඵෙන්: සිර ඇඳුමක් නිසා නඩු විභාගයක් කල් දැමූ අවස්ථාව
ශ්රී ලංකාවේ මෙම විෂයයට සෘජුවම අදාළ ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ තෙ ඛින්ග් ව්. ස්ටෙඵෙන් (1947) 48 න්.ළ්.ර්. 383 නඩුවයි.
එම නඩුවේදී ස්ටෙඵෙන් නමැති විත්තිකරු වෙනත් වරදකට සිරදඬුවමක් විඳිමින් සිටි අයකු විය. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී බන්ධනාගාර සිරකරුවකු බව හඳුනාගත හැකි පළල් ඊතලයක ලකුණ සහිත සිර ඇඳුමකින් සැරසී සිටියේය.
අධිකරණය එවකට පැවති බන්ධනාගාර ආඥා පනත යටතේ පනවා තිබූ රීති අංක 223 සලකා බැලීය. එහි අදාළ කොටස අනුව, අධිකරණයකට ඉදිරිපත් කරන වරදකරුවන්ට ඔවුන් බන්ධනාගාරය තුළ වර්ගීකරණය කර ඇති ඇඳුම් පරිමාණයට ගැළපෙන සිවිල් ඇඳුම් ලබාදිය යුතු විය.
අදාළ රීතිය උල්ලංඝනය වී තිබූ බවත්, පළල් ඊතලය ලකුණ සහිත ඇඳුමෙන් විත්තිකරු පෙනී සිටීම නිසා ඔහුට අගතියක් සිදුවිය හැකි බවත් අධිකරණය පිළිගත්තේය.
මෙම තීන්දුවේ වැදගත්කම වන්නේ විත්තිකරුගේ ඇඳුම පිළිබඳ ගැටලුව අධිකරණය නොසලකා හැර නොතිබීමයි. අදාළ රීතිය උල්ලංඝනය වීම සහ එමඟින් විත්තිකරුට අගතියක් සිදුවිය හැකි වීම නඩු විභාගයේ සාධාරණත්වයට සම්බන්ධ කරුණක් ලෙස සලකා ඇත.
එසේ වුවද, මෙම තීන්දුවෙන් අදටත් උකහාගත හැකි මූලික පාඩම පැහැදිලිය. අධිකරණය හමුවේ විත්තිකරුවකු පෙනී සිටින ආකාරය, නීතියෙන් නියම කර ඇති ක්රියාපටිපාටිය සහ නඩු විභාගයේ සාධාරණත්වය සමඟ සම්බන්ධ විය හැකිය.
එස්ටෙල්ලෙ ව්. විල්ලිඅම්ස්: විත්තිකරුගේ ඇඳුම සහ ජූරියේ පූර්වග්රහය
එක්සත් ජනපද ශ්රේෂ්ඨාධිකරණය එස්ටෙල්ලෙ ව්. විල්ලිඅම්ස්, 425 U.S. 501 (1976) නඩුවේදී විත්තිකරුවකුට හඳුනාගත හැකි බන්ධනාගාර ඇඳුමින් ජූරියක් ඉදිරියේ නඩු විභාගයට පෙනී සිටීමට බල කිරීමේ ව්යවස්ථාමය ගැටලුව සලකා බැලීය.
එම අධිකරණය පෙන්වා දුන්නේ, විත්තිකරුවකු රාජ්යයේ බලය යටතේ හඳුනාගත හැකි සිර ඇඳුමින් ජූරිය ඉදිරියේ තැබීමෙන් ඔහු පිළිබඳ අගතිගාමී හැඟීමක් ඇතිවිය හැකි බවයි. ජූරි සාමාජිකයකු සාක්ෂි මත පමණක් නොව, විත්තිකරුගේ පෙනුම මතද නොදැනුවත්වම බලපෑමට ලක්විය හැකිය.
එබැවින් මෙම නඩුවෙන් ලබාගත යුතු මූලික නෛතික අදහස වන්නේ, විත්තිකරුවකුගේ පෙනුම ඔහුගේ වරද පිළිබඳ සාක්ෂියක් ලෙස ක්රියා කිරීමට ඉඩ නොදිය යුතු බවයි. එය ශ්රී ලංකාවේ නඩු විභාගවලදීද සාධාරණත්වය පිළිබඳ පුළුල් සංසන්දනාත්මක මඟපෙන්වීමක් සපයයි.
බන්ධනාගාර නිත්ය නියෝග 550
බන්ධනාගාරගත කර ඇති පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇඳිය යුතු ඇඳුම් සම්බන්ධව දක්වා ඇත්තේ බන්ධනාගාර නිත්ය නියෝග 550 වගන්තියේය. ඒ වගන්තිය ආඥා පනතේ දැක්වෙන්නේ මේ ආකාරයටය:
“550. උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට, වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. අවුරුදු 3 ක හෝ අඩු හෝ සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන් කළ යුන්නේ ඔවුන්ගේ පෞද්ගලික ඇඳුම් ගබඩාවෙන් ගෙන ඇඳීමට දීමටය. ඔහුගේ පෞද්ගලික ඇඳුම්වලින් සිරකරුට ශිෂ්ඨ සම්පන්න පෙනුමක් නොලැබේ නම්, මුදාහරින විට සිරකරුවන්ට ආණ්ඩුවේ වියදමින් දෙනු ලබන රෙදිපිළිවලින් එම අඩුපාඩුව පිරවිය යුතුය. අවුරුදු 3කට වැඩි සිරදඬුවම් ලද සිරකරුවන් සම්බන්ධයෙන්, මුදාහරින සිරකරුවන්ට දීමට නියම කොට ඇත්තා වූද බන්ධනාගාරයේදී අයත් වන වස්ත්ර චක්රයට ගැළපෙන්නා වූද ඇඳුම් ඇඳීමට සැලැස්විය යුතුය. මේ සඳහා අවශ්ය වන රෙදිපිළි ‘ඒ’ චක්රය හෝ ‘බී’ චක්රය හෝ යටතේ වර්ග කර තිබෙන සිරකරුවන්ට දීම සඳහා, සිරකරුවන් මුදාහරින විට දෙනු ලබන සම්පූර්ණ ඇඳුම් කට්ටල සෑහෙන ප්රමාණයක් සෑම බන්ධනාගාරයකම උපකරණ ගබඩාවේ සූදානමින් තැබිය යුතුය. එසේ නිකුත් කරනු ලබන රෙදිපිළිවල බන්ධනාගාර රෙදිපිළි වශයෙන් හඳුනා ගැනීමට කිසිදු සලකුණක් නොතිබිය යුතුය.”
මේ අනුව පැහැදිලි වන්නේ:
- උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය.
- ඒ වෙනුවට, වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය.

ඉන් අනතුරුව දැක්වෙන්නේ එම ඇඳුම ලබා ගත යුතු ආකාරයයි. ඒ අනුව වසර තුනකට අඩු සිරදඬුවමක් නම් ඔහුගේ පෞද්ගලික ඇඳුම් ගබඩාවෙන් එය ලබාගත යුතු බව දක්වා ඇත. වසර තුනට වඩා වැඩි දඬුවමක් විඳින්නේ නම් බන්ධනාගාරයෙන් මුදාහරින විට ලබා දෙන ආකාරයේ ඇඳුමක් ලබාදිය යුතු බව දක්වා ඇත.
එහිදී ඇඳුම තීරණය කොට ඇත්තේ දඬුවම් කාලය අනුව මිස දඬුවම සුළු දඬුවමක්ද බරපතළ දඬුවමක්ද යන්න අනුව නොවන බව පැහැදිලිය. ඇත්තෙන්ම මෙහි අදහස වන්නේ වසර තුනකට වඩා පැරණි දිරාපත් වූ ඇඳුම් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමේදී ඇන්දවීම සුදුසු නොවීම නිසා බව පැහැදිලිය. මක්නිසාද යත් අධිකරණයේ පවතින වෙනත් නඩුවකදී වක්රාකාරයෙන් හෝ එම චූදිතයා වසර තුනකට වඩා වැඩි සිරදඬුවමක් ලැබූ අයෙකු බව විනිසුරුට හෝ ජූරි සභාවට ඇඟවෙන ආකාරයේ ඇඳුමක් ඔහුට ලබා දීම මෙම වගන්තියේම මුල් කොටසට පටහැනි වීමයි.
මෙහිදී නීතිමය වශයෙන් වැදගත් වන්නේ බන්ධනාගාර නිලධාරියකු විසින් කරන ලද ප්රකාශයක් නොව, අදාළ ලිඛිත නීතිමය ප්රතිපාදනයයි.
මාංචු: සිරකරුවකු අධිකරණයට ගෙන යන සෑම අවස්ථාවකම මාංචු දැමිය යුතුද?
ආරක්ෂාව සහ මානව ගෞරවය අතර නීතිමය සීමාව
මාංචු යෙදීමේ ගැටලුව සම්බන්ධයෙන්ද නීතියේ මූලික ප්රශ්නය වන්නේ ආරක්ෂක පියවරක් අවශ්යද යන්න පමණක් නොව, එය යෙදීමට නීත්යනුකූල බලයක් හා ප්රමාණවත් හේතුවක් තිබේද යන්නයි.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ 28 වැනි වගන්තිය මඟින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පලායාම වැළැක්වීමට අවශ්ය ප්රමාණයට වඩා වැඩි සීමා කිරීම්වලට යටත් නොකළ යුතු බවට අදාළ මූලධර්මය තහවුරු කරයි. එම මූලධර්මයේ වැදගත්කම වන්නේ අත්අඩංගුවට ගැනීමේ බලය අසීමිත බලයක් නොවන බවයි.
එහෙත් මාංචු සම්බන්ධයෙන් අදාළ නීතිමය ප්රතිපාදනය නිවැරදිව හඳුනාගැනීම අවශ්යය. අත්අඩංගුවට ගත් සැකකරුවකු, රක්ෂිත බන්ධනාගාරගත විත්තිකරුවකු සහ දැනටමත් සිරදඬුවමක් විඳින වරදකරුවකු යන පුද්ගල කාණ්ඩ සඳහා අදාළ වන නීතිමය බලතල සෑම අවස්ථාවකම එක සමාන නොවේ.
බන්ධනාගාර ආඥා පනතේ 88 සහ 89 වගන්ති යාන්ත්රික බන්ධන භාවිතය සම්බන්ධයෙන් වැදගත් වේ. ඒවායේ නිශ්චිත පාඨය අනුව, මාංචු දඬුවමක් ලෙස භාවිත කිරීම සහ ආරක්ෂක අවශ්යතාවක් සඳහා භාවිත කිරීම අතර වෙනස හඳුනාගත යුතුය. එසේම, මාංචු භාවිතයට අදාළ බලය, එය භාවිත කළ හැකි අවස්ථා සහ එහි සීමා අදාළ නීතිමය ප්රතිපාදන මත තීරණය කළ යුතුය.
- 88 වගන්තිය: “කිසිදු සිරකරුවෙකුට දඬුවමක් වශයෙන් යාන්ත්රික බන්ධන යෙදිය යුතු නොවේ.”
- 89(1) වගන්තිය: “අනාරක්ෂිත ස්ථානයක රඳවා සිටින විට හෝ බන්ධනාගාරයේ බිත්තිවලින් පිටත සිටින ඕනෑම අවස්ථාවක, ප්රචණ්ඩත්වය, කලබලකාරී හැසිරීම, කැරලිකාරී හැසිරීම, පලායාම හෝ සිරකරුවෙකු මුදාගැනීම වැළැක්වීමේ පූර්වාරක්ෂක පියවරක් ලෙස පමණක් සිරකරුවෙකුට මාංචු දැමිය හැකිය. එවැනි පිරිමි සිරකරුවන් සංඛ්යාව දෙදෙනෙකුට වඩා වැඩි නම්, එම හේතු මතම ඔවුන්ට කණ්ඩායම් දම්වැල් සහ මැණික්කටු බන්ධන යෙදිය හැකිය.”
- 89(2) වගන්තිය: “පිරිමි සිරකරුවෙකු අනාරක්ෂිත ස්ථානයක රඳවා සිටින විට හෝ බන්ධනාගාරයෙන් පිටත සිටින විට, ප්රචණ්ඩත්වය, කලබලකාරී හැසිරීම, කැරලිකාරී හැසිරීම, පලායාම හෝ මුදාගැනීම වැළැක්වීම සඳහා ශරීර පටියක් සහ දෙපස අත්බන්ධන යෙදිය හැකිය. එසේ කළ හැක්කේ වෛද්ය නිලධාරියෙකුගේ අනුමැතිය ඇතිව සහ ජේලර් තනතුරට නොඅඩු තනතුරක් දරන බන්ධනාගාර නිලධාරියෙකුගේ නියෝගය මත පමණි.”
බන්ධනාගාර ආඥා පනතේ ඉහත සඳහන් වගන්ති අනුව මාංචු යනු දඬුවම් දීමේ ක්රමයක් නොව, පැනයාමේ දැඩි අවදානමක් හෝ ප්රචණ්ඩකාරී හැසිරීමක් පාලනය කිරීමට පමණක් භාවිත කළ හැකි සුවිශේෂී පියවරකි.
එබැවින් සෑම සැකකරුවකුටම මාංචු දැමිය හැකි යැයි හෝ කිසිදු සැකකරුවකුට මාංචු දැමිය නොහැකි යැයි හෝ සරල නියමයක් පැනවීම නිවැරදි නොවේ. අදාළ අවස්ථාවේ නීතියෙන් බලය ලබා දී තිබේද, සැබෑ ආරක්ෂක අවශ්යතාවක් තිබේද, භාවිත කරන සීමාව අවශ්ය ප්රමාණයට ගැළපේද යන කරුණු සලකා බැලිය යුතුය. මේ අනුව පසුගිය කාලයේ කතාබහට ලක් වූ “සෙව්වන්දී” නැමැති සිරකාරියට මාංචු නොදා අධිකරණයට ගෙන යාම උක්ත ප්රතිපාදන මත තීරණය කොට ඇති බව පැහැදිලි වේ.
ප්රේම් ෂන්කර් ෂුක්ල ව්. ඩෙල්හි ඇඩ්මිනිස්ට්රේෂන්: මාංචු සාමාන්ය ක්රියාපටිපාටියක් නොවේ
ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණයේ ප්රේම් ෂන්කර් ෂුක්ල ව්. ඩෙල්හි ඇඩ්මිනිස්ට්රේෂන්, (1980) 3 SCC 526 නඩුව මාංචු භාවිතය සම්බන්ධයෙන් ඉතා වැදගත් සංසන්දනාත්මක නඩු තීන්දුවකි.
එහිදී අධිකරණය පෙන්වා දුන්නේ, රැඳවුම් භාරයේ සිටින පුද්ගලයකුට මාංචු යෙදීම සාමාන්ය ක්රියාපටිපාටියක් ලෙස භාවිත නොකළ යුතු බවයි. පුද්ගලයාගේ පලායාමේ හෝ ප්රචණ්ඩ හැසිරීමේ අවදානම පිළිබඳ නිශ්චිත කරුණු තිබිය යුතු අතර, මාංචු යෙදීම අවශ්ය නම් එයට හේතු වාර්තාගත කිරීම සහ අධිකරණ අධීක්ෂණය යටතේ පවත්වා ගැනීම පිළිබඳවද තීන්දුවෙන් අවධාරණය කරන ලදී.
එම නඩුවේදී ඉන්දියානු ශ්රේෂ්ඨාධිකරණය, පුද්ගලයකුගේ මානව ගෞරවය සහ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම ඉන්දියානු ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 14, 19 සහ 21 ව්යවස්ථාවලින් තහවුරු වන බව පෙන්වා දුන්නේය. මාංචු යෙදීම ආරක්ෂක අවශ්යතාවකින් තොරව, සාමාන්ය පුරුද්දක් හෝ නිලධාරියාගේ පහසුව සඳහා භාවිත කිරීම නීතියේ සාධාරණත්වයට පටහැනි විය හැකිය.
එම නඩු තීන්දුව ශ්රී ලංකාවේ සෘජුවම බලාත්මක වන නීතියක් නොවන, ඉන්දියානු ආණ්ඩුක්රම ව්යවස්ථාව හා එරට නීතිමය පසුබිම යටතේ ලබා දුන් තීන්දුවක් වුවද, මාංචු භාවිතය සම්බන්ධයෙන් අවශ්යතාව, සමානුපාතිකභාවය සහ මානව ගෞරවය සැලකිල්ලට ගැනීමේ වැදගත්කම එයින් පැහැදිලි වේ.
ඩෙක් ව්. මිසූරි: අධිකරණය තුළ දෘශ්යමාන බන්ධන
එක්සත් ජනපද ශ්රේෂ්ඨාධිකරණයේ ඩෙක් ව්. මිසූරි, 544 U.S. 622 (2005) නඩුවද මෙහිදී සලකා බැලීම වැදගත් වේ. එහිදී විත්තිකරු නඩු විභාගයේදී දෘශ්යමාන මාංචු සහ වෙනත් බන්ධන සහිතව සිටියේය.
එහිදී අධිකරණය තීරණය කළේ, විත්තිකරුවකුට දෘශ්යමාන බන්ධන යෙදීම අත්යවශ්ය රාජ්ය ආරක්ෂක අවශ්යතාවක් මඟින් සාධාරණීකරණය නොකළහොත්, එය නඩු විභාගයේ සාධාරණත්වයට බලපෑ හැකි බවයි. එවැනි බන්ධන මඟින් විත්තිකරු අනතුරුදායක පුද්ගලයකු බවට හැඟීමක් ඇති කර, සාක්ෂි මත පමණක් තීරණයක් ගැනීමේ ක්රියාවලියට අහිතකර බලපෑමක් ඇති කළ හැකිය.
මෙම නඩුවෙන්ද තහවුරු වන්නේ අධිකරණ ආරක්ෂාව සහ විත්තිකරුගේ ගෞරවය අතර සමබරතාවක් පවත්වාගත යුතු බවයි. කෙසේ වෙතත්, මෙම තීන්දුවේ සෘජු ව්යවස්ථාමය බලපෑම එක්සත් ජනපද නීතියට අදාළ වන අතර, ශ්රී ලංකාවේ එය සංසන්දනාත්මක නීතිමය මඟපෙන්වීමක් ලෙස භාවිත කළ හැකි වේ.
ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන්
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්යන්තර සම්මුතියේ (International Covenant on Civil and Political Rights — ICCPR) 14(1) සහ 14(2) වගන්ති සාධාරණ නඩු විභාගය සහ නිර්දෝෂීභාවයේ පූර්වනිගමනය සම්බන්ධයෙන් නීති පනවා ඇත. ශ්රී ලංකාව මෙම සම්මුතියට බැඳී සිටින රාජ්යයකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව සිය ජෙනරල් කොමෙන්ට් නො. 32 මඟින් පැහැදිලි කර ඇත්තේ නිර්දෝෂීභාවයේ පූර්වනිගමනය නඩු විභාගයේ අවසන් තීන්දුවට පමණක් සීමා නොවන බවයි. චෝදනාවකට ලක් වූ පුද්ගලයකුගේ වරද තීරණය කිරීමට පෙර රාජ්ය බලධාරීන් ඔහු වරදකරු ලෙස ප්රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය. විත්තිකරුවන් අනවශ්ය ලෙස මාංචු දමා හෝ ඔවුන් අනතුරුදායක අපරාධකරුවන් බවට හැඟීමක් ඇති කරන ආකාරයෙන් ඉදිරිපත් කිරීමද සාධාරණ නඩු විභාගයේ මූලධර්ම සමඟ ගැටලු ඇති කළ හැකිය.
එසේම එක්සත් ජාතීන්ගේ සිරකරුවන්ට සැලකීම පිළිබඳ සම්මත අවම නීති (නෙල්සන් මණ්ඩේලා රූල්ස්) හි 47 සහ 48 වැනි රීති යාන්ත්රික බන්ධන භාවිතය සීමා කිරීම හා ඒවා අවශ්ය අවම කාලය සඳහා පමණක් භාවිත කිරීම පිළිබඳ ප්රමිතීන් සපයයි.
19 වැනි රීතිය බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන සිරකරුවන්ගේ ඇඳුම් සම්බන්ධයෙනුද අදාළ මඟපෙන්වීමක් සපයයි.
- 19 (1) ඇඳුම්වල ගෞරවාන්විත බව:
“තමන්ගේම ඇඳීමට අවසර නොලැබෙන සෑම සිරකරුවෙකුටම දේශගුණයට සුදුසු සහ යහපත් සෞඛ්යය පවත්වා ගැනීමට ප්රමාණවත් ඇඳුම් කට්ටලයක් ලබා දිය යුතුය. එම ඇඳුම් කිසිදු ආකාරයකින් පුද්ගලයාගේ ගෞරවය හෑල්ලු කරන හෝ ඔහුට අවමානයක් ඇති කරන ඒවා නොවිය යුතුය.”
- 19(3) බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාමේදී ඇඳගෙන යන ඇඳුම්:
“සුවිශේෂී අවස්ථාවකදී, බලයලත් කාර්යයක් සඳහා සිරකරුවෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන විට, ඔහුට හෝ ඇයට තමන්ගේම ඇඳුම් හෝ අන්යයන්ගේ විශේෂ අවධානයට ලක් නොවන වෙනත් ඇඳුම් ඇඳීමට අවසර දිය යුතුය.”
මෙම ජාත්යන්තර ප්රමිතීන් දේශීය නීතියට අදාළ වන්නේ කෙසේද යන්න විමසා බැලීමේදී, ඒවායේ නීතිමය ස්වභාවය නිවැරදිව හඳුනාගත යුතුය. ජාත්යන්තර සම්මුතියකින් ශ්රී ලංකාවට ඇති බැඳීම් සහ එක්සත් ජාතීන්ගේ සම්මත රීතිවල මඟපෙන්වීම යන දෙක එකම නීතිමය කාණ්ඩයක් නොවේ. එහෙත් පුද්ගල ගෞරවය, අහේතුක සීමා කිරීම් වැළැක්වීම සහ සාධාරණ නඩු විභාගය යන පොදු මූලධර්ම දෙකම ශක්තිමත් කරයි.
නීතියේ බලය සහ මානව ගෞරවය
සිර ඇඳුමක් හෝ මාංචුවක් පිළිබඳ ගැටලුවකදී ප්රධාන ප්රශ්නය වන්නේ පුද්ගලයා සිරකරුවකුද, සැකකරුවකුද හෝ විත්තිකරුවකුද යන්න පමණක් නොවේ. අදාළ නීතියෙන් කුමක් නියම කර තිබේද, එම නියමය ක්රියාත්මක කරන ආකාරය නීත්යනුකූලද, එය සාධාරණ නඩු විභාගයකට අහිතකර බලපෑමක් ඇති කරන්නේද යන්නද සලකා බැලිය යුතුය.
බන්ධනාගාර හා අධිකරණ ආරක්ෂාව පවත්වා ගැනීම රාජ්යයේ නීත්යනුකූල වගකීමකි. එහෙත් ආරක්ෂාව යන පොදු හේතුව පමණක් පෙන්වා ඕනෑම සීමා කිරීමක් සාධාරණීකරණය කළ නොහැකිය.
නිවැරදි නෛතික ප්රවේශය වන්නේ ලිඛිත නීතිය, අදාළ නඩු තීන්දු සහ ජාත්යන්තර මානව හිමිකම් ප්රමිතීන් මත පදනම්ව, එක් එක් අවස්ථාවේ නීත්යනුකූල බලය, ආරක්ෂක අවශ්යතාව සහ සමානුපාතිකභාවය පරීක්ෂා කිරීමයි. පරිපාලන ප්රකාශයක් නීතියට ආදේශකයක් නොවන අතර, පරිපාලන පහසුවක් පමණක් මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ ප්රමාණවත් හේතුවක්ද නොවේ.
නීතියේ උදාරත්වය ප්රකාශ වන්නේ බලය භාවිත කිරීමෙන් පමණක් නොව, එම බලය නීතියෙන් නියම කර ඇති සීමාවන් තුළ භාවිත කිරීමෙනි. විත්තිකරුවකුගේ වරද තීරණය කළ යුත්තේ ඔහුගේ ඇඳුමෙන් හෝ ඔහුගේ දෑත්වල ඇති මාංචුවලින් නොව, නීත්යනුකූල සාක්ෂි සහ සාධාරණ නඩු විභාගයකින් පසුව ලබා දෙන අධිකරණ තීන්දුවෙනි.
නිර්දෝෂීභාවයේ පූර්වකල්පනය යනු අපරාධ නීතියේ වචන කිහිපයක් පමණක් නොවේ. එය රාජ්ය බලය ඉදිරියේ පුද්ගලයාගේ ගෞරවය ආරක්ෂා කරන නීතියේ මූලික ප්රතිඥාවයි.
වෛද්ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ