කාවන්තිස්ස ඇතුගේ මරණය ගැන වනජීවී දෙපාර්තමේන්තුවට සමාජ මාධ්‍ය චෝදනා

කාවන්තිස්ස ඇතුගේ අකල් මරණය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබඳව සත්ව ලෝලීන්, පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න මතු කරමින් සිටිති. ඇතාට ප්‍රතිකාර කිරීමේදී අනුගමනය කළ ක්‍රියාපටිපාටිය, ලබා දුන් ඖෂධ සහ ප්‍රතිකාර සඳහා මැදිහත් වූ නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබඳව ද විවිධ අදහස් පළ වෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අදහස් අතර, වනජීවී පශු වෛද්‍ය සේවාවේ වෘත්තීය ක්‍රියාපටිපාටි, ප්‍රතිකාර ලබා දීමේදී ගත් තීරණ සහ අදාළ නිලධාරීන්ගේ වගකීම් පිළිබඳව දැඩි විවේචන එල්ල වෙමින් පවතී.සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඇතැම් ප්‍රකාශවලට අනුව, කාවන්තිස්ස ඇතාගේ පාදයේ තුවාලයක් පිළිබඳව සැප්තැම්බර් 22 වැනිදා වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබේ. මුල් අවස්ථාවේදී තුවාලයට හේතුව පිළිබඳව විවිධ අදහස් පළ වූ බවත්, පසුව එම තුවාලය වෙඩි වැදීමකින් සිදු වූවක් බවට පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පීන් අදහස් පළ කළ අතර, ඒවා ප්‍රතික්ෂේප කළ වනජීවී කණ්ඩායම එම වනජීවී ඡායාරූප ශිල්පීන්ට ඇතා වැටී සිටින පරිශ්‍රයට පිවිසීම පවා තහනම් කළ බවත් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් වේ. එමෙන්ම, ඇතාට ප්‍රතිකාර ආරම්භ කිරීමේදී සිදු කළ නිර්වින්දනය, රුධිර සාම්පල ලබා ගැනීම, ප්‍රතිජීවක ඖෂධ ලබා දීම සහ ප්‍රතිකාර අතරතුර සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න මතු කර තිබේ.අලි ඇතුන් වැනි විශාල සතුන්ට ප්‍රතිකාර කිරීමේදී ඖෂධ වර්ගය, මාත්‍රාව සහ ප්‍රතිකාර කාලසීමාව නිසි ලෙස තීරණය කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම, ඇතැම් ප්‍රතිජීවක ඖෂධ අධික මාත්‍රාවලින් හෝ දිගු කාලයක් ලබා දීමෙන් වකුගඩු ඇතුළු අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි සිදුවීමේ අවදානමක් පවතී.එසේම, අලින්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය සඳහා බඩවැල් තුළ ජීවත් වන ක්ෂුද්‍රජීවීන් වැදගත් දායකත්වයක් ලබා දෙන බැවින්, ඇතැම් ඖෂධ මඟින් එම සමතුලිතතාවට බලපෑම් ඇති විය හැකිය. එවැනි සංකූලතා හේතුවෙන් ආහාර ගැනීම අඩු වීම, පාචනය සහ විජලනය වැනි තත්ත්වයන් ඇති විය හැකිය. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඇතැම් චෝදනාවලින් කියැවෙන්නේ ඉහත සඳහන් කරුණු මත කාවන්තිස්ස ඇතා ප්‍රතිකාර ලබන කාලසීමාව තුළ නිසි ලෙස ආහාර නොගත් බවත්, එමඟින් සත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහුණු බවත්ය.එමෙන්ම, දළදා මාළිගාවේ පශුවෛද්‍යවරයා පැමිණ ඇතා මිය ගොස් ඇති බව පවසන තෙක්ම ඒ බව නොදත් වනජීවී පශු වෛද්‍ය කණ්ඩායම කාවන්තිස්ස ඇතුගේ මළ සිරුරට සේලයින් එන්නත් කිරීම ද එම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ. ඒ අනුව, ඉහත සඳහන් සියලු චෝදනා සම්බන්ධයෙන් ඉතා නිවැරදි හා අපක්ෂපාතී තොරතුරු දැන ගැනීමේ පූර්ණ අයිතිය මෙරට ජනතාව සතුව පවතී.

කාලීන පුවත්