මරණයට පෙර දැනෙන අරුම පුදුම සතුට කුමක්ද? 

මේ වන විට බොහෝ දෙනකු දන්නා හඳුනන ඩිමෙන්ෂියා (Dementia) රෝගයෙන් පෙළුණු සිය මවට ලබා දුන් බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලින් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබුණු අවස්ථාවක, යාඥාවෙන් රෝග සුව කරන බවට ප්‍රකට පාස්ටර්වරයකු සහ ඔහුගේ යාඥා කණ්ඩායම සිය නිවසට ගෙන්වා මව වෙනුවෙන් යාඥා කළ බව එක් කාන්තාවක් මා හා පැවසුවා ය. ඇගේ විස්තරයට අනුව, එම යාඥාවෙන් පසු සිය මවගේ තත්ත්වය කැපී පෙනෙන ලෙස යහපත් වූ අතර, කලක් තිස්සේ අහිමිව තිබූ සිහිය හා සන්නිවේදන හැකියාවන් යළි පැමිණි ආකාරයක් ද පෙනී ගොස් තිබේ. එහෙත් ඇය පැවසූ වඩාත් සංවේදී කරුණ වූයේ මවගේ එම වෙනස දිගුකාලීන සුවවීමක් නොවීමයි. යාඥාවෙන් පසු දින දෙක තුනක් පමණ මනා සිහියෙන් සිටි ඇගේ මව ඉන් අනතුරුව මිය ගොස් තිබිණි. “මොනවා වුණත් අම්මා අන්තිම දවස් දෙක තුනේ පුදුම සතුටකින් හිටියේ; එයාලා කිව්වා දෙවියන් වහන්සේ අම්මව කැඳවා ගත්තා කියලා. දැන් මටත් හිතෙනවා ඒ කතාවේ මොකක් හරි ඇත්තක් ඇති කියලා” යනුවෙන් ඇය පවසා සිටියේ මහත් සතුටකිනි.

මරණයට පත් වූ පුද්ගලයකු පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ ඥාතීන්ගෙන් මෙවැනි කතා අපට නිතර අසන්නට ලැබේ. දිගු කාලයක් රෝගාතුරව, අන්‍යයන්ගේ උපකාරය මත ජීවත් වූ, ඇතැම් විට තම සමීපතමයන් පවා හඳුනාගත නොහැකි තත්ත්වයක සිටි පුද්ගලයකු මරණයට දින කිහිපයකට පෙර හදිසියේම ප්‍රබෝධමත් වී, පැහැදිලිව කතා කර, ඥාතීන් හඳුනාගෙන, පැරණි මතකයන් සිහිපත් කරමින් හෝ සතුටින් සිටින අවස්ථා එබඳු අත්දැකීම් අතරට අයත් වේ. එවැනි අවස්ථාවක පවුලේ සාමාජිකයන් එය “අම්මා සනීප වුණා”, “තාත්තාට ආයෙත් සිහිය ආවා” හෝ “මරණයට පෙර එයාට දෙවියන්ගේ පිහිට ලැබුණා” යනුවෙන් අර්ථකථනය කිරීම ස්වභාවික ය. එහෙත් නූතන වෛද්‍ය විද්‍යාව තුළ මෙවැනි සංසිද්ධි සඳහා වැදගත් මෙන්ම විධිමත් පැහැදිලි කිරීමක් තිබේ.

මෙම සංසිද්ධියට සම්බන්ධ ප්‍රධාන සංකල්පයක් වන්නේ පර්යන්ත පැහැදිලිතාව (Terminal Lucidity) යන්නයි. එය දරුණු ඩිමෙන්ෂියා, ඇල්සයිමර් රෝගය හෝ වෙනත් දරුණු ස්නායු හා මානසික ආබාධවලින් පෙළෙන පුද්ගලයකු තුළ මරණයට ආසන්න කාලයේදී කලක් අහිමිව තිබූ මතකය, අවබෝධය, සන්නිවේදනය හෝ සමාජීය ප්‍රතිචාර අනපේක්ෂිත ලෙස තාවකාලිකව යළි මතුවීම ලෙස විස්තර කර ඇත. මෙම සංසිද්ධිය වෛද්‍ය සාහිත්‍යයේ දීර්ඝ කාලයක සිට වාර්තා වී තිබුණද, එහි ස්නායුජීව විද්‍යාත්මක හේතුව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැත.

මෙහිදී තවත් වැදගත් වන්නේ පරස්පර පැහැදිලිතාව (Paradoxical Lucidity) යන පුළුල් සංකල්පයයි. දරුණු ඩිමෙන්ෂියා තත්ත්වයකදී මතකය, කථනය, හඳුනාගැනීම සහ අර්ථවත් සන්නිවේදනය වැනි හැකියාවන් බරපතළ ලෙස පහත වැටී තිබුණද, සමහර පුද්ගලයන් තුළ ඒවා හදිසියේ සහ කෙටි කාලයකට යළි මතුවන බව පර්යේෂණවලින් වාර්තා වී ඇත. එය සෑමවිටම මරණයට ආසන්නව සිදු නොවන අතර, මරණයට ආසන්නව සිදුවන එවැනි පැහැදිලි වීමක් අත්‍යන්ත පැහැදිලිතාව ලෙස වෙන්කර හඳුනාගත හැකිය.

එබැවින් ඉහත කාන්තාවගේ මවට සිදු වූ සිද්ධිය ද මෙම සංසිද්ධිය පිළිබඳ සාකච්ඡාවකට උදාහරණයක් විය හැකිය. එහෙත් යාඥාවෙන් පසුව ඇගේ තත්ත්වය යහපත් වූ බැවින් යාඥාව විසින් ඩිමෙන්ෂියා රෝගය සුව කළ බව වෛද්‍යමය වශයෙන් තීරණය කළ නොහැකිය. ඩිමෙන්ෂියා යනු එක් රෝගයක් පමණක් නොව, මතකය, සිතීම, හැසිරීම සහ දෛනික ක්‍රියාකාරකම්වලට බලපාන විවිධ රෝග හා තත්ත්ව සමූහයකි. එබැවින් රෝගියකුගේ අවසාන දිනවල හදිසියේ සිහිය පැහැදිලි වීමක් පෙනී යාම, මූලික ඩිමෙන්ෂියා රෝගය ස්ථිරව සුව වූ බවට සාක්ෂියක් නොවේ. විද්‍යාත්මක සාහිත්‍යය දැනට පෙන්වා දෙන්නේ මෙවැනි පැහැදිලිවීම් සැබෑවක් ලෙස වාර්තා වී ඇති නමුත් ඒවා සිදුවන නිශ්චිත මොළයේ යාන්ත්‍රණය තවමත් විසඳා නොමැති බවය.

මෙවැනි අවස්ථාවලදී ඇතැම් පවුල්වලට “අන්තිම දවස් දෙක තුනේ පුදුම සතුටකින් හිටියා” යන අත්දැකීම ද ලැබේ. එය සෑමවිටම අත්‍යන්ත පැහැදිලිතාව සමඟ සමාන කළ නොහැකි වුවත්, පැහැදිලිවීමත් සමඟ ප්‍රබෝධය, අවධානය වැඩිවීම සහ සන්නිවේදනයේ හැකියාව වැඩිවීම වැනි වෙනස්කම් ඇතැම් මරණාසන්න රෝගීන් තුළ නිරීක්ෂණය කර තිබේ. මරණයට ආසන්න අවස්ථාවක ඇතිවන මෙම “ප්‍රබෝධමත් වීම” සමහර විට ඥාතීන්ට රෝගියාගේ අසාමාන්‍ය සතුටක් ලෙස පෙනෙන්නට පුළුවන. එහෙත් එයට එකම ජීව විද්‍යාත්මක හේතුවක් හඳුනාගෙන නැත. මරණයට පෙර මොළය එන්ඩෝර්ෆින් (Endorphins), ඩොපමීන් (Dopamine) හෝ සෙරටොනින් (Serotonin) විශාල වශයෙන් නිකුත් කිරීම නිසා මෙය සිදුවන බවට ප්‍රමාණවත් සායනික සාක්ෂි දැනට නොමැත. එබැවින් එය නිශ්චිත විද්‍යාත්මක කරුණක් ලෙස තහවුරු කිරීම ද නිවැරදි නොවේ.දැඩි වේදනාව හා ශාරීරික ආතතිය පාලනය කිරීමට ශරීරය ස්වාභාවිකව නිපදවන එන්ඩොර්ෆින් ඇතුළු endogenous opioid peptides, වේදනාව පිළිබඳ සංවේදනය අඩු කිරීමට සහ යම් ආකාරයක සැනසිල්ලක් හෝ සැහැල්ලුවක් ඇති කිරීමට දායක විය හැකිය. මරණාසන්න අවස්ථාවලදීද මෙවැනි ස්වාභාවික වේදනා-පාලන පද්ධති ක්‍රියාත්මක විය හැකි බවට විද්‍යාත්මක අදහස් තිබුණද, මිනිසුන් තුළ මරණයට ආසන්න මොහොතේ එන්ඩොර්ෆින් විශාල වශයෙන් වැඩි වන බව හෝ එය මරණාසන්න සතුටට සෘජු හේතුව බව තවමත් නිශ්චිතව තහවුරු වී නැත. එමෙන්ම ලිංගික සුරතාන්තයේදීද endogenous opioid පද්ධතිය සම්බන්ධ වන අතර, එය dopamine සහ oxytocin වැනි වෙනත් ස්නායු-රසායනික පද්ධති සමඟ එක්ව ක්‍රියා කරයි.

මරණය ළං වන විට පුද්ගලයාගේ මානසික අත්දැකීම පිළිබඳව ද වෙනත් මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ හැකිය. දිගුකාලීන වේදනාව, බිය, අසරණභාවය සහ රෝගී තත්ත්වය සමඟ ජීවත් වූ පුද්ගලයකුට අවසාන අවස්ථාවේදී ඇතිවන මානසික සන්සුන්භාවය, සමීපතමයන් සමඟ සම්බන්ධ වීම, තමන්ට වැදගත් පුද්ගලයන් හඳුනාගැනීම හෝ ආදරය හා කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට හැකිවීම ඔහුගේ හෝ ඇයගේ හැසිරීමෙහි සතුටක් ලෙස පෙනී යා හැකිය. එවැනි අත්දැකීම් මරණයට සූදානම් වීමේ මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය සමඟ ද සම්බන්ධ විය හැකිය. එහෙත් මෙය ද අහඹු සිදුවීමක් මිස සෑම රෝගියකුටම අදාළ වන පොදු නීතියක් නොවේ.

මෙම සංසිද්ධිය පිළිබඳ පර්යේෂණ තවමත් මුල් අවධියේ පවතින බව අවධාරණය කිරීම වැදගත් ය. නමුත් ආගමික හා සංස්කෘතික විශ්වාසයන්ට විශාල වැදගත්කමක් හිමි සමාජයක මෙවැනි අත්දැකීමකට ආගමික අර්ථයක් ලබා දීම ද පුදුමයට කරුණක් නොවේ. බොහෝ දෙනා මරණයට පෙර ඇතිවන අසාමාන්‍ය සන්සුන්භාවය හෝ සතුට “සුගතියේ පෙරනිමිත්තක්” ලෙස දකින අතර, තවත් පිරිසක් එය දිගුකාලීන දුකින් මිදීමේ සහනයක් ලෙස දකිති. බෞද්ධ සංස්කෘතික පසුබිමක මරණාසන්න සිත, කර්මය, පින්කම් හා ඊළඟ භවය සම්බන්ධ විශ්වාසයන් ඔස්සේ ද මෙවැනි අත්දැකීම් අර්ථකථනය කෙරේ. එහෙත් එවැනි ආගමික අර්ථකථන විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමත්, විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මඟින් පුද්ගලයාගේ ආගමික අත්දැකීම අවලංගු කිරීමත් දෙකම අවශ්‍ය නොවේ.

ඇත්ත වශයෙන්ම, මෙහි වඩාත් සංවේදී තත්ත්වය නම් රෝගියාට වඩා ඥාතීන්ගේ අත්දැකීම විය හැකිය. මාස ගණනක් හෝ වසර ගණනක් තම මව තමන්ව හඳුනා නොගත් ආකාරය දැක සිටි දියණියකට, අවසාන දිනක මව හදිසියේ තම නම කියා ඇමතීම, පැරණි සිදුවීමක් සිහිපත් කිරීම හෝ ආදරයෙන් සිනාසීම කිසිදා අමතක නොවන අත්දැකීමකි. ඒ මොහොත රෝගය සුව වූ බවට සාක්ෂියක් නොවිය හැකි නමුත්, මව සහ දියණිය අතර අවසන් මානව සම්බන්ධතාවයක් ලෙස එයට අතිවිශාල වටිනාකමක් තිබිය හැකිය.

ඒ අනුව මරණයට පෙර ඇතැම් පුද්ගලයන් තුළ දක්නට ලැබෙන අසාමාන්‍ය සතුට, සිහිය පැහැදිලි වීම හෝ පැරණි මතකයන් යළි මතුවීම එකම හේතුවකින් පැහැදිලි කළ හැකි සංසිද්ධියක් නොවේ. එය අත්‍යන්ත පැහැදිලිතාව වැනි දුර්ලභ මරණාසන්න පැහැදිලිවීමක් විය හැකිය; වෙනත් අවස්ථාවක එය පරස්පර පැහැදිලිතාවයේ එක් ආකාරයක් විය හැකිය; තවත් අවස්ථාවක රෝගියාගේ මානසික හා ශාරීරික තත්ත්වයේ තාවකාලික වෙනසක් විය හැකිය. තවද එයට පවුලේ ආගමික හා සංස්කෘතික විශ්වාසයන් විසින් විශේෂ අර්ථයක් ලබා දිය හැකිය. නූතන විද්‍යාව මේ දක්වා නිශ්චිතව පවසන්නේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති බවත්, ඒවායේ මූලික ස්නායුජීව විද්‍යාත්මක යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැති බවත් පමණි.

නමුත් මරණයට පෙර රෝගියකු හදිසියේ සතුටින්, පැහැදිලි සිහියකින් සහ ඥාතීන් සමඟ සම්බන්ධ වෙමින් සිටිනු දක්නට ලැබුණහොත් එය “අනිවාර්යයෙන්ම මරණය ළඟ බවට ලකුණක්” හෝ “රෝගය සම්පූර්ණයෙන් සුව වූ බවට සාක්ෂියක්” ලෙස නිගමනය කිරීම ද සුදුසු නොවේ. එහෙත් එවැනි අවස්ථාවක් ඇති වූ විට එය නොසලකා නොහැර, රෝගියා සමඟ කතා කිරීමට, ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා අසන්නට, ආදරය ප්‍රකාශ කිරීමට සහ හැකි තරම් සන්සුන් පරිසරයක් ලබා දීමට එය අවස්ථාවක් කර ගැනීම වැදගත් ය. අවසානයේදී අපට තවමත් සම්පූර්ණයෙන් පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නය වන්නේ “මරණය ළං වන විට මිනිස් මනස තුළ මෙවැනි අරුම පුදුම පැහැදිලිවීමක් ඇති වන්නේ ඇයි?” යන්නයි. එහෙත් ඒ මොහොතේ ලැබෙන පැහැදිලි සිනහවක්, හඳුනාගැනීමක් හෝ ආදරණීය වචනයක් ඥාතීන්ගේ මතකයේ ජීවිත කාලය පුරා රැඳී සිටිය හැකි අවසාන තෑග්ගක් බව නම් ප්‍රතික්ෂේප කළ නොහැකි ය.

එහෙත් මෙහිදී තවත් වැදගත් ප්‍රශ්නයක් මතුවේ. විද්‍යාත්මක වශයෙන් පූර්ණ නිගමනයකට එළැඹිය නොහැකි වුව ද මෙවැනි මරණාසන්න පැහැදිලිවීම් හෝ ප්‍රබෝධමත් අවස්ථා කිසියම් ගුප්ත ආගමික මැදිහත්වීමක ප්‍රතිඵලයක් ලෙස අර්ථකථනය කළ හැකිද? යන්න ය. කිසියම් පුද්ගලයකුගේ ආගමික විශ්වාසය අනුව එවැනි අත්දැකීමකට දේවමය අර්ථයක් ලබා දීම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික විශ්වාස පද්ධතිය තුළ සාධාරණ විය හැකිය. එහෙත් එම අර්ථකථනය විද්‍යාත්මක නිගමනයක් බවට පත් කිරීමට නම්, එය වෙනත් ස්වාභාවික පැහැදිලි කිරීම්වලින් වෙන්කර හඳුනාගත හැකි සාක්ෂි අවශ්‍ය වේ. දැනට පවතින පර්යේෂණ අනුව එවැනි පැහැදිලි ආඛ්‍යාන සැබවින්ම වාර්තා වී ඇති නමුත් ඒවායේ නිශ්චිත ස්නායුජීව විද්‍යාත්මක යාන්ත්‍රණය පවා තවමත් සම්පූර්ණයෙන් හඳුනාගෙන නොමැත.එබැවින් ඒවා විවිධ ආගම් වලින් ඉගැන්වෙන පරමාදර්ශී බලවේග වල මැදිහත්වීමක් ලෙස හෝ ඊට ප්‍රතිවිරුද්ධව එම ආගමික විශ්වාසයනට එරෙහි සාක්ෂියක් ලෙස හෝ තීරණාත්මකව ප්‍රකාශ කිරීම දෙකම විද්‍යාත්මක සාක්ෂි ඉක්මවා යන අර්ථකථන වේ.එමෙන්ම ඉහත සඳහන් ආකාරයේ සිදුවීම් සෑම ආගමික සංස්කෘතික සන්දර්භයන් තුළින්ම වාර්තා වන බව ද අපි කවුරුත් දනිමු.

ඒ අනුව වඩාත් සාධාරණ ප්‍රවේශය වන්නේ සංසිද්ධිය පිළිබඳ විද්‍යාත්මක කරුණු විවෘතව පිළිගනිමින්, එයට පුද්ගලයාගේ ආගමික හෝ දාර්ශනික විශ්වාස අනුව ලබා දෙන අර්ථය වෙනම තලයක තබා බැලීමයි. එවිට “මරණයට පෙර මිනිස් මනස තුළ මෙවැනි අරුම පුදුම පැහැදිලිවීමක් ඇති වන්නේ ඇයි?” යන ප්‍රශ්නයට තවමත් විද්‍යාවට සම්පූර්ණ පිළිතුරක් නොමැති බව පිළිගත හැකි අතර, අප සමාජයේ නිරතුරුව සිදු කෙරෙන අන්දමට ඒ නොදන්නා අවකාශය කිසියම් ගුප්ත ආගමික හෝ අධිස්වාභාවික පැහැදිලි කිරීමකින් පුරවා දැමීමෙන් ද වැළකිය හැකි ය.

තිලක් සේනාසිංහ

නිතර නොඇසෙන කතා