බන්ධනාගාරයේ දී ‘මියගිය’ කීර්තිසේන පණපිටින් ගෙදර එයි

බන්

වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටියදී මියගිය බවට පොලිසිය විසින් ඥාතීන්ට නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව අවමංගල්‍ය කටයුතු සඳහා සියලු සූදානම් කරමින් සිටියදී, මියගිය බව පැවසූ පුද්ගලයකු පණපිටින් සිය නිවසට පැමිණීමේ විමතියට පත්කරවන සිදුවීමක් ගල්ගමුව, කොහොඹන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වේ.මෙලෙස පණපිටින් නිවසට පැමිණ ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි ඩී. එම්. කීර්තිසේන නමැති පුද්ගලයෙකු බව වාර්තා වේ.
වාර්තාවලට අනුව, කීර්තිසේන මහතා වාරියපොල බන්ධනාගාරයේ රඳවා සිටියදී බන්ධනාගාරය තුළ මියගොස් ඇති බවට නාන්නේරිය පොලිසිය විසින් ලිඛිත ප්‍රකාශයක් මඟින් ඔහුගේ ඥාතීන් වෙත දැනුම් දී තිබේ. එම දැනුම්දීමත් සමඟ දැඩි කම්පනයට පත්වූ පවුලේ ඥාතීන් සහ ගම්වාසීන් අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමට කටයුතු කර ඇත.ඒ අනුව ගම්මානයේ අවමංගල්‍ය දැන්වීම් පුවරු සහ බැනර් සවි කර තිබූ අතර, අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය පන්දල් ඉදිකිරීම ඇතුළු සූදානම් කිරීම්ද සිදුකරමින් තිබූ බව සඳහන් වේ.එවැනි පසුබිමක සියල්ලන් මවිතයට පත් කරමින් කීර්තිසේන මහතා පණපිටින් තම නිවසට පැමිණ තිබීමත් සමඟ ප්‍රදේශයේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන ඇත. එහි දී ඔහු පවසා ඇත්තේ තමන් පිළිබඳ මෙවන් පුවතක් නිවසට ලැබී ඇති බවක් බන්ධනාගාරයෙන් නිදහස් වන තුරුම තමන් නොදැන සිටි බවකි. මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාරය සහ පොලිසිය අතර මෙවන් බරපතල වැරදි තොරතුරක් සන්නිවේදනය වූයේ කෙසේ දැයි ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති. විශේෂයෙන්ම පුද්ගලයෙකු මියගිය බවට ඥාතීන් වෙත දැනුම් දීමට පෙර අනන්‍යතාව සහ මරණය පිළිබඳ තොරතුරු නිසි ලෙස තහවුරු කළේද යන්න සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.සිද්ධිය පිළිබඳව වගකිවයුතු බලධාරීන් විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකර, මෙම බරපතළ තොරතුරු ව්‍යාකූලත්වයට හේතුව කුමක්ද යන්න පැහැදිලි කළ යුතු බව ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ වෙනත් බලධාරීන් විසින් නිකුත් කළ වැඩිදුර නිල පැහැදිලි කිරීමක් මෙතෙක් වාර්තා වී නොමැත.

කාලීන පුවත්