යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහ එම සංගමය විසින් ඒ සම්බන්ධයෙන් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. ඒ බව එම සංගමය නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය, බලතල වෙන් කිරීමේ මූලධර්මය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම කිසියම් එක් වෘත්තීය කණ්ඩායමකට පමණක් පැවරෙන වගකීමක් නොවන බවත්, එය සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය සිය ලිපියෙන් අවධාරණය කර ඇත.
විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බව එම සංගමය පෙන්වා දෙයි. එවැනි වෙනසක් සිදුකරන ක්‍රමවේදය, එහි කාලසීමාව, දැනට ධුර දරන විනිසුරුවරුන් කෙරෙහි ඇති විය හැකි බලපෑම මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසයට ඇති විය හැකි බලපෑම ද ඉතා ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බවද එමගින් සඳහන් කර තිබේ.