තැලසීමියා රෝගයෙන් පෙළුණු තම දරුවාට අනුරාධපුර ශික්ෂණ රෝහලේදී රුධිරය ලබාදීමට විරුද්ධ වීම හේතුවෙන් දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරියක ඇතුළු අඹුසැමි යුවළකට එරෙහිව පවරා ඇති නඩුවේ දේශන ලබන ඔක්තෝබර් 9 වැනිදා ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහාධිකරණය නියෝග කර තිබේ.උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් පැමිණිලි සහ විත්ති පාර්ශ්වයන් වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස එච්.එම්. සමරකෝන් බණ්ඩාර සහ ගුරුවරියක වන පී.ජී. අයිරාංගනී තෙන්නකෝන් යන අඹුසැමි යුවළ නම් කර තිබේ.
2003 වසරේ මාර්තු 21 වැනිදාට ආසන්න කාලයේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේදී තම දරුවා වූ හේරත් මුදියන්සේලාගේ අල්ලේගෙල අනුෂ්ක නාමල් බණ්ඩාර නමැති දරුවාට රුධිරය ලබාදීමට විරුද්ධ වීම සහ ඊට කැමැත්ත නොදැක්වීම මගින් දරුවා නොසලකා හැරීම හා හිංසා කිරීම සම්බන්ධයෙන් 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 308 ආ (2) වගන්තිය යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 298 වැනි වගන්තිය යටතේ සදොස් මනුෂ්‍ය ඝාතනයක් නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවක්ද නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.
මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් ළමාරක්ෂක කොමසාරිස්වරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබිණි.
අධිකරණ නියෝගයකට අනුව ගොඩගත් දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න මහතා විසින් සිදුකර තිබේ. ඉන් අනතුරුව සැකකාර මව්පියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව නඩු විභාගයේදී අනාවරණය වී ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.එම්. සෙනරත් දයානන්ද බණ්ඩාර මහතා පොලීසියට ලබාදී ඇති ප්‍රකාශයකට අනුව, දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ 5 වැනි වාට්ටුවට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා රුධිරය ලබාදීම අවශ්‍ය බව මව්පියන්ට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, තමන් අදහන ආගමට අනුව යාඥා කිරීමෙන් දරුවා සුවපත් කළ හැකි බව පවසමින් මව්පියන් රුධිරය ලබාදීමට විරුද්ධ වී ඇති බව එම වෛද්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් වේ.
දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා රුධිරය ලබාදීම අත්‍යවශ්‍ය තත්ත්වයක් පැවති බැවින් ඔහු ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබූ බවත්, එහි රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරියටද මව්පියන් බලපෑම් කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි අධිකරණයේදී සඳහන් වී තිබේ.
එම බලපෑම් සහ දරුවාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන් මව්පියන් දැක්වූ විරෝධය හේතුවෙන් දරුවාගේ රෝගී තත්ත්වය උත්සන්න වී අවසානයේ ඔහු මියගිය බවට වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් පසු නඩුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබේ.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නිරෝෂ් ද සිල්වා මහතා පෙනී සිටින අතර, නඩුවේ මුල් අවස්ථාවේදී රජයේ අධිනීතිඥ යොමලී නාගොඩවිතාන මහත්මිය පෙනී සිටියාය. විත්තිකාර මව්පියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියි.
හිටපු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ධනංජය වෛද්‍යරත්න මහතා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබේ.
නඩුවේ දෙපාර්ශ්වයේ දේශන ලබන ඔක්තෝබර් 9 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අධිකරණය විසින් ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතය.