
මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ භික්ෂු ශාසනයයි. මෙරට භික්ෂු ශාසනය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ පමණ අනුරාධපුරයෙන් ආරම්භ වී, අද දක්වා ම අඛණ්ඩව ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ප්‍රවර්ධනය කිරීමේ දී දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් පවත්වාගෙන යනු ලබන සංස්ථාවකි. ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ආරක්ෂා කිරීමේ කාර්යභාරයට උර දී සිටින, ලොව පැරණිතම සමාජ සංස්ථාවක් වන මෙරට බෞද්ධ භික්ෂු ශාසනය පැරණිකම අතින් මානව සමාජයේ පවුල, ගම ආදී වශයෙන් වන මුල් කාලීන සමාජ සංස්ථාවන් අතළොස්සකට පමණක් දෙවැනි වෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දේවානම්පියතිස්ස රජ සමයේ සිට වර්තමානය දක්වා අඛණ්ඩව වසර දහස් ගණනක් තිස්සේ පවත්වාගෙන එන මෙබඳු සමාජ සංස්ථාවක් ලොව වෙනත් කිසිදු රටක නොපවතින බව මගේ විශ්වාසයයි.

ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂු ශාසනය නම් වූ සමාජ සංස්ථාව, එක් අතකින් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ විශිෂ්ට ලෝක උරුමයකි. බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගෙන් අඛණ්ඩව පැවත එන ථේරවාදී නැතිනම් හීනයාන ධර්ම ධාරාව විසින් ආරක්ෂා කෙරුණු මූලික බෞද්ධ ත්‍රිපිටකය ආරක්ෂා කොට වර්තමානය දක්වා පවත්වාගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ මෙරට භික්ෂු ශාසනයටයි. මේ නිසා ම ථේරවාදී බෞද්ධ රටවල් අතරින් සම්බුදු ධර්මය සුරක්ෂිත කිරීමේ ගෞරවය නිතැතිම හිමිවන්නේ ශ්‍රී ලාංකික සංඝ සමාජයටයි.
ඒ අනුව ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂු ශාසනය නම් වූ සමාජ සංස්ථාව, එක් අතකින් ශ්‍රී ලංකාවට අනන්‍ය වූ විශිෂ්ට ලෝක උරුමයකි. බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගෙන් අඛණ්ඩව පැවත එන ථේරවාදී නැතිනම් හීනයාන ධර්ම ධාරාව විසින් ආරක්ෂා කෙරුණු මූලික බෞද්ධ ත්‍රිපිටකය ආරක්ෂා කොට වර්තමානය දක්වා පවත්වාගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ මෙරට භික්ෂු ශාසනයටයි. මේ නිසා ම ථේරවාදී බෞද්ධ රටවල් අතරින් සම්බුදු ධර්මය සුරක්ෂිත කිරීමේ ගෞරවය නිතැතිම හිමිවන්නේ ශ්‍රී ලාංකික සංඝ සමාජයටයි. මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ නිරාගමිකයින්, දේශපාලන වශයෙන් මාක්ස්වාදය අදහන භෞතිකවාදීන්, ශ්‍රී ලාංකීය සමාජ සංස්කෘතික අනන්‍යතාවට පහර දී දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව දැන හෝ නොදැන භාරගෙන සිටින එන්ජීඕ (NGO) කල්ලිකරුවන්, විදේශීය බලවේග මත යැපෙන බුදුදහම විකෘති කරන චීවරධාරීන් හා ඔවුන්ගේ අනුගාමිකයින් ආදීන්ගේ දැඩි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ශ්‍රී ලාංකීය ජාතිය සතු වන්නා වූ ද, ඊට අනන්‍ය වන්නා වූ ද ලෝක උරුමයකට බව මුලින් ම තේරුම් ගත යුතු ය.
දැනට දශක තුනකට පමණ පෙර සිට ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂු ශාසනය නම් සංස්ථාව කිසියම් සංවිධානාත්මක ප්රහාරයන්ට ඉලක්කයක් වී ඇත. මේ සංවිධානාත්මක ප්‍රහාර මඟින් ඉලක්ක කර ඇත්තේ භික්ෂු ශාසනයේ පදනමයි. භික්ෂු ශාසනයේ පදනම වන්නේ ත්‍රිවිධ රත්නයයි. බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේ දේශනා කළ ධර්මය සහ ශ්‍රාවක සංඝ සමූහය ත්‍රිවිධ රත්නය වේ. නිදහසින් පසු ආසන්න වකවානුවේ අවස්ථාවල සංඝ රත්නය අභියෝගයට ලක් කර යම් යම් ව්‍යාපාර ඇති වුණත්, අදින් දශක දෙකහමාරක් පමණ කාලය වනතුරු බුද්ධ රත්නය හෝ ධර්ම රත්නය ඉලක්ක කළ ප්‍රහාර දැකගත නොහැකි විය. විශේෂයෙන් පනහ දශකයේ ඇති වුණා යැයි පැවසෙන තාපස නිකාය හා විනය වර්ධන ව්‍යාපාරය එකල සංඝ රත්නය ඉලක්ක කළ ප්‍රහාරවලට උදාහරණ සේ පෙන්විය හැකි ය. මේ ව්‍යාපාර දෙකෙන් ම බෞද්ධ ජනතාවට දෙන්නට උත්සාහ කළ පණිවුඩය වූයේ, සංඝ රත්නය යනු විහාරස්ථාන ආශ්‍රිතව ආගමික වතාවත් ඉටු කරන සංඝ රත්නය නොවන බවයි. මේ අන්දමේ අභියෝගයන්ට ලක් වීමට ශ්‍රී ලාංකීය භික්ෂු ශාසනයට සිදු වූයේ, එය සතු සමාජය හැසිරවීමේ මහා බලය පිළිබඳව බාහිර බලවේගවලට අවබෝධය ලැබීමත් සමඟ ය. මේ නිසා ම පසුගිය දශක හත තුළ විවිධ අවස්ථාවල සංඝ රත්නයේ අඩුහුඬුකම් උලුප්පමින් ප්‍රහාර එල්ල වීම සිදු විය. එසේ වුව ද ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාව තුළ බලවත් භික්ෂු විරෝධයක් ගොඩනැඟීමට මේ ප්‍රහාරකයෝ අසමත් වූහ. මේ නිසා ම ඊළඟට ත්‍රිවිධ රත්නයේ සියලු ම කොටස් ඉලක්ක කළ වඩා සංකීර්ණ ස්වභාවයේ ප්‍රහාර සංවිධානය කෙරිණි.

මෙහිදී ලෝක සම්මතයක් සේ තහවුරු කෙරී ඇති බුදුන්ගේ ඓතිහාසිකත්වය අභියෝගයට ලක් කරමින් බලවත් ප්‍රචාරයක් ගෙන යමින් සිටින කණ්ඩායම් කීපයක් ඇති වීම සිදු විය. මේ සෑම කණ්ඩායමකට ම පාහේ විශාල මූල්‍යමය හැකියාවක් තිබීම ද සැලකිල්ලට ගත යුතු ය. ඔවුන් පොදුවේ ප්‍රචාරය කරන්නේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපිද, ලංකාව තුළ බුද්ධත්වයට පත් වී, ලංකාවේ ම ධර්මය දේශනා කර පිරිනිවන් පෑ බව ය. මේ අදහස ප්‍රචාරය කරන කණ්ඩායම් කීපයක් ඇති අතර, ඔව්හු ඒ එක් එක් කණ්ඩායමට අනන්‍ය බුදුන් උපන්, බුදු වුණු හා පිරිනිවන් පෑ ස්ථාන හඳුන්වා දීම ද කරති. ඔවුන්ගේ මේ ප්රචාරක කටයුතු නිසා සැලකිය යුතු අනුගාමිකයින් පිරිස් ද ඔවුන් වටා රැස් වී ඇත. මේ ක්‍රියාමාර්ගවලින් ඔවුන් කරන්නේ බුදුන්ගේ ඓතිහාසිකත්වය නම් වන ප්‍රබල මුදුන් මුල සිඳ දැමීමකි. තම අරමුණ තකා මොව්හු බුදුන් දෙසූ ධර්මය සම්මත ත්‍රිපිටකයේ සඳහන්ව ඇති බව පිළි නොගනිති. ඔවුන් පවසන්නේ මේ ව්‍යවහාරයේ ඇති ත්‍රිපිටකය බුද්ධඝෝෂ හිමියන් විසින් විකෘති කර ලියූවක් බව ය. ත්‍රිපිටකයේ සූත්‍රවල ඇති ඇතැම් පාලි වචන සඳහා වෙනස් අර්ථකථන දීම මඟින් වෙනස් ම දහමක් බුද්ධ ධර්මය ලෙස පෙන්වමින් ත්‍රිපිටකයට ඇති පිළිගැනීම අභියෝගයට ලක් කරනු ලබති. එයින් සිදු කරන්නේ ධර්ම රත්නය පිළිබඳව සැකයක් ඇති කිරීමයි. ඔවුන් සංඝ රත්නය ලෙස සලකන්නේ රහතුන් වහන්සේලා පමණි. වර්තමානයේ සිටින සංඝ රත්නය බුද්ධ දේශනාවේ සඳහන් සංඝ රත්නය නොවන බවත් පෙන්වමින් සංඝ රත්නය පිළිබඳව ද සැකයක් ගොඩනංවති. ඒ අනුව බුද්ධ, ධම්ම, සංඝ කොටස් තුන ම අවිශ්වාස කිරීමට අවශ්‍ය තොරතුරු සමාජගත කිරීම මේ කණ්ඩායම්වලින් නොඅඩුව සිදු වෙයි. නමුත් ඔවුන්ගේ මෙම කුමන්ත්‍රණ ජාලය පසුපෙළ බැතිමතුන් නොදන්නවා ද විය හැක.
මේ කල්ලි කණ්ඩායම් බොහොමයක් සමඟ නිරාගමික, භෞතිකවාදී හා විදේශීය ප්‍රභවයන්ගෙන් යැපෙන එන්ජීඕ (NGO) ක්‍රියාකාරිකයින් එක්ව, අටමස්ථානාධිපති හිමියන්ට එරෙහිව එල්ල කෙරුණු චෝදනාවක් මුල් කරගෙන දැවැන්ත ප්‍රහාරයක් භික්ෂු ශාසනයට එල්ල කරමින් සිටිති. මේ චෝදනාව වැඩිහිටියෙකු සමඟ නවාතැන්පොළක කාමරයක සිටියදී පොලිස් භාරයට ගත් දැරියකගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි කළ කරුණු මත ගොඩනැඟුණකි. තමන් අටමස්ථාන නා හිමියන් අතින් බලවත් ලිංගික අපයෝජනයට ලක් වූ බවට දැරිය ප්‍රකාශ කළ බව හෙළි වූ විගස, ඉහත කල්ලි කණ්ඩායම අටමස්ථානාධිපති හිමියන් අත්අඩංගුවට නොගත්තේ යැයි චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධය පළ කිරීම ඇරඹූහ. අවසානයේ පොලිස් අත්අඩංගුවට පත්වන විට උන්වහන්සේ රෝහලක සිටීම ගැනත්, රිමාන්ඩ් බන්ධනාගාරයට ගෙන නොයාම ගැනත් විරෝධය දැක්වූහ. අවසානයේ උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරන විට විමර්ශන අවසන් බැව් පොලිසිය දැන්වූ බැවින්, අධිකරණයෙන් ඇප මත නිදහස් කිරීම ගැනත් සමාජ මාධ්‍යයේ විරෝධය දැක්වූහ.
මේ වන විට මේ විරෝධය අටමස්ථානාධිපතිගෙන් ඔබ්බට ගෙන යමින්, පොදුවේ විහාරස්ථාන භික්ෂූන් වහන්සේලා කෙරෙහි ද ව්‍යාප්ත කිරීමට මේ විරෝධතා කල්ලිකරුවෝ සමත්ව සිටිති. මේ අවස්ථාවේදී ඉදිරියට පැමිණි චීවරධාරීන් හා මාධ්‍යවේදීන් යැයි කියන අය විසින් ප්‍රසිද්ධියේ දැක්වූ විරෝධය පොදු භික්ෂූන් කාටත් අදාළ ය. ඔවුන්ට අනුව විහාර දේවාලගම් පනත අහෝසි කර විහාරස්ථාන රජයේ පාලනයට ගත යුතු ය; විහාරස්ථාන සතු දේපළ පෞද්ගලික ඒවා ය; ඒවා පාලනය කරන භික්ෂූන් සිය දරුවන් පැවිදි කරවා එම දේපළ ඔවුන්ට පවරති; විහාරස්ථාන යනු ලිංගික අපයෝජනයන් බහුලව සිදුවන තැන් ය; මල්වතු අස්ගිරි පාර්ශ්වවලට ඇති විශේෂ බලතල ඉවත් කර සියලු භික්ෂූන් සමාන කළ යුතු ය. ඉහත චෝදනා මුල් කොට අටමස්ථානාධිපති හිමියෝ එම තනතුරින් බැහැරව සිටිති. ඒ අනුව හිටපු අටමස්ථානාධිපති හිමියන්ට මතුව ඇති චෝදනා ඉදිරි කාලයේදී අධිකරණය ඉදිරියේ විභාග කර තීරණය කරනු ඇත. ඒ පිළිබඳව අපට මැදිහත් වීමට ඉඩක් නැත.
මේ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නීතිය ඉදිරියේ අමුතු සැලකිල්ලක් අතීතයේ තිබුණේත් නැත, වර්තමානයේත් නැත. අනාගතයේත් එසේ වෙතැයි බියක් ද ඇති කර ගත යුතු නැත. එසේ තිබුණේ නම් ලජ්ජිතිස්ස රජ සමයේ භික්ෂූන් වහන්සේලා කීපනමකට මරණ දඬුවම පමුණුවන්නේ ද නැත; බණ්ඩාරනායක ඝාතන නඩුවේ වරදකරු වූ එක් විහාරාධිපති හිමිනමකට මරණීය දණ්ඩනයත්, රටේ ප්රමුඛ පෙළේ විහාරස්ථානයක නායක භික්ෂුවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවමත් උරුම වන්නේ ද නැත. එසේ හෙයින් ම මේ ප්‍රධාන බෞද්ධ භික්ෂූන්ට විශේෂත්වයක් නීතිය ඉදිරියේ ඇතැයි කියමින් ඊනියා විරෝධයක් දක්වන මේ කල්ලි කණ්ඩායම්වල යටි අරමුණු පිළිබඳව අප විමසිලිමත් විය යුතු ය.
බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත යටත්විජිත පාලකයින් විසින් මුල් වරට සම්මත කරනු ලැබුවේ එක්දහස් අටසිය අසූනවයේ ය. බෞද්ධ විහාර හා දේවාලවල නඩත්තුව සඳහා රජවරුන් විසින් පූජා කරන ලද ඉඩකඩම් ඇතුළු දේපළත්, එම විහාර දේවාලවලට මහජනතාවගෙන් ලැබෙන පරිත්‍යාගයන් ඇතුළු දේපළ පාලනය සඳහා නීති පැනවීමේ අවශ්‍යතාව දුටු පාලකයින්, ඒ පිළිබඳව අධ්‍යයනය කර මහා සංඝ රත්නයේ අදහස් විමසා බලා බෞද්ධ විහාර දේවාලගම් පනත සම්මත කරන ලදී. එක්දහස් අටසිය ගණන්වල අගභාගයේ මේ ආඥා පනත ගෙන එන අවස්ථාවේ බස්නාහිර පළාතේ ප්‍රධාන නායක භික්ෂූන් වහන්සේ නමක වූ දෙදියවල බුද්ධරක්ඛිත නාහිමියන් මේ ආඥා පනතට ඇතුළත් විය යුතු කරුණු ආණ්ඩුවට දැන්වූ ලිපි පිටපතක් මා සතුව ඇත. ඉන් හැඟෙන්නේ මේ ආඥා පනත බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ද එකඟත්වය මත පැනවූවක් බව ය. පසුව එය ක්‍රියාත්මක කිරීමේදී මතුවූ අවශ්‍යතා ද සැලකිල්ලට ගෙන 1931 දී සම්මත කළ පනත අදට ද බලපැවැත්වේ. මේ පනත අනුව විහාර දේවාල සතු දේපළ පොදු අයිතියේ පවතින දේපළ වේ.
එම නිසා කිසිදු විහාරාධිපති කෙනෙකුට හෝ භාරකරුවෙකුට එම දේපළ බැහැර කිරීමට අයිතියක් නැත. බදු පදනම මත යම් කලකට පැවරීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අනුමැතිය අවශ්‍ය වේ. පනත යටතේ පාලනය වන විහාරස්ථාන හා දේවාලවල ආදායම් නිසි ලෙස ගණන් තැබීම විහාරාධිපති හෝ භාරකරුට අනිවාර්ය කර ඇත. එම විහාරස්ථාන හා දේවාලවල පින්කැටවලට රැස්වෙන මුදල් මාසිකව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නියෝජිතයින් ඉදිරියේ ගණන් කර බැංකුගත කිරීම කළ යුතු වේ. සියලු මාර්ගවලින් ලැබෙන ආදායම් බැංකුගත කළ යුතු අතර, වියදම් සඳහා මුදල් ගත හැක්කේ බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අනුමත කරන වියදම්වලට පමණි. මෙම බෞද්ධ විහාර හා දේවාලවල ගිණුම් විගණනය කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හෝ ඔහු මඟින් විගණකාධිපතිවරයා ලවා කරවිය හැකි ය. කිසියම් බෞද්ධ භික්ෂුවක් නමට මිලට ගන්නා නිශ්චල දේපළක් ඒ භික්ෂුව ජීවත්ව සිටියදී බැහැර නොකළොත්, ඔහුගේ මරණයෙන් පසුව සාංඝික දේපළ බවට පත් වන බව ද මේ ආඥා පනතේ සඳහන් වේ. සිද්ධස්ථානවල භාරකරුවන් පත් කිරීමේදී කාන්තාවන්ට ඡන්ද බලය නැති කිරීම ද පුරුෂාධිපත්‍යය මත පදනම් ව වත්මන් ප්‍රාදේශීය ලේකම්වරියන් ඉලක්ක කර කළ දෙයක් නොවේ. ප්‍රාදේශීය ලේකම්වරියන් මුල් වරට පත්වන්නේ මේ ආඥා පනත සම්මත වී වසර හැටක් ගෙවීමෙන් ද පසුව ය. මේ ආඥා පනත සම්මත වන කාලයේ භාරකරුවන් පත් කිරීමේ ඡන්ද බලය තිබුණේ රටේ මහත්වරුන්ට ය.
එකල රටේ මහත්වරු ලෙස හෝ ඉන්පසුව ප්‍රාදේශීය ආදායම් පාලකවරුන් ලෙස හෝ ඊටත් පසුව ප්‍රාදේශීය උපදිසාපතිවරු ලෙස කාන්තාවන් සේවය කළේ නැත. එසේ නම් කාන්තාවන්ට භාරකාර පදවි දැරීම හෝ ඒ සඳහා ඡන්දය දීම පනතෙන් වැළැක්වූයේ ඇයි? එසේ වීමට හේතුව ලෙස පෙනෙන්නේ 1872 අටමස්ථානාධිපති තෝරා ගැනීමේ අවස්ථාව නුවරවැව වලව්වේ ප්‍රධානියා ලෙස ඕවිල්ලේ කුමාරිහාමි නම් කාන්තාවකට ලැබීම ය. සම්ප්‍රදායානුකූලව නුවරවැව පවුලේ ප්‍රධානියා අටමස්ථාන කමිටුවේ ප්‍රධානියා වූයෙන්, ඒ අවස්ථාවේ ඇයගේ ප්‍රධානත්වයෙන් අටමස්ථානාධිපති තෝරන්නට වීම නිසා පසුව එවන් අවස්ථා ඇති වීම වැළැක්වීමට මේ ආඥා පනත ගෙන එන විට ඡන්ද බලය පිරිමින්ට පමණක් සීමා කිරීමට යෝජනා වන්නට ඇත. ඕවිල්ලේ කුමාරිහාමි ඉලක්ක කළ නීතිය වර්තමානයේ ප්‍රාදේශීය ලේකම්වරියන්ට බලපා ඇත. මේ විහාර දේවාලගම් පනත ගැන කිසිදු සොයා බැලීමකින් හෝ අධ්‍යයනයකින් තොරව මේ කල්ලි කණ්ඩායම් හා ඇතැම් චීවරධාරීන් එය අහෝසි කරන ලෙස ඉල්ලන්නේ හුදු බෞද්ධ විරෝධී හැඟීම් හා ඊර්ෂ්‍යා පරවශ භාවය නිසා බව පැහැදිලි ය.
ඊළඟ විරෝධය ලෙස එල්ල කළේ මල්වතු අස්ගිරි පාර්ශ්වවලට ඇති විශේෂ බලය අහෝසි කර සියලු භික්ෂූන් සමාන ලෙස සැලකිය යුතු බවටය. සියම් නිකායේ පැවිදි උපසම්පදාව දෙන්නේ කුල භේදය මත තෝරාගත් අයට පමණක් බවට ද චෝදනාවකි. සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්ව දෙක පමණක් තිබුණු අවධියේ, රාජ නියමයකින් පැවිදි උපසම්පදාව දීම ගොවිකුලයට පමණක් සීමා වූ බව කියවේ. මේ සිරිත ආරම්භ වී ඇත්තේ වසර දෙසිය පනහකටත් වඩා ඉහතදී ය. මේ හේතුව හා තවත් වෙනත් හේතු නිසා භික්ෂු උපසම්පදාව අමරපුරයෙන් ලබාගෙන, වෙන් ම භික්ෂු පරපුරක් අමරපුර නිකාය නමින් මෙරට බිහි විය. අනතුරුව දුර බැහැර සිට මහනුවරට පැමිණීමේ අපහසුව හා වෙනත් සුළු සුළු ගැටලු නිසා විවිධ ප්‍රදේශ මුල් කරගෙන සියම් නිකායට අයත් විවිධ පාර්ශ්ව ද බිහි විය. අවසානයට රාමඤ්ඤ දේශයෙන් උපසම්පදාව ලබාගෙන රාමඤ්ඤ නිකාය නමින් භික්ෂු පරපුරක් ද බිහි වී ඇත. මේ රටේ බෞද්ධයින්ට භික්ෂූන් වහන්සේ යනු බෞද්ධ භික්ෂූන් වහන්සේ ය. භික්ෂුව අයිති නිකාය හෝ පාර්ශ්වය අනුව අඩු වැඩි සැලකිලි සැබෑ බෞද්ධයන්ගේ නැත.
මේ රට ආලෝකමත් කළ රේරුකානේ චන්දවිමල, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය, පොල්වත්තේ බුද්ධදත්ත, හේන්පිටගෙදර ඥානසීහ, යක්කඩුවේ ප්‍රඥාරාම, මඩිහේ පඤ්ඤාසීහ, ලබුගම ලංකානන්ද, බෙල්ලන ඥානවිමල, පලිපාන චන්දානන්ද, කිරිඇල්ලේ ඥානවිමල, සිරිමල්වත්තේ ආනන්ද, නාපාන ප්‍රේමසිරි, බෙල්ලන්විල විමලරතන, මාදුළුවාවේ සෝභිත, නාඋයනේ අරියධම්ම යන නාහිමිවරුන් ඇතුළු සිය දහස් ගණන් මහා තෙරවරු බෞද්ධයින්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූයේ උන්වහන්සේලා අයත්ව සිටි නිකාය පිළිබඳ භේදයක් සැලකිල්ලට ගෙන නොවේ. එදා මල්වතු අස්ගිරි පාර්ශ්ව පමණක් සතුව තිබූ උපසම්පදාව දීමේ බලය අද සියලු නිකාය හා පාර්ශ්ව සතු ය. අද වන විට මෙරට, විදේශික වුව ද නියමිත සුදුසුකම් සහිත ඕනෑ ම අයෙකුට පැවිද්ද, උපසම්පදාව ගන්නට මේ රට තුළ ඉඩකඩ පවතින බව, විරෝධතා දක්වන කල්ලි කණ්ඩායම් නොදන්නවා වුණාට වර්තමානයේ පැවිද්ද හෝ උපසම්පදාව දීමට ජාති භේදයවත් බල නොපායි. අප දන්නා පරිදි මේ රටේ දෙමළ හා මුස්ලිම් ජන කොටස්වල දෙමව්පියන්ගේ දරුවන් පවා බෞද්ධ ශාසනයේ පැවිදිව උපසම්පදාව ලබා ශාසනික සේවයේ යෙදී සිටිති. බුදුන් කාලයේ පවා ආරාමවාසී, පිණ්ඩපාතික, පාංශුකූලික ආදී යම් යම් ප්‍රතිපත්ති අනුමත කළ භික්ෂූන් වහන්සේලා කණ්ඩායම් සිටියහ. මේ රටේ කවර නිකායක හෝ පාර්ශ්වයකට අයත් වුව ද ඒ සියල්ලෝ ම බෞද්ධයින්ට මහා සංඝ රත්නය ම වෙති.
කල දුටු කල වළ ඉහින්නාක් සේ, හිටපු අටමස්ථානාධිපති නාහිමියන්ට ඇති චෝදනාව පෙන්වා මේ විදින්නේ මෙරට බෞද්ධ භික්ෂු ශාසනයට ය. ඔවුන් භාරගෙන ඇති කොන්ත්‍රාත්තුව භික්ෂූන්ට මේ සමාජයේ ඇති බලය නැති කිරීමය. ඒ අනුව එය බොදු උරුමයේ ගෙල සිඳීමක් බව අතිශයින් පැහැදිලි ය. මේ දෙස නිහඬව බලා නොසිට මෙම තත්ත්වය සිහි නුවණින් තේරුම් ගැනීම වැදගත් වන්නේ, මෙරට භික්ෂු ශාසනය බිඳවැටුණොත් අපට අහිමි වන්නේ ලොව අන් කිසිදු රටක් සතු නොවන සජීවී ලෝක උරුමයක් වන නිසා ය.
මේ නිසා මේ විරෝධතා කල්ලි කණ්ඩායම් කියන සියම් නිකායට හෝ මල්වතු අස්ගිරි පාර්ශ්වවලට විශේෂ වරප්‍රසාද හා බලතල හිමි බවක් අපට නම් නොපෙනේ; බෞද්ධ ජනතාවට ද එසේමය. මේ කල්ලි කණ්ඩායම්වලට ඇත්තේ බෞද්ධ භික්ෂුව සතු සමාජ බලය පිළිබඳව වූ ප්රශ්නයකි. කල දුටු කල වළ ඉහින්නාක් සේ, හිටපු අටමස්ථානාධිපති නාහිමියන්ට ඇති චෝදනාව පෙන්වා මේ විදින්නේ මෙරට බෞද්ධ භික්ෂු ශාසනයට ය. ඔවුන් භාරගෙන ඇති කොන්ත්‍රාත්තුව භික්ෂූන්ට මේ සමාජයේ ඇති බලය නැති කිරීමය. ඒ අනුව එය බොදු උරුමයේ ගෙල සිඳීමක් බව අතිශයින් පැහැදිලි ය. මේ දෙස නිහඬව බලා නොසිට මෙම තත්ත්වය සිහි නුවණින් තේරුම් ගැනීම වැදගත් වන්නේ, මෙරට භික්ෂු ශාසනය බිඳවැටුණොත් අපට අහිමි වන්නේ ලොව අන් කිසිදු රටක් සතු නොවන සජීවී ලෝක උරුමයක් වන නිසා ය.
සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති