මන්නාරමේ වැලිපර අට සංචාරක වැඩසටහන අටුව කඩා පුටුව හැදීමක් ද?

මන්නාරම යනු ශ්‍රී ලංකාවේ භූගෝලීය, පාරිසරික හා ඛනිජමය වශයෙන් සුවිශේෂී ප්‍රදේශයකි. මුහුදත් ගොඩබිමත් අතර පිහිටි එහි වැලිපර, වෙරළබඩ පරිසර පද්ධති, ලවණ තෙත්බිම්, මුහුදු ජීවීන් සහ පක්ෂි විවිධත්වය මන්නාරමට අනන්‍ය පාරිසරික වටිනාකමක් ලබා දෙයි. එවැනි පසුබිමක මන්නාරමේ වැලිපර අටක් ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මේ වන විට පරිසරවේදීන්ගේ අවධානය යොමු වී තිබේ.

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් බවට විවාදයක් නැත. විශේෂයෙන්ම දැනට සංචාරකයන් වැඩි වශයෙන් නොපැමිණෙන ප්‍රදේශ සංචාරක සිතියමට හඳුන්වාදීම මඟින් ප්‍රාදේශීය ජනතාවට ආදායම් මාර්ග, රැකියා සහ සුළු ව්‍යාපාරික අවස්ථා ඇති කළ හැකි බව ඇත්තකි. එහෙත් එම සංවර්ධනය සිදු කළ යුත්තේ පරිසරය විනාශ කිරීමේ වියදමෙන් නොවේ.

මන්නාරමේ වැලිපර අට සම්බන්ධයෙන් මතු වන ප්‍රධාන ප්‍රශ්නය ද එයයි.

වැලිපරයක් යනු හුදෙක් සංචාරකයකුට සුන්දර දර්ශනයක් ලබා දෙන නිකම්ම නිකම් වැලි ගොඩක් නොවේ. සුළං, රළ පහර, මුහුදු ධාරා සහ වෘක්ෂලතා ආදී ස්වභාවික ක්‍රියාවලීන් සමඟ අඛණ්ඩව වෙනස් වන ඉතා සංවේදී භූ-පාරිසරික පද්ධතියකි. එහි වැලි චලනය, වෙරළ ඛාදනය වැළැක්වීම, භූගත ජල පද්ධති සහ විවිධ ශාක හා සත්ත්ව විශේෂ සඳහා ඇති දායකත්වය නිසා එවැනි ප්‍රදේශයක් සංචාරක කර්මාන්තය සඳහා භාවිත කිරීමට පෙර විද්‍යාත්මක අධ්‍යයනයක් අත්‍යවශ්‍ය වේ.

එමෙන්ම මන්නාරම යනු පක්ෂි සංක්‍රමණය හා වෙරළබඩ ජෛව විවිධත්වය අතින් ද අතිශය වැදගත් ප්‍රදේශයකි. එබැවින් මිනිසුන් විශාල වශයෙන් ගැවසීම, වාහන ධාවනය, අනවසර ඉදිකිරීම්, අපද්‍රව්‍ය බැහැර කිරීම, වැලි හා ශාක ආවරණයට හානි කිරීම වැනි ක්‍රියා එහි පරිසර පද්ධතියට ඇති කරන බලපෑම සරලව නොසලකා හැරිය නොහැකිය.

රාම–රාවණා කතාවේ ආකර්ෂණය

මන්නාරමට සංචාරක ආකර්ෂණයක් ලබා දීමේදී එහි පවතින ජනප්‍රවාද හා සංස්කෘතික මතවාද ද භාවිත කළ හැකිය. විශේෂයෙන් රාම–රාවණා පුරාවෘත්තය සමඟ සම්බන්ධ කර දැක්වෙන ස්ථාන ගණනාවක් මන්නාරම හා උතුරු ප්‍රදේශය ආශ්‍රිතව පවතී.

නමුත් මෙහිදී වැදගත් වෙනසක් තේරුම් ගත යුතුය.

රාම–රාවණා කතාව ඉන්දියානු උපමහාද්වීපයේ විශාල සංස්කෘතික බලපෑමක් ඇති කළ මහා පුරාවෘත්ත සම්ප්‍රදායකි. එය මානව විද්‍යාත්මක, සාහිත්‍යමය හා ආගමික අධ්‍යයනයන්ට අතිශය වැදගත් වුවද, එහි සඳහන් සෑම ස්ථානයක්ම ඓතිහාසිකව සිදු වූ සිදුවීමක භෞතික සාක්ෂියක් ලෙස සැලකීම විද්‍යාත්මකව සාධාරණ නොවේ. එසේ වැදගත් වනුයේ හින්දු බැතිමතුන්ට පමණි.

එහෙත් සංචාරක කර්මාන්තයට පුරාවෘත්තයක් පුරාවෘත්තයක් ලෙසම ඉදිරිපත් කළ හැකිය. ලෝකයේ බොහෝ සංචාරක ගමනාන්තවල ජනප්‍රවාද, මිථ්‍යා කතා සහ පුරාණ සාහිත්‍යය සංචාරක අත්දැකීම් ගොඩනැඟීමට භාවිත වේ. ඒ සඳහා පුරාවෘත්තය ඉතිහාසයක් ලෙස වෙනස් කර ඉදිරිපත් කිරීම ද අවශ්‍ය නොවේ.

ඒ අනුව මන්නාරමේ සංචාරක ප්‍රවර්ධනයේදී රාම–රාවණා පුරාවෘත්තය භාවිත කිරීමේ වරදක් නැත. ප්‍රශ්නය වන්නේ එම සංචාරක ආකර්ෂණය නිර්මාණය කරන්නේ පරිසරය ආරක්ෂා කරමින් ද, නැතහොත් පරිසරය කැප කරමින් ද යන්නයි.

සංචාරකයා වෙනුවෙන් වැලිපරය වෙනස් කළ යුතුද?

සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී සාමාන්‍යයෙන් මාර්ග, නැරඹුම් ස්ථාන, වාහන නැවැත්වීම්, විවේකාගාර, ආපනශාලා, වැසිකිළි, හෝටල් හා වෙනත් යටිතල පහසුකම් අවශ්‍ය වේ. එහෙත් සංවේදී වැලිපර පද්ධතියක් තුළ එවැනි ඉදිකිරීම් සිදු කිරීම සාමාන්‍ය නාගරික ඉදිකිරීමකට සමාන නොවේ. එය ඉතා විද්‍යාත්මක පදනමකින් කළ යුත්තකි.

සංචාරකයන්ගේ පහසුව තකා වැලිපරයක් මත කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකළහොත් එය වැලි ගමන් කිරීමේ ස්වාභාවික ක්‍රියාවලිය වෙනස් කළ හැකිය. වාහන ධාවනයෙන් වැලි ස්ථර හා වෘක්ෂලතා ආවරණයට හානි විය හැකිය. විශාල ජනකායක් පැමිණීමෙන් පරිසරයට ඇති පීඩනය තවත් ඉහළ යා හැකිය. අපද්‍රව්‍ය කළමනාකරණය නිසි ලෙස සිදු නොකළහොත් වෙරළ හා සාගර පරිසරය ද දූෂණයට ලක් විය හැකිය. මේවා සංචාරක ප්‍රවර්ධනයත් සමඟ හිස ඔසවන “අතුරු ආබාධ” වේ.

ඒ නිසා මෙවැනි ව්‍යාපෘතියක පළමු පියවර විය යුත්තේ “සංචාරකයන් කී දෙනකු ගෙන්විය හැකිද?” යන්න නොව, “මෙම පරිසරයට හානියක් නොකර සංචාරකයන් කී දෙනකු පිළිගත හැකිද?” යන්න සොයා බැලීමය.

එය සංචාරක කර්මාන්තයට එරෙහි අදහසක් නොවේ. එය වඩාත් තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන් ඉදිරිපත් කරන අදහසකි.

“අටුව කඩා පුටුව හැදීම”

සිංහල ගැමි සංස්කෘතිය තුළ “අටුව” යන්නට තිබූ වැදගත්කම මෙහිදී අපට කදිම උපමාවක් ලබා දෙයි. අටුව යනු නිවසක ආහාර හා ධාන්‍ය වැනි දෑ සුරක්ෂිතව තබා ගැනීම සඳහා භාවිත කළ ස්ථානයකි. එය පවුලක පැවැත්ම හා ආහාර සුරක්ෂිතතාව සමඟ සම්බන්ධ විය.

අනෙක් අතට “පුටුව” යනු අමුත්තකු පිළිගැනීමේ සංකේතයක් වූ අවස්ථා ද තිබිණි. “පුටුවක් දෙනවා” යන ව්‍යවහාරය පවා කෙනකු පිළිගැනීම හා ගරු කිරීම පිළිබඳ පැරණි සමාජ සංස්කෘතික අර්ථයක් දරයි.

එබැවින් අටුව කඩා පුටුව හැදීම යන්නෙන් අදහස් වන්නේ අනාගත පැවැත්ම සඳහා අවශ්‍ය සම්පතක් විනාශ කර වර්තමාන ආගන්තුක සත්කාරයක් පවත්වා ගැනීමය.

මන්නාරමේ වැලිපර සම්බන්ධයෙන් ද අපට මෙවැනි ප්‍රශ්නයක් මතු කළ හැකිය.

අද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා හෙට දිනයේ පරිසරයට අවශ්‍ය ස්වභාවික සම්පත විනාශ කළහොත් එය සැබෑ සංවර්ධනයක් ද?

අද සංචාරකයකුට ඡායාරූපයක් ගැනීමට වැලිපරයක් විවෘත කර, හෙට එම වැලිපරයේ ස්වාභාවික පද්ධතිය විනාශ වුවහොත් අප ඉතිරි කරන්නේ කුමක්ද?

සංචාරක ව්‍යාපෘතියක් නොව සංරක්ෂණ සංචාරක ව්‍යාපෘතියක්

මන්නාරමේ වැලිපර අට සංචාරකයන්ට විවෘත කිරීමට අවශ්‍ය නම් එය කළ යුත්තේ ඒවායේ ස්වාභාවික ස්වරූපය වෙනස් කිරීමෙන් නොවේ. ඒ වෙනුවට ලොව දියුණු රටවල සිදු කරන්නක් මෙන් සීමිත සංචාරක ප්‍රවේශයක්, නිශ්චිත නැරඹුම් මාර්ග, සංවේදී ප්‍රදේශවලට ප්‍රවේශ සීමා, දුරස්ථ නිරීක්ෂණ ස්ථාන සහ නිසි අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද ඇති කිරීමය.

එසේම භූ විද්‍යාඥයන්, පරිසර විද්‍යාඥයන්, වනජීවී විශේෂඥයන්, වෙරළ සංරක්ෂණ විශේෂඥයන් සහ පුරාවිද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ දායකත්වයෙන් ඒ සම්බන්ධ පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ යුතුය.

විශේෂයෙන්ම සංචාරකයන්ට විවෘත කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරුවක් හෝ ඒ හා සමාන විද්‍යාත්මක පාරිසරික ඇගයීමක් අවශ්‍යද යන්න අදාළ ආයතන විසින් තීරණය කළ යුතුය. ප්‍රදේශයේ භූ විද්‍යාත්මක වටිනාකම, වෙරළ ඛාදනය, ජෛව විවිධත්වය, ජල පද්ධති සහ මානව ක්‍රියාකාරකම්වල දරාගත හැකි සීමාව පිළිබඳ දත්ත මත තීරණ ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

ඒ සමඟම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව ද මෙම ක්‍රියාවලියේ පාර්ශ්වකරුවන් විය යුතුය. සංචාරක ව්‍යාපෘතියක ප්‍රතිලාභ ඔවුන්ට නොලැබී පරිසර හානි පමණක් ඔවුන්ට ඉතිරි වන්නේ නම් එය තිරසර සංචාරක සංවර්ධනයක් නොවේ.

මන්නාරම සංචාරක සිතියමට පැමිණිය යුතුය. එහෙත්;

මන්නාරම ශ්‍රී ලංකාවේ සංචාරක සිතියමට තවදුරටත් ප්‍රබලව එක්විය යුතුය. ඒ බවට කිසිදු වාදයක් නැත. එහෙත් එහි ඉතිහාසය, ආගමික උරුමය, ධීවර සංස්කෘතිය, පක්ෂි ජීවිතය, වෙරළබඩ පරිසර පද්ධති, භූ විද්‍යාත්මක ලක්ෂණ සහ ජනප්‍රවාද ඒ සඳහා විශාල අවකාශයක් සපයයි.

එහෙත් සංචාරක ප්‍රවර්ධනය යනු පරිසරය සංචාරක කර්මාන්තයට යටත් කිරීම නොවිය යුතුය. පරිසරයම සංචාරක අත්දැකීමේ කොටසක් කරගත හැකිය.

වැලිපරයක් එහි ස්වාභාවික ස්වරූපයෙන් දැකීම ද සංචාරක අත්දැකීමකි. එහි වටිනාකම පැහැදිලි කරන ස්වාභාවික විද්‍යාත්මක මධ්‍යස්ථානයක් ද සංචාරක ආකර්ෂණයකි. රාම–රාවණා පුරාවෘත්තය පිළිබඳ විද්‍යාත්මක හා මානව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද සංචාරක අත්දැකීමකි.

එබැවින් මන්නාරමේ වැලිපර අට සංචාරකයන්ට පෙන්වීමට පෙර ඒවා ආරක්ෂා කරන්නේ කෙසේදැයි තීරණය කළ යුතුය.

නැතහොත් අවසානයේ සිදුවන්නේ පුරාවෘත්තයක් විකිණීමට ගොස් ඉතා වටිනා සංවේදී පරිසර පද්ධතියක් අහිමි කර ගැනීමය.

සංචාරකයා පිළිගැනීමට “පුටුව” අවශ්‍ය බව සැබෑය. එහෙත් ඒ පුටුව සෑදීමට “අටුව” කඩා දැමිය යුතු නැත. මන්නාරමේ වැලිපර අට මුල් කර ගත් සංචාරක වැඩසටහනේ සැබෑ අවධානය යොමු විය යුත්තේ එතැනටය.

රීටා ජෙනට් පෙරේරා

හරිත දනව්ව