
අද වන විට මෙරට සමාජයේ පවතින විවිධ කූට ජාවාරම් අතර ගුප්ත ශාස්ත්‍රය හා සම්බන්ධ ජාවාරම් ද සැලකිය යුතු අයුරින් ඉහළ නැංවී තිබේ. එමෙන්ම මෙය අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. ජ්‍යොතිෂය, නිමිති ශාස්ත්‍රය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, වාස්තු ශාස්ත්‍රය සහ අනේකවිධ යාතු කර්ම ඇතුළු මෙකී නොකී විවිධ ගුප්ත විෂයන් පිළිබඳව තමන් තුළ දැනුම ඇති බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීම මෙන්ම, තමන් සතු නොවන දැනුමක් ඇති බව පෙන්වා ජනතාව නොමඟ යැවීම ද මේ වන විට රට පුරා පැතිර ගිය ජාවාරමක් බවට පත්ව තිබේ. එමෙන්ම ඔවුන් ඒ සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ මුල් කොට එම අවභාවිතාවන් ඉතා හොඳින් නිරීක්ෂණය කළ හැකි සුළුතරයක් ද අප සමාජයේ සිටිති.
මෙවැනි ක්‍රියා පිළිබඳ සාකච්ඡා කිරීමේදී භාරතීය වෛදික සම්ප්‍රදායේ මූලික සංකල්පයක් වන කර්මය සහ කර්ම විපාක න්‍යාය අතිශයින් වැදගත් වේ. එහි මූලික අදහස වන්නේ මිනිසාගේ ක්‍රියාවන්ට ඒවාට අනුරූප ප්‍රතිඵල ඇති වන බවයි. මහාභාරතයේ සඳහන් වන ආකාරයට ශරීරයෙන්, වචනයෙන් සහ මනසින් සිදුකරන ක්‍රියා සියල්ල කර්මයේ කොටසක් වන අතර, ඒවාට සුබ හෝ අසුබ ප්‍රතිඵල ඇති විය හැකිය.
මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ පුද්ගලයකු සතු දැනුම යනු වගකීමක් ද වන බවයි. යම් ශාස්ත්‍රයක් පිළිබඳ සැබෑ දැනුමක් නොමැති පුද්ගලයකු එවන් දැනුමක් තමන් සතු බව පෙන්වමින් තීරණ ගැනීමට ජනතාව පෙළඹවීම බරපතල සදාචාරාත්මක ගැටලුවක් ඇති කරයි. ඒ මඟින් පුද්ගලයකුගේ මුදල් අහිමිවීමට පමණක් නොව, ඔහුගේ පවුල් සබඳතා, සමාජ ජීවිතය සහ ඇතැම් අවස්ථාවල සෞඛ්‍යය සම්බන්ධ තීරණ පවා බලපෑමට ලක් කළ හැකිය. ඒ සම්බන්ධයෙන් භාරතීය ගුප්ත ශාස්ත්‍රවල නියුතු ගුරුකුල මඟින් සිදු කොට ඇති අනාවරණයන් එබඳු ප්‍රබල ගුරුකුල සම්ප්‍රදායන් නොමැති අප රටේ බොහෝ දེානෝ නොදනිති.
භාරතීය සම්ප්‍රදායේ කර්මය පිළිබඳ ඉගැන්වීම් තුළින් මෙවැනි තත්ත්වයකට වෙනස් ආකාරයකින් පැහැදිලි කිරීමක් ලැබේ. මහාභාරතයේ එක් අවස්ථාවක කර්මය මඟින් මිනිසාට සුව සහ දුක ඇතුළු ප්‍රතිඵල ලැබෙන බවත්, ශරීරයෙන්, වචනයෙන් සහ මනසින් කරන ක්‍රියාවන්ට ඒ ඒ ආකාරයේ ප්‍රතිඵල වෙන් වශයෙන් ලැබෙන බවත් දැක්වේ.
එබැවින් කිසියම් ගුප්ත ශාස්ත්‍රයක නාමය භාවිත කරමින් අන්‍යයන් රැවටීම, බිය ගැන්වීම හෝ තමන්ට නොමැති දැනුමක් ඇති බව පෙන්වීම සාම්ප්‍රදායික දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ හැක්කේ අතිශය අයහපත් කර්මයක් ඇති කරන ක්‍රියාවක් ලෙසය. පැරණි භාරතීය වෛදික ධර්ම ශාස්ත්‍රවලට අනුව එහි ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අකල් මරණයක්, බරපතල රෝගයක් හෝ නිශ්චිත ධන හානියක් වශයෙන් සිදුවන බව පැවසේ. නමුත් සියලු වෛදික ග්‍රන්ථවල එකම ආකාරයේ නියමයක් ඇතැයි පැවසිය නොහැකි මුත්, කර්ම විපාකය පිළිබඳ සංකල්පය තුළ අයහපත් ක්‍රියාවන්ට අයහපත් ප්‍රතිඵල ඇති වීමේ පොදු මූලධර්මය පැහැදිලිව ගැබ් වී තිබේ.
මේ අනුව ගුප්ත ශාස්ත්‍රයක නාමයෙන් ජනතාවට සේවයක් කරන පුද්ගලයකුගෙන් අපේක්ෂා කළ යුතු පළමු ගුණය විය යුත්තේ තම දැනුමේ සීමාව නිවැරදිව හඳුනා ගැනීමයි. තමන් දන්නා දේ දැන සිටීම මෙන්ම තමන් නොදන්නා දේ නොදන්නා බව පිළිගැනීම ද සැබෑ දැනුමේ ලක්ෂණයකි. තම දැනුම ඉක්මවා ගොස් කටයුතු කිරීමත්, තමන් සතු දැනුම අවභාවිත කිරීමත්, තමන් තුළ නොමැති දැනුමක් ප්‍රදර්ශනය කිරීමත් පුද්ගලයාට මෙන්ම ඔහුගෙන් උපදෙස් ලබාගන්නා ජනතාවට ද අතිශය අයහපත් ප්‍රතිඵල ඇති කළ හැකිය.
භාරතීය දාර්ශනික සම්ප්‍රදාය එවැනි තත්ත්වයකදී බාහිර ගුප්ත බලයක දඬුවමකට වඩා කර්මයේ ස්වභාවය පිළිබඳ අවධානය යොමු කරයි. මිනිසා කරන ක්‍රියාව ඔහුගේ ජීවිතයටත්, සමාජයටත් ප්‍රතිඵල ඇති කරන බව එම සම්ප්‍රදාය අවධාරණය කරයි. මහාභාරතයේ ඇතැම් කොටස්වල දැනුමෙන් අයහපත් කර්ම හඳුනාගෙන ඒවා වළක්වාගත යුතු බව දක්වන අතර, කර්මයේ ප්‍රතිඵලය ක්‍රියාව සමඟ සම්බන්ධ කරයි. නමුත් පසුකාලීන පඬිවරුන් විසින් කරනු ලැබූ නිරීක්ෂණ අධ්‍යයන මඟින් ද ඒ සම්බන්ධයෙන් ගුප්ත ශක්තීන් ක්‍රියාත්මක වන බවට අනතුරු අඟවා තිබේ.
ඒ අනුව අද සමාජයට ගත හැකි වැදගත් පණිවුඩය වන්නේ ගුප්ත ශාස්ත්‍ර විශ්වාස කරනවාද නැද්ද යන්න නොවේ, ඕනෑම දැනුමක් භාවිත කරන පුද්ගලයා සතු වගකීම හඳුනා ගැනීම ය. තමන්ගේ දැනුමේ සීමාව නොදැන ජනතාවට උපදෙස් දීම, බිය හා මිථ්‍යාව ප්‍රයෝජනයට ගනිමින් මුදල් ඉපයීම හෝ තමන් සතු නොවන බලයක් ඇති බව ප්‍රකාශ කිරීම සමාජයට අහිතකර විය හැකිය. මෙහිදී තමන් වෙත මෙවැනි සමාජමය අකටයුතු සිදුවී ඇතැයි සිතන පුද්ගලයන් ස්වයංසිද්ධ මනෝචිකිත්සක ක්‍රියාවලියක් වන පරිත්‍යාගය හා දානය අපරිමිත අයුරින් ක්‍රියාවට නැංවීමෙන් එම දුර්විපාක අවම කිරීමට හෝ පිටුදැකීමට හැකි බව ද පෙන්නුම් කර තිබේ. එහෙත් එය හුදෙක් සමාජමය ආටෝපයක් ලෙස නොව තම හදවතට එකඟ වූ ස්වයංසිද්ධ මනෝචිකිත්සාවක් සේ කළ යුතුය.
එමෙන්ම මෙලෙස ගුප්ත ශාස්ත්‍ර අවභාවිතා කරන්නන්ට බරපතල විපත් පමුණුවන්නක් බව තම නිරීක්ෂණ අධ්‍යයයන මඟින් පවා සනාථ කළ අපගේ ආචාර්යෝත්තමයාණන් කෙනෙකු වන කීර්තිමත් සමාජ විද්‍යාඥ මහාචාර්ය නන්දසේන රත්නපාල සූරීන් වරක් මෙය හඳුන්වා දුන්නේ “ඒක හරියට මාර්ග නීති නොදැන වාහන එළවනවා වගේ වැඩක්” යනුවෙනි.එහි දී මෙම සංසිද්ධිය විද්‍යාත්මක හෝ තර්ක න්‍යායට හසු නොවන කිසියම් ගුප්ත විශ්වීය බලයකින් ක්‍රියාත්මක වන බව තම පෞද්ගලික විශ්වාසය බව ද එතුමන් අප හමුවේ පවසා තිබේ.
මෙම කරුණු මඟින් භාරතීය වෛදික-දාර්ශනික සම්ප්‍රදායේ කර්ම විපාක සංකල්පය නූතන සමාජයට කියා දෙන්නේ එක් සරල කරුණකි. දැනුම බලයක් නම්, එය නිවැරදි ලෙස භාවිත කිරීම වගකීමකි. එම වගකීම නොසලකා කරන ක්‍රියාවන්ට සදාචාරාත්මක මෙන්ම සමාජීය ප්‍රතිවිපාක ඇති විය හැකිය. ගුප්ත ශාස්ත්‍රයක් යැයි හැඳින්වෙන කිසියම් විෂයක් සම්බන්ධයෙන් වුවද, තම දැනුමේ සීමාව පිළිගැනීම සහ අනෙකා නොමඟ නොයැවීම එහි මූලික සදාචාරාත්මක පදනම විය යුතුය යන්නය. ඒ අනුව ගුප්ත ශාස්ත්‍රය අවභාවිත කිරීම ගැන භාරතීය සම්ප්‍රදායේ අනතුරු ඇඟවීම සේම ඒ සම්බන්ධ ගුරුකුල හා විද්වත් මත මේ වන විට එවන් කටයුතුවල යෙදී සිටින සැමගේ සංතීක්ෂණ අවධානයට යොමු වීම ඔවුන්ගේත් පොදු සමාජයේත් යහපත පිණිසම හේතු වනු ඇත.