අද වන විට රට මුහුණ පා හිඳින ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන අර්බුදයක් ද රට තුළ නිර්මාණය වී තිබේ. “ගෝටා ගෝ හෝම්” ලෙස ඉල්ලමින් නිර් පාක්ෂික තරුණ විරෝධතාවක් ද ආරම්භ වී ඇත. මෙම තරුණ විරෝධතාව සඳහා මෙතෙක් විවිධ දේශපක්ෂ වල ක්‍රියාකාරී භූමිකාවන් ඉටු කළ පිරිස් පවා එක් ව හිඳිති.
මේ අතර මෙම නිර්පාක්ෂික යන වදනට “නිර් දේශපාලනික” යන වදන ආරෝපණය කරමින් ඇතැම් පිරිස් යළි තම පක්ෂ වලට එම පිරිස් එක් කර ගැනීමේ වෑයමක් දරති.නමුත් එම තරුණ පිරිස් දැනට පවත්නා පක්ෂ දේශපාලන ව්‍යුහයෙන් එම පිරිස් පිට පැන ඇත්තේ මෙම අර්බුදය විසඳීම සඳහා නිසි ජවයක්,ශක්තියක් එම පක්ෂ තුළ නොමැති බව වටහා ගැනීමත් සමඟිනි.
මෙම ජනතා හඬට රජය දක්වන ප්‍රතිචාර ලෙස ශ්‍රීලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ ඇතුළු පක්ෂ 11 ක කණ්ඩායමෙන් කියැවුණේ අගමැතිධූරය වෙනස් විය යුතු බවකි. මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වී එය “රාජපක්ෂ පවුලෙන්” පිටත පුද්ගලයෙකුට දිය යුතු බව ඔව්හු කියති. ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහගේ නම් කියැවුණේ එම කතාබහත් සමඟ ය.
එහෙත් අගමැති ධූරයෙන් ඉවත්වීමට තමන් සුදානම් නැතැයි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.. එසේම පසුගිය දිනක ඔහු ජාතිය අමතා ප්‍රකාශයක් කරමින් විරෝධතාව දෝෂ දර්ශනයට ලක් කළේය. ඒ 1988/89 කාල වකවානුවේ සන්නද්ධ අරගලය සිහිපත් කරමිනි. ඊට අමතරව යුධ ජයග්‍රහණය ගැනත් ඔහු කියා සිටියේය.එහෙත්,එහි කිසිම අලුත් අදහසක් නොතිබිණ. නමුත් ආණ්ඩුව පවත්වාගෙන යාමට මෙන්ම රාජපක්ෂ වරුන්ගේ අනාගත දේශපාලනය තහවුරු කර ගැනීම වෙනුවෙන් අගමැතිවරයා ඉල්ලා අස්විය යුතුය යන්න ආණ්ඩුවේ බහුතරයකගේ මතය වී තිබේ.
එහෙත්, ඊට විරුද්ධ පාර්ශව ද සිටින අතර ඔවුන් කියන්නේ අගමැති වරයා ඉවත්වීම ප්‍රායෝගික නැති බව ය. මේ අතර දේශපාලන ඕපාදුප සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද තම හිතවතුන් මාර්ගයෙන් අගමැති වරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී ඇති බව ය. අගමැතිවරයා ද ඊට ප්‍රති උත්තර බඳිමින් අරගල කරුවන් ඉවත්වන්න කියන්නේ තමන්ට නොවන බව කියා පණිවුඩ යවා ඇති බවක් කියති.
එය සත්‍ය නම් බලය වෙනුවෙන් පවුල තුළ ද ගැටුම් නිර්මාණය වී තිබේ. එතන දී අගමැතිවරයා කී කතාව ඇත්තකි. ජනතාව ඉවත් වන්න කියන්නේ විධායක බලතල සහිත ජනාධිපති පදවිය හොබවන ගෝඨාභයට ය. නමුත් ආණ්ඩුවේ බහුතරය කියන්නේ අගමැති ඉල්ලා අස් වී සමාජයේ නිර්මාණය වී ඇති අර්බුදය විසඳාගත යුතු බවකි.
අගමැතිවරයා ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ සිටින දුෂිත චෝදනා එල්ල නොවූ මන්ත්‍රීවරුන් විස්සකගෙන් ගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් පත් කරගත යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.ජනාධිපතිවරයා ඊට එගඟතාවය පළ කර ඇති අතර ඒ වෙනුවෙන් ඔහු අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට අනියමින් බලපෑම් කරමින් සිටින බව පැවසෙයි.
මේ අතර අගමැතිවරයා බේරා ගැනීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන යන පිරිස පෙරට පැමිණ සිටිති. ඔවුන් කියන්නේ අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉවත් වන්නේ නම් අගමැති ධූරයට නාමල් රාජපක්ෂ පත් කළ යුතු බවකි.ඒ කතාවත් සමඟ නැවත වටයකින් කැරකී ප්රශ්නය පළමු තැනට පැමිණ ඇති බව පැහැදිලිය.
රාජපක්ෂලාට ඇමතිකම් නොදිය යුතුය යන මතයේ බහුතරයක් සිටින අවස්ථාවක නාමල් රාජපක්ෂ වැනි දුහුනකුට රටේ අගමැති තනතුර දිය යුතුය යන යෝජනාවෙන් පැහැදිලි වන්නේ ප්රශ්නය විසඳනවා වෙනුවට තවත් ඇදී යන බවකි. නො එසේ නම් නම් රට රාජපක්ෂලාගේ පවුල් බලය යටතේ තවදුරටත් තබා ගැනීමට මේ පිරිසට අවශ්‍ය බව මෙයින් පැහැදිලි වේ.
ඇමති මණ්ඩලයෙන් රාජපක්ෂවරු සියළු දෙනා ඉවත්විය යුතු බවට හිස නමමින් ඉකුත් දා ඇමති මණ්ඩලය ඉවත් වූහ. නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ හා ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ වන විට ඇමතිධූරයෙන් ඉවත්ව සිටිති. එවැනි වකවානුවක මහින්ද වෙනුවට අගමැති කමට නාමල් යොමු කරන්න හදන්නේ කවර පදනමකින් ද? යන්න පැහැදිලි නැත. එසේ වුවත් රාජපක්ෂ පවුල බලයේ තබා ගෙන තමන්ගේ අවැඩ තහවුරු කරගැනීමට මෙම ඉල්ලීම කරන පිරිසට අවශ්‍ය බව අනියමින් සිතා ගත හැක.
අගමැතිවරයා මේ අතර ගෝල්ෆේස් පිටිය ආසන්නයේ ගෝටාගෝගම වශයෙන් ප්‍රකට විරෝධතා කරුවන් සමඟ සාකච්ඡා කිරීමට සුදානම් බව කීවේය. එහි නායකයන්ට තමන් හමුවන ලෙස ඔහු ප්‍රකාශ කළේය. එහිදී විරෝධතා කරුවන් කීවේ අරගලයට නායකයන් නැති බැවින් ගෝල්ෆේස් පිටියේ ගෝටාගෝගමට පැමිණ එහි සිටින අය සමග මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට පොදුවේ කතා බහ කළ හැකි බවකි.එමෙන්ම “ගෝටා ගෝ හෝම්” යනුවෙන් ලක්ෂ වතාවක් හඬ නඟා තිබිය දීත් ඊට ක්‍රියාවෙන් මිස කතාවෙන් විසඳුම් නොමැති බව විරෝධතා කරුවන් ගේ පොදු මතය වී තිබේ.
ඒ අතර විරෝධතා කරුවන් ඒ වෙනුවෙන් ස්ථානයක් ද මේ වන විටත් සකසා ඒ යෝජනා කරනුයේ “නොකෙරෙන වෙදකමක්” ලෙස බව ද පෙනේ. ඒ අතර අගමැති වරයා දුවේ පුතේ කියමින් ආදරණීය ලෙස තමන් ආමන්ත්‍රණය කළ ද රාජපක්ෂලා ජනතාවට සැබැවින්ම ආදර නොකරන බව විරෝධතා කරුවෝ කියති.ඉඩ ලද කවර හෝ මොහොතක රාජපක්ෂලා තමන්ට දරුණු ප්‍රහාර එල්ල කරන බව ද එම තරුණ පෙළ කියති.ඔවුන් ගාලු මුවදොර පිරිය අවට ඒකතු වන හිස් පානීය ජල බෝතල් ආදිය මලු වලට එක් කොට ඒවා රාජපක්ෂ වරුන්ගේ පාරම්පරික දේශපාලන සංකේතය වන සාටක වලින් හැඩ ගන්වා ඇත්තේ ඒවා මෙන් රාජපක්ෂ පවුල ද මෙරට දේශපාලනයෙන් ඉවත් කළ යුතු බව සංකේතාත්මක ව පවසමිනි.
ඉදිරි මර්දනකාරී තත්වයන් යටතේ වුව ද රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් නොවන තුරු අරගලය ද නොනවත්වා පවත්වාගෙන යන බව විරෝධතා කරුවෝ පවසති.
මේ අතර විපක්ෂයේ පක්ෂ වලට ද මේ මොහොතේ මෙම විරෝධතාවයනට සාපේක්ෂව තමන් සතු ජන බලය පෙන්විය හැක.එහෙත්,ඒ මෙම විරෝධතා බිමෙන් පිටස්තර වෙනත් ස්ථාන වල දීය.එවිට රජයට එරෙහි පොදු ජන අරගලයේ දී තම පක්ෂයට හිමි නවතම ස්ථානය ඔවුනටම වටහා ගත හැකි වනු ඇත.
එසේ නොමැතිව මෙම විරෝධතා බිමට තම තමගේ පක්ෂ දේශපාලන කණ්ඩායම් එක් කිරීමෙන් සිදුවනුයේ ඔවුන් දේශපාලනමය අතින් තව දුරටත් බංකොලොත් වීම පමණි.
ලසන්ත වීරකුලසූරිය