ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතින් “පරණ ඇරියස් කවර් කර ගැනීම” – සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ ප්‍රශ්නය බොහෝ දුර ගොස් ඇති බව පෙනේ. ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි බලකායට අයත් නිලධාරියෙකුව සිටි සුරේෂ් සලේ, අවසානයේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ද ක්‍රියා කළ දීර්ඝ අත්දැකීම් හා පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨතම බුද්ධි නිලධාරියෙකි. බුද්ධි නිලධාරියෙකුට උචිත පරිදිම නිහඬ දිවියක් ගත කළ ඔහු, දීර්ඝ යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා විට මේජර් ජෙනරාල් ධුරය දක්වා උසස්වීම් ලැබ සිටියේ ය. ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක්ම එල්.ටී.ටී.ඊ.යත් සමග කළ බිහිසුණු යුද්ධයට මුහුණ දුන් අන්දම ගැන සිය අත්දැකීම් හෙළි කරන ග්‍රන්ථ රචනා කරමින්, රට වෙනුවෙන් තමන් දැක්වූ දායකත්වය හෙළි කර ඇත. එසේ වුව ද බුද්ධි නිලධාරියෙකුව සිටි මේජර් ජෙනරාල් සලේට, තමන් රට වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැක. ඒ, ඔහු දැක්වූ දායකත්වයට අදාළ බොහෝ තොරතුරු රාජ්‍ය රහස් ගණයට අයත් වන නිසා ය. එසේ නිහඬව විශ්‍රාම ගොස් පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඔහුව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයක් අනුව රැඳවුම් භාරයට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන දැන් මාස තුනකට අධික ය. මුලින් මාස තුනකට රැඳවුම් නියෝග ලැබූ ඔහු, මේ වන විට තවත් මාස තුනකින් එම රැඳවුම් නියෝගය දීර්ඝ කිරීමට ලක්ව ඇත. මේ පිළිබඳව වූ ගැටලුව බරපතල තත්ත්වයට පත් වුණේ, රැඳවුම් නියෝග පිට සිටියදී තමාට අමානුෂික ලෙස සලකන බව ප්‍රකාශ කරමින් රැඳවුම් ස්ථානය වෙනස් කරන ලෙසටත්, තමා රඳවනු ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යටතේ නොවන නිලධාරීන් මගින් විමර්ශනය කරවන ලෙසත් ඉල්ලුම් කරමින් සුරේෂ් සලේ ආරම්භ කළ මාරාන්තික උපවාසය නිසා ය.

සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ ඇත්තේ 2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික පල්ලි කිහිපයක හා කොළඹ තරු පන්තියේ හෝටල් කිහිපයක සිදු වූ ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයන් පිළිබඳව අලුතින් සිදු කරන විමර්ශනයන්ට අදාළව යැයි කියැවේ. පාස්කු ප්‍රහාරය තරම් මේ රටේ විමර්ශනයන්ට භාජනය වූ අපරාධයක් අප දන්නා කාලෙක සිදු නොවීය. පාස්කු ප්‍රහාරය පිළිබඳව සිදු කළ විමර්ශන මෙසේය:

  • පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් සිදු කළ විමර්ශනය.
  • විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව.
  • විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව.
  • විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජයන්ත ද අල්විස් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව.
  • ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් සිදු කළ විමර්ශනය.

ඉහත සියලුම විමර්ශන සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අපරාධ විමර්ශනයට අතිරේකව ය. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු කල්වේලා ඇතිව බුද්ධි අංශවලින් වාර්තා කර තිබුණු බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් එය නොසලකා හැර ඇති බවත් පැහැදිලිව දැනගන්නට ලැබුණේ ඉහත විමර්ශනවලිනි. රටේ විධායකයේ දුර්වල සහගත බව ජාතික ආරක්ෂාව කෙරෙහි තදින් බලපා ඇති බව මුළු රටටම පැහැදිලි වුණේ පාස්කු ප්‍රහාරයෙනි. පාස්කු ප්‍රහාරය වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරමින් සිටියේ වසර හතරක් තුළ ඊට පත් වූ හතරවන ලේකම්වරයා ය. ඒ වන විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයට අගමැතිවරයාට ආරාධනා කිරීම නවතා තිබුණි. රටේ පොලිස්පතිවරයාට ආරක්ෂක කවුන්සිලයට සහභාගි වීම ජනාධිපති විසින් තහනම් කර තිබුණි. මෙබඳු ව්‍යාකූල තත්ත්වයක් රාජ්‍ය පාලනයේ පවතිද්දී ජාතික ආරක්ෂාව දුර්වල වීම පුදුමයක් නොවේ. මහජන ආරක්ෂාව පිළිබඳ වගකීම් දැරූ අය ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම් කෙරෙහි නිසි අවධානය යොමු කළේ නැත.

දැනට ඉහත විමර්ශනයන් පාදක කරගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව එදා මෙදාතුර ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් නිකුත් කර ඒ පිළිබඳ නඩුවක් විභාග වෙමින් පවතී. විමර්ශන සියල්ලෙන්ම මේ ප්‍රහාරය අන්තවාදී ආගමික අදහස් දරන කල්ලියක් විසින් ඒ වන විට සිරියාවේ ක්‍රියාත්මකව පැවති අයි.එස්.අයි.එස්. (ISIS) නම් වූ ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධානයේ සහයට මෙරට කතෝලිකයින් ඉලක්ක කරමින් සිදු කළ ප්‍රහාරයක් බවට හඳුනාගෙන තිබුණි. මෙබඳු ස්වභාවයේ ප්‍රහාර වෙනත් රටවල ද අන්තවාදීන් විසින් ඒ වන විටත් සිදු කර තිබුණි. එහෙත් මේ සොයා ගැනීම් හා නීතිමය ක්‍රියාමාර්ගවලින් සෑහීමට පත් නොවූ කාදිනල් මැල්කම් රංජිත් ප්‍රමුඛ කතෝලික පූජක පිරිස්, ප්‍රහාරයේ යෙදුණු පිරිස් මෙහෙයවූ අය කවුදැයි සෙවීමේ විමර්ශන අවශ්‍ය බවට දිගින් දිගටම බලපෑම් කළෝය. ඔවුන් එය හැඳින්වූයේ පාස්කු ප්‍රහාරයේ “මහ මොළකරු” සෙවීම යනුවෙනි. “මහ මොළකරු” සොයාගෙන ඔහුට දඬුවම් කළොත් පමණක් වින්දිතයින්ට යුක්තිය ඉටු වනු ඇති බව ඔවුන්ගේ අදහස විය. ඒ අනුව ආණ්ඩුව, පාස්කු ප්‍රහාරය වළකා ගැනීමට නිසි පියවර නොගත්තේ යැයි ඉහත කොමිසමකින් නීති මගින් කටයුතු කිරීමට නිර්දේශ කළ, එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය දැරූ නිලධාරියා විශ්‍රාම ගොස් විවෘත දේශපාලනයේ යෙදී සිටීම පවා නොතකා, කොන්ත්‍රාත් පදනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලදී. ඉන්පසු ඔහුට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සෙවීමේ විමර්ශනය අලුතින් පටන් ගැනීමට උපදෙස් ද ලබා දුන්නේය. මෙම විමර්ශනය පාදක කරගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ වැඩසටහනකට මෙරටින් පලාගොස් ස්විට්සර්ලන්තයේ පුරවැසිකම අපේක්ෂාවෙන් සිටි අසාද් මවුලානා නැමැති අයෙකු කළ ප්‍රකාශයක් පාදක කරගෙන බව පෙනේ. ඔහු ඒ ප්‍රකාශයෙන් පැවසුවේ පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂව ජනාධිපති ධුරයට පත් කිරීමේ ඡන්ද විමසීම ජය ගැනීම සඳහා යුද හමුදා බුද්ධි අංශය සැලසුම් කළ කුමන්ත්‍රණයක් බව ය. ඒ අනුව මේ විමර්ශනයේ ඉලක්කය බවට පත් කරගෙන ඇත්තේ යුද හමුදා බුද්ධි අංශය බව පෙනේ. එහි කොටසක් ලෙස පාස්කු ප්‍රහාරය සිදු වන වකවානුවේ හෝ ඒ ආසන්නයේවත් රටේවත් නොසිටි, යුද හමුදා බුද්ධි අංශයේ සේවය කළ ජෙනරාල් සුරේෂ් සලේ රැඳවුම් භාරයට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේ ය. සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් භාරයට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයේදී ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට ප්‍රබල සාක්ෂි ලැබීමෙන් පසුව නොවන බව පැහැදිලි ය. එසේ නම් ඒ සාක්ෂි මත ඔහුව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු වේ. එසේ නොමැතිව දිගු කලක් රැඳවුම් භාරයේම තබාගෙන ඔහුව අසහනයට හා පීඩාවට පත් කරන්නේ ඔහුගෙන් තමන්ට අවශ්‍ය ප්‍රකාශයක් ලබා ගැනීමට ද යන සැකය පවතී. සලේගේ මාස තුනේ රැඳවුම් නියෝගය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමෙන් කියවෙන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැකකරුවෙකු ලෙස සිතා රැඳවුම් භාරයට ගත් අයෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මාස හයක්වත් අවශ්‍ය බව ය. ඇතැම් විට ඒ කාලයත් ප්‍රමාණවත් නොදීමට ඉඩ ඇත. මේ අන්දමින් දීර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රැඳවුම් නියෝග සහිතව රඳවා තබාගෙන, අවසානයේ කිසිදු නඩු පැවරීමකින් තොරව නිදහස් කළ නීතිඥ හිජාස් හිස්බුල්ලා, අසාත් සාලි වැන්නන්ට කළ අසාධාරණය සලේටත් අත්කර දෙමින් සිටිනවාද යන්න අද සාධාරණ මිනිසුන්ට ඇති පැනයයි.

මේ සියල්ල අතර සුරේෂ් සලේ උපවාසයක් කරමින් ආහාර හා ජලය පානය නතර කළේ රැඳවුම් භාරයේදී තමන්ට අමානුෂික ලෙස සලකන බව ප්‍රකාශ කරමිනි. ප්‍රධාන චෝදනාව වැසිකිළියක් අසල ඇති මීයන් ගැවසෙන අඩි හය හතර ප්‍රමාණයේ කූඩුවක සලේව රඳවා ඇති බවයි. මේ කූඩුවේ විදුලි බුබුල දිගටම දල්වා තිබීම නිසා නිදා ගැනීම අපහසු වීම, සිමෙන්ති පොළොව මත නිදා ගැනීමට සිදු වීම, ආහාර ලබා දෙන්නේ පත්තර කොළයකට වීම, ප්‍රසිද්ධියේ නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කිරීම ආදී අමානුෂික සැලකිලි සලේට කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කර ඇත. සලේව රඳවා තැබූ කූඩුවට නිසි වාතාශ්‍රය නොලැබෙන බව දැනටමත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිරීක්ෂණය කර ඇත.

මේ තත්ත්වය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිවරයා අපූරු පිළිතුරු ටිකක් දී ඇත. සලේ රඳවා සිටි කූඩුවට නිසි වාතාශ්‍රය නොලැබීම ගැන මාධ්‍යවේදින් විමසීමෙන් පසු ඔහු පැවසුවේ, සලේට වෙනම කූඩු හදා නැති බවත් මීට පෙර රැඳවුම් භාරයේ සිටි අය සිටි කූඩුවලම සලේවත් රැඳවූ බවත් ය. මීට පෙර කිසිවෙකුත් ඒ කූඩුවේ වාතාශ්‍රය ගැන පැමිණිලි කර නැති බවත්ය. නලින්ද ජයතිස්ස නොදන්නවා වුණාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිදු පොලිස් ස්ථානයක සැකකරුවන්ට දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට පහසුකම් තිබිය නොහැක. ඒ, රටේ නීතියෙන්ම බොහෝ කලකට පෙර සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු පොලිස් භාරයේ රඳවා ගත හැක්කේ උපරිම පැය 24ක් බවට නියම කර ඇති නිසා ය. ඒ නිසාම සියලු පොලිස් ස්ථානවලත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් සිරකූඩු සකසා ඇත්තේ සැකකරුවන් උපරිම පැය 24ක කාලයක් රඳවා ගැනීමට හැකි වන ලෙස ය. ඒ නිසා වරද ඇත්තේ පැය 24ක් පමණක් රඳවා තබන්නට හැදූ කූඩුවේ අවුරුදු ගණන් මිනිසුන් රඳවා ගැනීමේ ප්‍රතිපත්තියේ ය. රටේ සාමාන්‍ය නීතියෙන් අත්අඩංගුවට ගත් අයෙකු පැය 24ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු යැයි නියම කර ඇත්තේ, දිගු කාලයක් පොලිසිය භාරයේ තැබීමෙන් ඒ සැකකරුට අසාධාරණයක් සිදු නොවීම සඳහා ය. විමර්ශනයේදී අත්අඩංගුවට පත් තැනැත්තාට බලය යොදාගෙන හිංසා පීඩා කිරීම මගින් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති ඉඩ නැති කිරීමට ය. අත්අඩංගුවට පත් සැකකරුවන් විමර්ශන නිලධාරීන් භාරයේ දිගු වේලාවක් නොතැබීමත්, සැකකරුවන් සාමාන්‍ය සමාජයෙන් බැහැරව තබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අධිකරණ නියෝගයෙන් බන්ධනාගාර ගත කිරීමටත් අදාළ නීති පනවා ඇත්තේ මේ රට පාලනය කළ අධිරාජ්‍යවාදී පාලකයින් විසිනි. අධිරාජ්‍යවාදී පාලකයන්ව බොහෝ දෙනා හඳුන්වන්නේ රට සූරාකෑමට පැමිණි සතුරන් ලෙසට ය. මානව නිදහස ගරු කරනවා යැයි කියමින් ප්‍රජාතන්ත්‍රවාදීව මහජන ඡන්දයෙන් බලයට එන ආණ්ඩු, අධිරාජ්‍යවාදීන් හඳුන්වා දුන් සාමාන්‍ය නීතියේ පදනම පවා සුණුවිසුණු වී යන කෲර අමානුෂික නීති පැනවීමත්, අඛණ්ඩව ඒවා ක්‍රියාත්මක කරවමින් පුරවැසියන් සතු මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය කිරීමෙනුත් පෙන්වන්නේ ඔවුන් අධිරාජ්‍යවාදීන්ටත් වඩා භයානක බව ය.

මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තම රැඳවුම් භාරයේ හරිහැටි වාතාශ්‍රය නොලැබෙන කුටියක තබාගෙන තමන්ට අවශ්‍ය ප්‍රකාශය ලැබෙනතුරු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට විරෝධයක් නැත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යැයි යන මතවාදයේ කලින් සිටි වාමාංශික නැඹුරුවක් සහිත පිරිස්, කතෝලික පල්ලියේ ඇතැම් පූජකවරුන්, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් හා සහය දක්වන්නන්, ඇතැම් සමාජ මාධ්‍යකරුවන් හා යූටියුබ් (YouTube) නාලිකා පවත්වාගෙන යන කිහිපදෙනෙක් පමණි. එහි විශේෂත්වයක් ඇත්තේ ඇතැම් මුස්ලිම් දේශපාලකයින් පාස්කු ප්‍රහාරය ආගමික අන්තවාදයක් නිසා සිදු වූවක් නොව, කිසියම් දේශපාලන කුමන්ත්‍රණයක් නිසා සිදු වූවක් බවට වන මතයක් දැරීම ය. ඒ කිසිවෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුර කල් තබා ආරක්ෂක අංශවලට ලැබී තිබියදී, එය වළක්වා ගැනීමට කිසිවක් නොකළ පොලිසියේ වගකිවයුත්තන්ගේ වගවීම ප්‍රශ්න කරන්නේ නැත. නිවැරදි විමර්ශනයක් නම් පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරකයින්ට පහසුකම් සැලසූ අය, ඊට සහය දැක්වූවන්, පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැනගෙන එය වැළැක්වීමට කිසිවක් නොකළ බලධාරීන් ආදී සියල්ලන් ගැන සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් කළ යුතුය. එහෙත් දැන් සිදු වන්නේ පාස්කු ප්‍රහාරය නිසා වාසි සැලසුණේ කවුදැයි සොයමින්, තමන්ගේ “පරණ ඇරියස් කවර් කර ගැනීම”ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා රාජ්‍ය විමර්ශන හස්තය යොදා ගැනීමේ බාල උත්සාහයක් බව පැහැදිලි වේ.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර