කෙසෙල් කඳක් මැෂිමට දමා නිමි ඇඳුමක් එළියට ගැනීම නාමල් ඇමතිගේ දවල් හීනයක්ද?


“කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා” යනුවෙන් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න විසින් මෑතකදී කළ ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් මෙන්ම උපහාසයක් නිර්මාණය කර තිබේ. මෙය ඇසූ සැණින් බොහෝ දෙනෙකුට නිතැතින්ම සිහිපත් වූයේ මීට පෙර අදාළ අමාත්‍යවරයා විසින්ම ක්‍රියාත්මක කරන ලද මානව ජනාවාස හා ගොවි බිම් ආශ්‍රිත රිලවුන්.වඳුරන්,මොනරුන් හා දඬු ලේනුන් සංගණනයයි.ලොව ඇතැම් රට වලට ගැලපුණු එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලන විට ගිරයකින් ගොයම් කැපීමකට වෙර දැරීමක් බව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ මුල් පෙළේ පරිසර විද්‍යාඥයකු කී කතාව ද අප ගේ මතකයේ තිබේ.මෙම “රිළා සංගණනය” එදා සමාජය තුළ කොතරම් විහිළුවක් බවට පත්වූවාද යත්, ප්‍රායෝගික හෝ විද්‍යාත්මක පදනමක් නිසි ලෙස සන්නිවේදනය නොකර දේශපාලන වේදිකාවල කෙරෙන මෙවැනි ප්‍රකාශ දෙස මහජනතාව අද බලන්නේ දැඩි සැකයකින් සහ හාස්‍යයකිනි. කෙසෙල් කඳක් යන්ත්‍රයක එක් පසෙකින් ඇතුළු කළ වහාම, එය නූල් බවට පත්වී, සායම් පෙවී, බතික් මෝස්තරද වැටී සම්පූර්ණ නිමි ඇඳුමක් ලෙස අනිත් පසින් එළියට පැමිණෙන බවට මැවෙන චිත්‍රය, ළමා කාටූන් චිත්‍රපටයක දර්ශනයක් මිස කිසිසේත්ම තාක්ෂණික යථාර්ථයක් නොවන නිසා මෙවරද සමාජයේ උපහාසය අමාත්‍යවරයා වෙත එල්ල වීම අරුමයක් නොවේ.

කෙසෙල් කෙන්දෙන් නිමැවූ කමිසයක්
කෙසෙල් කෙන්දෙන් නිමැවූ කමිසයක්

දේශපාලනඥයාගේ සරල වදන්වලින් ගිලිහී ගිය, එහෙත් සැබැවින්ම දැඩි විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමක් ඇති කෙසෙල් කඳන් ආශ්‍රිත රෙදිපිළි කර්මාන්තය යනු ලෝකයට අලුත් මැජික් එකක් නොවේ. ප්‍රායෝගික ලෝකය තුළ කෙසෙල් කඳකින් නිමි ඇඳුමක් නිර්මාණය වීම යනු අමාත්‍යවරයා පවසන ආකාරයේ තනි යන්ත්‍රයකින් ඇසිපිය හෙළන සැණින් සිදුවන ඉන්ද්‍රජාලයක් නොව, ඉතා වෙහෙසකර, අදියර කිහිපයකින් යුත්, ශ්‍රමය සහ නවීන තාක්ෂණය මුසු වූ දීර්ඝ ක්‍රියාවලියකි.

කෙසේ වෙතත්, දේශපාලනඥයාගේ සරල වදන්වලින් ගිලිහී ගිය, එහෙත් සැබැවින්ම දැඩි විද්‍යාත්මක සහ තාක්ෂණික පදනමක් ඇති කෙසෙල් කඳන් ආශ්‍රිත රෙදිපිළි කර්මාන්තය යනු ලෝකයට අලුත් මැජික් එකක් නොවේ. ප්‍රායෝගික ලෝකය තුළ කෙසෙල් කඳකින් නිමි ඇඳුමක් නිර්මාණය වීම යනු අමාත්‍යවරයා පවසන ආකාරයේ තනි යන්ත්‍රයකින් ඇසිපිය හෙළන සැණින් සිදුවන ඉන්ද්‍රජාලයක් නොව, ඉතා වෙහෙසකර, අදියර කිහිපයකින් යුත්, ශ්‍රමය සහ නවීන තාක්ෂණය මුසු වූ දීර්ඝ ක්‍රියාවලියකි. සැබෑ ලෝකයේදී සිදුවන්නේ පළමුවෙන්ම කෙසෙල් කඳන් යන්ත්‍රානුසාරයෙන් තලා, එහි ඇති අතිමහත් ජල ප්‍රමාණය සහ රොඩු ඉවත් කර ශක්තිමත් කෙසෙල් කෙඳි නිස්සාරණය කරගැනීමයි. ඉන්පසුව එම කෙඳි පිරිසිදු කර, වියළා, පීරා නූල් බවට පත් කරන අතර, එම නූල් නවීන පේෂකර්ම යන්ත්‍ර හරහා රෙදි බවට වියනු ලබයි. අවසානයේදී එම රෙදි සායම් කර, බතික් හෝ වෙනත් ක්‍රමවලින් හැඩගන්වා, මිනිස් ශ්‍රමය යොදාගෙන මැහුම්කරුවන් අතින් කපා මසා නිමි ඇඳුමක් බවට පත්කරනු ලබයි. දේශපාලන වේදිකාවේදී මේ සම්පූර්ණ සංකීර්ණ ක්‍රියාවලියම තනි යන්ත්‍රයකට ලඝු කර දැක්වීම හාස්‍යජනක වුවත්, හරිත කර්මාන්තයක් ලෙස මෙහි ඇති සැබෑ වටිනාකම කිසිසේත්ම බැහැර කළ නොහැකිය.

අමාත්‍ය නාමල් කරුණාරත්න
අමාත්‍ය නාමල් කරුණාරත්න
ඉන්දියාවේ භාවිත වන කුඩා පරිමාණ කෙසෙල් කෙඳි නිස්සාරණ යන්ත්‍රයක්
ඉන්දියාවේ භාවිත වන කුඩා පරිමාණ කෙසෙල් කෙඳි නිස්සාරණ යන්ත්‍රයක්

අද වන විට පිලිපීනය, ඉන්දියාව, තායිවානය සහ චීනය වැනි රටවල් මෙම කෙසෙල් කෙඳි ආශ්‍රිත පේෂකර්මාන්තය ඉතා සාර්ථකව මෙන්ම ඉහළ ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යනු ලබයි. විශේෂයෙන්ම බටහිර සහ යුරෝපීය වෙළඳපොළ තුළ මෙවැනි පරිසර හිතකාමී ශාකමය කෙඳිවලින් නිපදවන ඇඳුම් සඳහා ඇත්තේ ඉතා ඉහළ, ක්‍රමිකව වර්ධනය වන ඉල්ලුමකි. වැඩි වැඩියෙන් පරිසර දූෂණය පිළිබඳව දැනුවත් වීමත් සමඟ, පොලියෙස්ටර් හෝ නයිලෝන් වැනි ඛනිජ තෙල් ආශ්‍රිතව නිපදවන කෘත්‍රිම රෙදිපිළි භාවිතයෙන් ඈත් වීමට පාරිභෝගිකයෝ උත්සාහ කරති. සාමාන්‍ය කපු වගාවේදී පවා විශාල ජල ප්‍රමාණයක් සහ රසායනික ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත්, කෙසෙල් කෙඳි යනු වගා අස්වැන්න නෙළාගත් පසු ඉවතලන කෘෂිකාර්මික අපද්‍රව්‍යයකින් ලබාගන්නා දෙයක් බැවින් එහි පරිසර හිතකාමී අගය ඉතා ඉහළය.

රෙදිපිළිවල ගුණාත්මකභාවය සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳව සැලකීමේදී කෙසෙල් කෙඳිවලින් වියන ලද රෙදි, වෙනත් ජනප්‍රිය රෙදි වර්ග සමඟ කරට කර තරග කළ හැකි සුවිශේෂී ලක්ෂණවලින් සමන්විතය. වෙළඳපොළේ බහුලව දක්නට ලැබෙන රේයෝන් (Rayon), ට්වීල් කපු (Twill Cotton) හෝ මසරාටි (Masarati) වැනි රෙදි වර්ග මිලදී ගැනීමේදී මෙන්ම, විශේෂයෙන්ම එදිනෙදා කාර්යාල රාජකාරි වැනි දීර්ඝ වේලාවක් එකම ඉරියව්වක අසුන්ගෙන සිටීමට සිදුවන අවස්ථාවලදී අප ඒවායේ කල්පැවැත්ම, සිරුරට දැනෙන සුවපහසුව සහ මතුපිට නිමාව ගැන දැඩි සැලකිල්ලක් දක්වන්නෙමු. කෙසෙල් කෙඳිවලින් වියන ලද රෙදි, මේ බොහෝ අර්ධ කෘත්‍රිම රෙදිවලට වඩා බෙහෙවින් සුවපහසු මෙන්ම ඉතා ඉහළ කල්පැවැත්මකින් යුක්තය. මෙය කපු රෙදි තරමටම වාතාශ්‍රය හොඳින් ගමන් කිරීමට ඉඩ සලසන, ශරීරයට සිසිලසක් ගෙන දෙන රෙදි වර්ගයකි. එපමණක් නොව, කෙසෙල් කෙඳිවල ස්වාභාවිකවම පවතින සියුම් දිලිසෙන ස්වභාවය නිසා, එය පෙනුමෙන් අලංකාර සේද (Silk) රෙදිවලට බොහෝ දුරට සමාන වේ. කපු රෙදිවල සුවපහසුවත්, සේද රෙදිවල සුඛෝපභෝගී පෙනුමත් එකට කැටිවූ, එහෙත් ඒ දෙකටම වඩා පරිසරයට හිතකාමී විකල්පයක් වීම නිසා ලෝක වෙළඳපොළේ ඉහළම විලාසිතා සන්නාමයන් පවා කෙසෙල් කෙඳි රෙදි සඳහා ඉහළ මිලක් ගෙවීමට සූදානම්ය.

කෙසෙල් ශාකයෙන් නිස්සාරණය කරන ලද කෙඳි
කෙසෙල් ශාකයෙන් නිස්සාරණය කරන ලද කෙඳි

එසේනම්, මෙවැනි අගනා කර්මාන්තයක් අප රට තුළ සාර්ථකව ප්‍රායෝගික තලයකට ගෙන ආ හැකිද යන්න අප විමසා බැලිය යුතුය. ශ්‍රී ලංකාව යනු, විශේෂයෙන්ම ඇඹිලිපිටිය, රත්නපුර, මොනරාගල සහ හම්බන්තොට ආදී ප්‍රදේශවල මහා පරිමාණයෙන් කෙසෙල් වගා කරන රටකි. කෙසෙල් වගාව යනු වෙනත් බෝග මෙන් නොව වසර පුරාම අඛණ්ඩව අස්වැන්න ලබාදෙන වගාවක් බැවින්, අස්වැන්න නෙළූ පසු ඉවත් කළ යුතුම වන කෙසෙල් කඳන් දිනපතා ටොන් ගණනින් වගාබිම්වල අපතේ යයි. එබැවින් කර්මාන්තශාලාවක් අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් අප රටේ කිසිසේත්ම ඇති නොවේ. ගොවියාටද මෙය තමන්ට හිසරදයක් වූ අපද්‍රව්‍යයකින් අමතර ආදායමක් උපයාගත හැකි කදිම අවස්ථාවකි.

එහෙත් මෙහි ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ කෙසෙල් කඳක් මැෂිමට දමා නිමි ඇඳුමක් එළියට ගැනීමේ නාමල් ඇමතිගේ දවල් හීනයේ නොමැති, ප්‍රායෝගික ලෝකයේ පවතින ප්‍රවාහන සහ සැපයුම් ජාලයේ අර්බුදයයි. කෙසෙල් කඳක බරින් සියයට අනූවකටත් වඩා ඇත්තේ ජලයයි. මෙවැනි අතිවිශාල ජල කඳක් සහ බරක් සහිත කෙසෙල් කඳන්, වෙනත් දුර බැහැර පළාත්වල සිට ඇඹිලිපිටියට ප්‍රවාහනය කිරීම යනු ආර්ථික වශයෙන් කිසිසේත්ම ලාභදායී හෝ ප්‍රායෝගික ක්‍රියාවක් නොවේ. ප්‍රවාහනය සඳහා වැයවන ඉන්ධන සහ අනෙකුත් පිරිවැය සලකා බලන කල, නිමි ඇඳුමෙන් ලැබෙන ලාභය ප්‍රවාහන වියදමටම යට වනු ඇත. මෙම ගැටලුව ජයගැනීමට නම්, මුළු කෙසෙල් කඳම ලොරිවල පටවාගෙන ඒම වෙනුවට, කෙසෙල් වගා කරන විවිධ පළාත්වල කුඩා පරිමාණයේ යන්ත්‍ර සවි කර, වගාබිමේදීම කඳන් තලා ජලය ඉවත් කර කෙඳි පමණක් වෙන් කරගැනීමේ විමධ්‍යගත ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය. ලෝකයේ අනෙකුත් රටවල කෙසෙල් කෙඳි නිස්සාරණය ගෘහාශ්‍රිත කර්මාන්තයක් ලෙස සිදු කෙරෙන්නේ මේ නිසාය. එවිට ඉතා සැහැල්ලු කෙසෙල් කෙඳි පමණක් ප්‍රධාන කර්මාන්තශාලාවට ප්‍රවාහනය කළ හැකි අතර, කඳෙන් ඉවත්වන ජලය සහ රොඩු ඒ ප්‍රදේශයේම කාබනික පොහොර හෝ ජීව වායු නිෂ්පාදනය සඳහා යොදාගැනීමෙන් කර්මාන්තයේ ලාභදායීත්වය තවදුරටත් ඉහළ නංවාගත හැකිය.

තායිවානයේ කෙසෙල් කෙඳි නිස්සාරණය කරන යන්ත්‍රයක්
තායිවානයේ කෙසෙල් කෙඳි නිස්සාරණය කරන යන්ත්‍රයක්

මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තවත් ඉතා වැදගත් කරුණක් වන්නේ, මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජයේ තාක්ෂණික සහාය ලැබෙන බව පවසනු ලැබීමය. චීනය යනු දැනටමත් ගෝලීය පේෂකර්මාන්තයේ දැවැන්තයෙකු මෙන්ම, කෙසෙල් කෙඳි වැනි හරිත විකල්පයන් වාණිජ මට්ටමින් අතිසාර්ථකව සිදු කරන ප්‍රමුඛතම රටකි. එබැවින් මෙම ව්‍යාපෘතියට අවශ්‍ය නවීන යන්ත්‍රසූත්‍ර, කෙඳි වෙන් කිරීමේ සහ විවීමේ සියුම් තාක්ෂණික ශිල්පක්‍රම මෙන්ම පුහුණුව ද ඔවුන්ගෙන් අපට ඍජුවම ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ මෙවැනි නව්‍ය ව්‍යාපෘති බොහෝවිට අතරමග ඇණහිටින්නේ දේශීය තාක්ෂණික දැනුමේ සහ නිසි යන්ත්‍රෝපකරණවල පවතින අඩුපාඩු නිසාවෙනි. එහෙත් චීනය වැනි මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකුගේ තාක්ෂණික සහයෝගය අඛණ්ඩව ලැබෙන පසුබිමක් නිර්මාණය වී ඇති බැවින්, හුදෙක් දේශපාලන කතා මත පමණක් රඳා නොපැවතී මෙය නිසි පරිදි සහ විධිමත්ව කළමනාකරණය කරමින් ක්‍රියාත්මක කළහොත්, තාක්ෂණික ගැටලු මඟහරවාගෙන මෙම ව්‍යාපෘතිය ප්‍රායෝගිකව සාර්ථක කරගැනීමට ඉතා වැඩි ඉඩකඩක් නිර්මාණය වී තිබේ.

දේශපාලන වේදිකාවලදී කෙසෙල් කඳන් ව්‍යාපෘතිය ඉන්ද්‍රජාලික යන්ත්‍රයක් ලෙස පෙන්වා දීමට යාමෙන් එය සමාජයේ සිනහවට ලක්වුවද, එහි විද්‍යාත්මක සහ ආර්ථික යථාර්ථය කිසිසේත්ම විහිළුවක් නොවේ. ලෝකයම හරිත ආර්ථිකයක් දෙසට ගමන් කරන මෙවන් යුගයක, ඉවතලන සම්පතක් ලෝක වෙළඳපොළේ ඉහළම මිලක් හිමිවන අපනයනයක් බවට පත්කළ හැකි මෙවැනි ව්‍යාපෘති රටකට අත්‍යවශ්‍ය වේ.

කෙසෙල් ශාකයෙන් නිපදවන කෙඳි විලාසිතා ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබයි.
කෙසෙල් ශාකයෙන් නිපදවන කෙඳි විලාසිතා ඇඟලුම් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරනු ලබයි

දේශපාලන වේදිකාවලදී කෙසෙල් කඳන් ව්‍යාපෘතිය ඉන්ද්‍රජාලික යන්ත්‍රයක් ලෙස පෙන්වා දීමට යාමෙන් එය සමාජයේ සිනහවට ලක්වුවද, එහි විද්‍යාත්මක සහ ආර්ථික යථාර්ථය කිසිසේත්ම විහිළුවක් නොවේ. ලෝකයම හරිත ආර්ථිකයක් දෙසට ගමන් කරන මෙවන් යුගයක, ඉවතලන සම්පතක් ලෝක වෙළඳපොළේ ඉහළම මිලක් හිමිවන අපනයනයක් බවට පත්කළ හැකි මෙවැනි ව්‍යාපෘති රටකට අත්‍යවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ අතාර්කික දේශපාලන ප්‍රකාශ හරහා ව්‍යාපෘති හෑල්ලුවට ලක් නොකර, චීනයෙන් ලැබෙන තාක්ෂණික අනුග්‍රහයද නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින්, විධිමත් සැපයුම් දාමයක් සහ පෞද්ගලික අංශයේ වෘත්තීය කළමනාකරණය යටතේ මෙය ප්‍රායෝගිකව මහපොළොව මත ක්‍රියාත්මක කරවීමය . එසේ නිසි සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කළහොත්, ඉවතලන කෙසෙල් කඳන් යනු අනාගතයේදී අප රටේ ආර්ථිකය ශක්තිමත් කරන වටිනා රන් කෙඳි බවට පත්වනු නිසැකය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර