ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැගීම ගැන ලෝක බැංකුවෙන් ආණ්ඩුවට විශේෂ ඇගයීමක් හිමිවී තිබේ.ශ්‍රී ලංකාවේ ආර්ථික ගමනේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය ආර්ථික අර්බුදයට පෙර පැවති මට්ටමට යළි ලගා වී ඇති බව ලෝක බැංකුව සිය 2026 ඔක්තෝම්බර් වාර්තාවෙන් පෙන්වා දී තිබේ.
2024 වසරේ සැප්තැම්බර් මාසයේදී ජාතික ජනබලවේග ආණ්ඩුව භාරගත් ශ්‍රී ලංකාව වසර දෙකකට ආසන්න කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වය කරා ළගා වෙමින් සුවිශාල ප්‍රගතියක් අත්කර ගෙන තිබේ.ලෝක බැංකුව නිකුත් කර ඇති වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඛණ්ඩව කාර්තු 12ක් පුරා වර්ධනය වී තිබේ.
2026 වසරේ පළමු අර්ධයේ ආර්ථික වර්ධනය සියයට හතරයි දශම හතක්.එමෙන්ම 2026 වසර සදහා සියයට 4.4ක ආර්ථික වර්ධනයක් පුරෝකතනය කර තිබේ.රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම විනිමය අනුපාත ප්‍රතිසංස්කරණය ණය ප්‍රතිව්‍යූහගතකරණය සහ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙම ප්‍රගතියට දායකවී තිබේ.ඒ අනුව ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබදව ලෝක බැංකුව ධනාත්මක ඇගයීමක් සිදුකර තිබේ.
2024 වසර අවසානයේදී ඇමෙරිකා ඩොලර් බිලියන 6.12ක් වූ නිල විදේශ සංචිත 2026 අගෝස්තු අවසානය වන විට ඩොලර් බිලියන 6.9 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් ප්‍රේෂණ ආර්ථිකය
ශක්තිමත් කර ඇති අතර 2026 ජනවාරි සිට අගොස්තු දක්වා එම ආදායම ඩොලර් බිලියන 6.1ක්. එය 2025 මෙම කාලයට සාපේක්ෂව සියයට 19.8ක වර්ධනයක්.2026 ජනවාරි සිට අගෝස්තු දක්වා ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන ආදායම ඩොලර් බිලියන 12.01ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය වසරට සැපේක්ෂව එය සියයට 4.26ක වර්ධනයක්.
2026 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා සංචාරක පැමිණීම මිලියන 1.69ක් දක්වා ඉහළ ගොස් තිබේ.එය 2024 ට සාපේක්ෂව සියයට 14කට ආසන්න වර්ධනයක්.2026 ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ ලෝක බැංකුවේ නව ආදායම් වර්ගීකරණය යටතේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය වීමද වැදගත් සන්ධිස්ථානයක්.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක බැංකුවේ මෙරට නිත්‍ය නියෝජිතවරිය සදහන් කළේ ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස නැවත වර්ගීකරණය වීම රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට ආණ්ඩුව කළ කැපවීමට හොද සාක්ෂියක් බවයි.
වසර දෙකකට ආසන්න කාලයක් තුළ අර්බුදයෙන් ගොඩ ඒමේ ගමනේ සුවිසල් ප්‍රගතියක් ශ්‍රී ලංකාව අත්කරගෙන තිබේ.ලෝක බැංකුවේ නවතම ඇගයීමෙන්ද එම ප්‍රගතිය යළි තහවුරු කර ඇති අතර එම ප්‍රගතිය ජනතාවට දැනෙන තිරසර ආර්ථික පරිවර්ථනයක් බවට පත් කිරීම ආණ්ඩුව සතු ඊළග අභියෝගයයි.