
පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ගේ එකම පශ්චාත් වෘත්තීය ජීවන ආරක්ෂණ යාන්ත්‍රණය වන සේවක අර්ථ සාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල (ETF) සම්බන්ධයෙන් නවතම සහ සුවිශේෂීම කැබිනට් තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. එනම් මෙම අරමුදල් දෙකම එකම පාලන ව්‍යුහයක් යටතට පත් කිරීම පිළිබඳවයි. මෙහිදී එක්වරම අපගේ සිහියට නැංවෙනුයේ එහි නිර්මාතෘවරයා වන, ‘සඳට පොලු ගසන්නකු’ ලෙස දේශපාලනික සරදම් හා උපහාසවලට ලක් වූ තුම්පනේ ගැමියකු වූ ටිකිරි බණ්ඩාර ඉලංගරත්න හෙවත් ටී.බී. ඉලංගරත්නයන් ය.
ඔහුගේ දේශපාලන දිවියේ සුවිශේෂීම ලක්ෂණය වූයේ, කෙටිකාලීන ජනප්‍රියත්වය වෙනුවට දිගුකාලීන ජාතික ප්රතිලාභ ඉලක්ක කරගත් ප්‍රතිපත්ති හඳුන්වාදීමයි. ඔහු දියත් කළ සමාජ ආරක්ෂණ විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස 1958 අංක 15 දරන පනතින් සේවක අර්ථසාධක අරමුදල (EPF) ස්ථාපිත කෙරුණි. එය මේ දක්වාම රුපියල් ට්‍රිලියන 4 ඉක්මවමින් පෞද්ගලික අංශයේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රමිකයන්ගේ විශ්‍රාම දිවියේ සුරක්ෂිතතාව තහවුරු කරන විප්ලවීය යුග මෙහෙවරකි. නමුත් අද වන විට එම යුග පුරුෂ නාමය නූතන සමාජය හමුවේ පණපිටින් වැළලී ඇති බවක් දක්නට තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ, තුම්පනේට අයත් හතරලියැද්දේ වැලිගොඩපොළ උපත ලත් ඉලංගරත්නයන්, රජයේ ලිපිකරු තනතුරක සීමිත රාමුව තුළ කොටු වී සිට, 1947 දී එම තනතුරින් ඉල්ලා අස්වී සක්‍රීය දේශපාලනයට පිවිසීමෙන් පසුව, ‘ළඟාවිය නොහැකි දේට වෙර දරනවා’ යන අරුත දෙන ‘සඳට පොලු ගැසීම’ නම් ජනවහරේ අරුත ප්‍රායෝගිකව අභියෝගයට ලක් කළ ජාතික නායකයෙකු බවට පත් විය. 1947 පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහනුවර ආසනය ජයග්‍රහණය කරමින් දේශපාලනයට පිවිස, 1948 මැයි 18 දින මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ඉලංගරත්නයන්, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක රජයන්හි ප්‍රබල අමාත්‍ය ධුර රැසක් හෙබවීය. ඒ අනුව 1956–1959 කාලයේ කම්කරු හා නිවාස අමාත්‍යවරයා ලෙස ද, 1959–1960 කාලයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද, 1960–1963 සහ 1970–1977 කාලසීමාවන්හි වෙළෙඳ, වාණිජ, ආහාර හා නාවික අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය. එමෙන්ම 1963–1965 කාලයේ මුදල් අමාත්‍ය ධුරය දැරූ ඔහු, 1974 වසරේදී කෙටි කාලයක් වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස ද වගකීම් ඉටු කළේය. දශක හතරකට ආසන්න කාලයක් රටට සේවය කිරීමෙන් අනතුරුව, 1986 අප්‍රේල් 12 දින ඔහු ගෞරවාන්විත ලෙසින්ම සක්‍රීය දේශපාලනයෙන් සමුගැනීම ද විශේෂත්වයකි.
කම්කරු අමාත්‍යවරයාව සිටියදී මැයි 01 දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම ද ඉලංගරත්නයන්ගේ තවත් ඓතිහාසික තීරණයකි. එමෙන්ම ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ 1961 දී විවෘත කළ මහජන බැංකුව පිහිටුවීමට ඔහු ගත් දේශපාලන තීන්දු තීරණ අද වන විට ජාතික ආර්ථිකයේ ප්‍රධාන කුළුණු බවට පත්ව ඇත. ආර්ථික ස්වෛරීත්වයේ පුරෝගාමියෙකු වූ ඔහු, 1970–1977 කාලයේ ආහාර අමාත්‍යවරයා ලෙස ක්‍රියාත්මක කළ සහල් සලාක ක්‍රමය සහ පොහොර සහනාධාරය හරහා ස්වයංපෝෂිත ග්‍රාමීය ආර්ථිකයකට අඩිතාලම දැමීය. 1992 මැයි 21 දින අභාවප්‍රාප්ත වන විට, මෙම තුම්පනේ ගැමියා රටට දායාද කළේ ආයතනික ව්‍යුහයන් පමණක් නොව, සමාජවාදය පදනම් කරගත් සුබසාධන රාජ්‍ය සංකල්පයේ ප්‍රායෝගික ආදර්ශයකි.

ටී.බී. ඉලංගරත්නයන්ගේ දේශපාලන දිවිය ‘සඳට පොලු ගැසීම’ නම් ජනවහර සමඟ ඍජුවම ගැටෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී ය. ඒ, ඔහු කළ සේවක අර්ථ සාධක අරමුදල් පනත් කෙටුම්පත පිළිබඳ ප්‍රකාශයකට, බණ්ඩාරනායක රජයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය පදවිය හෙබවූ, සිංහල ජාතිය සහ බුදු සසුන කෙරෙහි අතිශය ප්‍රසාදයක් පළ කිරීම නිසා ‘සිංහල මරික්කාර්’ ලෙස හැඳින්වුණු කසීලා අබ්දුල් සමද් හෙවත් සී.ඒ.එස්. මරික්කාර් එවර කියා සිටියේ, “ඕක කරන්න පුළුවන් නම් අන්තිම හොඳ දෙයක්. හැබැයි ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. නමුත් මම හිතනවා තමුන්නාන්සේ ඕක අතහරින එකක් නෑ කියලා. මොකද? තමුන්නාන්සේලා ඉතින් හඳටත් පොලු ගහපු මිනිස්සුනේ” යනුවෙනි. කන්ද උඩරට නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි සී.ඒ.එස්. මරික්කාර්ගේ ඒ කතාව අහම්බයක් නොවේ; ඒ, ටී.බී. ඉලංගරත්නයන්ගේ නිජබිම වූ මහනුවර තුම්පනේ ප්‍රදේශය, “සඳට ගල් ගැසූ හෝ පොලු ගැසූ ගැමියන්ගේ” ජනප්රවාදයට ඍජුවම සම්බන්ධ නිසා ය. අතිශය ප්‍රකට එම ජනප්රවාදයට අනුව, පුන් පෝදාට සඳ කේජු පිඬක් සේ දිස්වීම නිසා, ගොරකා පොලුවලින් ගසා එය බිම හෙළා කෑමට තැත් කළ තුම්පනේ ගැමියන් පිරිසක්, වලාකුළකින් සඳ වැසී යාම ‘කඩා වැටීමක්’ ලෙස වරදවා වටහා ගනිති. අඳුරේ අතපත ගාන විට හමු වූ සතෙකුගේ වසුරු මුවෙහි ලාගෙන “මේවා හරිම ඇඹුල් නේ” යැයි ඔවුහු දුක් වෙති. පසුව ඔවුන් එම ඇඹුල් රසයට හේතුව සඳට ගැසීමට ගොරකා පොල්ලක් යොදා ගැනීම විය හැකි යැයි සිතා සැනසුණු බව ද කියනු ලැබේ. නමුත් එබඳු සමාජමය හංවඩුවක් වැදුණු ගම්වරයක ඉපිද ජාතිය හමුවේ ප්‍රදීපස්තම්භයක් වූ, තුම්පනේ සාමාන්‍ය පවුලක උපන් ටී.බී. ඉලංගරත්නයන්ගේ දේශපාලන ශක්තිය අභිබවා, සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට ඥාති සම්බන්ධයක් ද සහිත දක්ෂිණාංශික දේශපාලන අදහස් දරන ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන්ගේ දේශපාලන ප්රතාපය 1970-1977 සමගි පෙරමුණු රජයේ අවසන් කාලයේ; එනම් 1975 වසරේ ඉහළ නැංවුණු අතර, ඔහු ද තුම්පනේ මෙන්ම මෝඩ ගැමියන් වෙසෙන බවට අනිසි සමාජමය අවලාද ලත් දොම්පෙ ප්‍රදේශයේ මල්වානේ ප්‍රභූ පවුලක සාමාජිකයෙක් විය. එය එවක විරුද්ධ පක්ෂ දේශපාලනඥයන්ගේ උපහාසයට ලක් වූයේ “තුම්පනයා පස්සට ගිහින් දොම්පයා ඉස්සරහට ආවා” යනුවෙනි. නමුත් ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන්ගේ ධනවාදී දේශපාලන භූමිකාව ටී.බී. ඉලංගරත්නයන්ගේ සමාජවාදී දේශපාලන භූමිකාව මෙන් ජනහිතකාමී නොවූ බව බොහොමයකගේ මතය විය.

ගවේෂණාත්මක මාධ්‍යවේදී තිලක් සේනාසිංහයන් පෙන්වා දෙන ආකාරයට, “හඳට පොලු ගැසූ මිනිසුන්” පිළිබඳ උපහාසාත්මක ජනකතා තේමාව ශ්‍රී ලංකාවේ ජනශ්රැතිය තුළ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. එකම මූලික අදහසක් වටා ගොඩනැඟුණු, එහෙත් ප්‍රාදේශීය අනන්‍යතාවන්ගෙන් යුත් මෙම කතාන්දර දිවයිනේ විවිධ පළාත්වල පිහිටි ගම්මාන කිහිපයක් හා බැඳී පවතී. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගමට අයත් ඕවිටිගල මෙම කතාවට බෙහෙවින් ප්‍රසිද්ධ ගම්මානයකි. එහි ජනප්රවාදයට අනුව එක් රාත්‍රියක ගැමියන් පිරිසක් වෙලක් මැද පිහිටි ළිඳක් අසලින් ගමන් කරද්දී, ළිඳ පතුලේ හඳ බැබළෙමින් තිබෙනු දැක ඇත. ඉන් සඳ ළිඳට වැටී ඇතැයි සිතූ ඔවුහු කෙඳි ලණුවක කොක්කක් බැඳ, සඳ ගොඩට ගැනීමට උත්සාහ කළහ. එලෙස අදිද්දී කොක්ක ගලක වැදී ලණුව කැඩී යාමෙන් සියල්ලෝම මුණින් අතට වැටුණහ. එසේ වැටී අහස බැලූ විට හඳ තවමත් අහසේ තිබෙනු දැක, තමන් විසිවූ පහරට හඳ නැවත අහසටම විසිවී ගිය බව ඔවුහු විශ්වාස කළහ. තවත් මතයකට අනුව වලාකුළු අතුරින් එබී බලමින් සඳ තමන්ට සමච්චල් කරනවා යැයි සිතා ඕවිටිගල වැසියන් එයට ගල් ගසා ඇත. තුන් පැත්තකින් කඳුවලින් වටවී ඇති සබරගමු පළාතේ පල්ලෙබැද්ද ප්‍රදේශය ද මෙම කතාවට පසුබිම් වී ඇත්තේ එහි භූගෝලීය පිහිටීම නිසාය. ගම වටා ඇති කඳු වළල්ලට ඉහළින් පායන හඳ, කන්ද මුදුනේ ගසක රැඳී ඇති බව සිතූ ගැමියන්, එය බිමට බෑමේ අරමුණින් ගල් මුගුරුවලින් පහර දී ඇත. මීට අමතරව බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල, බටගම පදනම්ව ද මෙවැනිම ජනප්‍රවාද දාමයක් ව්‍යාප්තව පවතින බව ද ඔහු අනාවරණය කරයි.
තිලක් සේනාසිංහයන් වැඩිදුරටත් දක්වන පරිදි, “හඳට පොලු ගැසූ මිනිසුන්” ලෙස දකුණු පළාතේ වඩාත්ම ප්‍රසිද්ධිය උසුලන්නේ මාතර හක්මනට අයත් කොන්ගල ගම්මානයේ වැසියන් සහ මොරවක් කෝරළයේ හිනිදුම්පත්තුවේ ගැමියන් ය. කොන්ගල ජනප්රවාදයට අනුව, රාත්‍රී කාලයේ කුඹුරු රැකීමට ආලෝකය අවශ්‍ය වූ ගැමියන්, අහසේ පායන පුරසඳ තම ගමට පමණක් අයිති කර ගැනීමේ අදහසින් දිගු උණ ලී එකට ගැට ගසා කෙක්කක් තනා, සඳට පොලු ගසා බිම හෙළීමට තැත් කළහ. මෙම සිදුවීම ඇසුරෙන් “කොන්ගල මිනිස්සු හඳට පොලු ගැහුවා වගේ” යන ප්‍රසිද්ධ පිරුළ අදටත් දකුණේ භාවිත වේ. එසේම මොරවක හා හිනිදුම්පත්තුවේ කඳුකර ගම්මාන ආශ්‍රිතව පවතින කතාවලට අනුව, අහසේ පායන මනහර හඳ රජුට තෑගි කර තානාන්තර ලබා ගැනීමේ අදහසින් එහි ගැමියන් දිගු ලීවලින් සඳට ඇනීමට වෙර දරා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස “මොරවක මිනිස්සු හඳ ඇල්ලුවා වගේ” යන උපහාසාත්මක කියමන සමාජගත වී තිබේ. එමෙන්ම 1845 වසරේ අප රටේ දකුණු පළාතට එක් වූ හිනිදුම් පත්තුවෙන් සහ මොරවක් කෝරලයෙන් සේම, ගාල්ලේ යකාවල ප්‍රදේශයෙන් ද මෙම ප්‍රවාදය අසන්නට ලැබෙන බව ඔහු අනාවරණය කරගෙන තිබේ. මේ පිළිබඳ සිය මතය පළ කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන සුනිල් කන්නන්ගරයන් පවසන්නේ, එම යකාවල ද හිනිදුම් පත්තුවේ ගිං ගඟ සම්බන්ධ ප්‍රදේශයක් විය හැකි බවයි. 1845 වසරේ හිනිදුම් පත්තුව සහ මොරවක් කෝරලය අප රටේ දකුණු පළාතට එක් කළ ගැසට් නිවේදනයට අනුව එම ප්‍රදේශ යකාවල හා අටබාගේ ලෙස හඳුන්වා ඇති බව ද ඔහු පෙන්වා දෙයි. එමෙන්ම, තිලක් සේනාසිංහයන් අවධාරණය කරන්නේ ‘සඳට පොලු ගැසීම’, ‘ගල් ගැසීම’ හා ‘කෙකි බැඳීම’ යන ක්‍රියාවන් විවිධ අරමුණු මුල් කරගත් ප්‍රවාද බවයි. ඒ අනුව සඳට ගල් ගැසීම යනු ඊර්ෂ්‍යාව, ද්වේෂය වැනි නොරිස්සුම් සහගත හැඟීම් මුල් කරගෙන සිදු කරන්නකි. එහෙත් සඳට පොලු ගැසීම හෝ සඳ අල්ලන්නට යාම යනු කේජු කෑම, තාන්න මාන්න ලැබීම වැනි ලාභයක් අපේක්ෂාවෙන් කරන නිරර්ථක, නිෂ්ඵල ක්‍රියාවකි.
නමුත් මෙම සඳට ගල් ගැසීමට ගෝලීය මුහුණුවරක් ද පවතී. “Throw stones at the moon” යන ඉංග්‍රීසි පිරුළ ඊට නිදසුනකි. එමෙන්ම සිංහල ජනවහරේ එන “හඳට පොලු ගහනවා” යන යෙදුම හා සමානව ඉංග්‍රීසි භාෂාවේ ද “Barking at the moon” (සඳට බුරනවා) සහ “Pissing in the wind” (සුළඟට මුත්‍රා කරනවා) වැනි යෙදුම්වලින් කියවෙන්නේ ළඟාවිය නොහැකි ඉලක්කයක් පසුපස හඹා යාමේ නිස්සාරත්වයයි. එමෙන්ම පැරණි සංස්කෘතීන්හි චන්ද්‍ර ග්‍රහණයක් යනු ‘රාහු සඳ ගිලීම’ ලෙස සැලකූ අතර, රාහු එළවා දැමීමට මිනිසුන් අහසට ගල් ගැසූ බව පුරාණෝක්තිවල සඳන් වේ. මෙහි ඇති දාර්ශනික පණිවිඩය වන්නේ, තමන්ට වඩා උසස්, පිරිසිදු හෝ බලවත් දෙයකට ද්වේෂ කිරීමෙන් අවසානයේ හානි වන්නේ තමන්ටම බවයි. පොළොවේ සිට ඉහළට විසි කරන ගල හෝ පොල්ල ගුරුත්වාකර්ෂණයට අනුව නැවත තමන්ගේම හිස මතට කඩා වැටෙන්නා සේ, ද්වේෂයේ බූමරංගය ද තමන් වෙතම පැමිණේ.
ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක්ම හිරු ‘තෙද බලය’ ලෙසත්, සඳ ‘සෞම්‍ය බව හා සදාචාරය’ ලෙසත් සංකේතවත් කරයි. ‘සඳට ගල් හෝ පොලු ගැසීමේ’ උපමාවෙන් අපේ පැරැන්නන් දුන් පණිවිඩය වන්නේ, තම සිත තුළ පවතින නොපහන්කම් පදනම් කරගෙන හෝ නොනිසි ලාභ ප්‍රයෝජන අත්කර ගැනීම පිණිස සදාචාර ස්තම්භයන්ට ගල් ගසා කාලය නාස්ති කරනවාට වඩා, පොළොවේ පය ගසා තමන්ගේ ජීවන ගමන බුද්ධිමත්ව සකස් කරගත යුතු බවයි. නමුදු මේ සම්බන්ධයෙන් කිව යුතු විශේෂතම කරුණක් ද වෙයි. එනම් ඒවා එම ප්‍රදේශවල ගැමියන්ට කිසිදු සබැඳියාවක් නොමැති, විවිධ සමාජ සංස්කෘතික හේතූන් මත ගොඩනැඟුණු උපහාසාත්මක භාෂණ හෝ සාහිත්‍යයේදී නම් උපහාසාත්මක ප්‍රබන්ධ (Satirical Fiction) පමණක් බවය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය