බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන්ට ඉන්දීය රුපියල් කෝටි 800 කට, ඒ කියන්නෙ ලංකා රුපියල් කෝටි 2,800 කට ආසන්න වටිනාකමකින් යුතු “මාලිගයක්” ඇති බව ඔහුගේ රසිකයන් බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක් විය හැකියි. ඔහුට පරම්පරාවෙන් උරුම වූ මේ සුවිසල් මන්දිරය හැඳින්වෙන්නේ “පතාවුදි මාළිගය” (Pataudi Palace) යන නමින්. මෙය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ පතාවුදි නැමැති ප්‍රදේශයේ යි.
මෙය කෙතරම් විශාල මන්දිරයක් ද යත් එහි කාමර 150 කට ආසන්න සංඛ්‍යාවක් ඇති බව සඳහන් වෙයි.
සයිෆ් අලි ඛාන්ට මේ තරම් විශාල “මාළිගයක්” හිමි වූයේ කෙසේද? මෙය බොහෝ රසික රසිකාවියන් තුළ කුතුහලයක් ඇති කරන කාරණයක් වනවාට සැකයක් නැහැ.
සයිෆ් ඉන්දියාවේ ඉතා වංශවත් සහ ප්‍රභූ යයි සැලකෙන පරපුරකින් පැවත එන කෙනෙක්. මේ පරපුරේ අය අතීතයේ ඉන්දියාවේ ප්‍රාදේශීය පාලකයන් ලෙස කටයුතු කළ අය යි.
1935 වසරේ “පතාවුදි මාළිගය” ඉදි කර තිබුණේ සයිෆ් ගේ පියා ගේ පියා (සීයා) වූ ඉෆ්තිකාර් අලි ඛාන් විසින්. ඔහු 1917 සිට 1948 දක්වා පතාවුදි හි පාලකයා ලෙස කටයුතු කළා. මෙම සුවිසල් මන්දිරය ඉදි කර තිබුණේ ඉෆ්තිකාර් ගේ විවාහය අවස්ථාවේ බවයි සඳහන් වන්නේ.
විවාහයට කලින් ඔහු ජීවත් වී තිබුණේ වෙනත් නිවසක යි. ඔහු විවාහ වූයේත් ඉතා වංශවත් යයි පිලිගැනුණු පරපුරක කාන්තාවක සමග යි. ඇය බොහෝ සැපසම්පත් භුක්ති විඳි කෙනෙකු වූ නිසා විවාහයෙන් පසුවත් ඇයට ඒ තත්වය ලබා දීමට ඉෆ්තිකාර්ට අවශ්‍ය වුණා. පතාවුදි මන්දිරය ගොඩ නගන්නට ඔහු කල්පනා කර තිබුණේ ඒ අනුවයි. යටත් විජිත යුගයේ මන්දිරවල ගෘහ නිර්මාණ කලාවට අනුව මෙය සැලසුම් කර තිබුණේ රොබට් ටෝර් රසල් නැමැති ගෘහ නිර්මාණ ශිල්පියා විසිනු යි. මූගල් ගෘහ නිර්මාණ ලක්ෂණ ද මෙහි දැකිය හැකියි.
අක්කර 10 ක සුවිසල් භූමියක ඉදි කර ඇති පතාවුදි මාළිගයේ පිටත මෙන්ම ඇතුළත ද ඉතා ගම්භීර ගෘහ නිර්මාණ ලක්ෂණවලින් යුතුයි. අලංකාර, විශාල විදුලි පහන්, ඇන්ටික් ස්වරූපයේ ගෘහ භාණ්ඩ, කලා නිර්මාණ ආදියෙන් මෙය පිරී ඇති ආකාරය දැකගත හැකියි.
ආහාර ගැනීම සඳහා බොහෝ ඉඩකඩ ඇති විශාල ශාලා ද පතාවුදි මාළිගයේ ඇති බව සඳහන්. මෙම මන්දිරය පිහිටා ඇති භූමියේ වෙනම ගොවිබිමක් ද තිබෙන බව පැවසෙනවා. එමෙන්ම පිහිනුම් තටාක ආදියත් මෙහි පිහිටා තිබෙනවා.
බිලියඩ් ක්‍රීඩාව සඳහා වෙන් වූ කාමර හතක් ම මෙම මන්දිරයේ තිබෙන බවත් සඳහන්.
ඉෆ්තිකාර් අලි ඛාන්ගෙන් පසු මෙම මන්දිරයේ හිමිකරුවා බවට පත් වුණේ සයිෆ් ගේ පියා වූ මන්සූර් අලි ඛාන්. ඔහු වඩාත්ම ප්‍රසිද්ධියට පත් වුණේ ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට යි. මන්සූර් කලක් ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයත් දැරුවා. 1961 සිට 1975 දක්වා ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.
මන්සූර් අලි ඛාන් විවාහ වුණේ එකල ඉන්දියානු සිනමාවේ අතිශයින් ජනප්‍රිය නිළියක වූ ෂර්මිලා තාගෝර් සමග යි.
ඔවුන් අතර විවාහය සිදු වූයේ 1968 වසරේ.
ඔවුන් දෙදෙනාගේ වැඩිමල් දරුවා තමයි සයිෆ්. සයිෆ්ට බාල සහෝදරියන් දෙදෙනෙකු සිටිනවා.
මන්සූර් අලි ඛාන් 2011 වසරේ පෙනහළු ආසාදනයක් හේතුවෙන් මියගියා. පසු කාලයේ පතාවුදි මන්දිරය කිසියම් හෝටල් සමාගමකට බදු දී තිබුණා. නමුත් 2014 වසරේ සයිෆ් එය නැවතත් තම පවුල වෙත ලබා ගැනීමට කටයුතු කළා. දැන් එහි හිමිකරුවා ඔහු යි. පතාවුදි පරපුරේ වත්මන් උරුමක්කාරයා ලෙස සැලකෙන්නේ සයිෆ්.
චිත්‍රපට රූගත කිරීම් සඳහා ද පතාවුදි මන්දිරය බොහෝ අවස්ථාවල යොදාගෙන තිබෙනවා. වීර්-සාරා, රංග් දේ බසාන්ති, ඇනිමල් වැනි චිත්‍රපට මෙහි රූපගත කර තිබුණා.
2014 වසරේ එය නැවත ලබා ගැනීමෙන් පසු සයිෆ් එහි යම් නවීකරණයන් සිදු කළ බව පැවසෙනවා. නමුත් ඒ සියල්ල කර තිබුණේ එහි ඓතිහාසික වටිනාකම නොනැසෙන ආකාරයෙනු යි.
සයිෆ්, ඔහුගේ බිරිඳ කරීනා කපූර් සහ ඔවුන්ගේ දරුවන් බොහෝ අවස්ථාවල එහි කාලය ගත කරන බව සඳහන්. ඔවුන් වැඩිපුරම එහි යන්නේ ශීත සෘතුවේ ලු.
සයිෆ් පවුල වැඩි වශයෙන් ජීවත් වන්නේ මුම්බායි නුවර යි. ඒ ඔවුන්ගේ වෘත්තීය ජීවිතවලට එය උදව්වක් නිසා යි. මුම්බායි හි බන්ද්‍රා නැමැති ප්‍රදේශයේ මහල් හතරක සුඛෝපභෝගී නිවසක යි ඔවුන් වාසය කරන්නේ. මෙම නිවසේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 100 ක් (ලංකා රුපියල් කෝටි 350 ක්) පමණ බව පැවසෙනවා.
මෙයට මාස කිහිපයකට පෙර මෙම නිවස කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවකුගෙන් සයිෆ් පිහි ඇනුමකටත් ලක් වුණා.
සයිෆ් එම අවස්ථාවේ රෝහල්ගත කෙරුනු අතර සිරුරේ ඇනී තිබූ පිහි තුඩෙ හි කොටසක් ඉවත් කිරීම සඳහා හදිසි සැත්කමක් කිරීමටත් සිදු වුණා.
සයිෆ් මීට සති කිහිපයකට පෙර කටාර් රාජ්‍යයට අයත් සුන්දර දූපතක පිහිටි තවත් සුපිරි නිවසක් මිල දී ගෙන තිබුණා.
නිහාල් පීරිස්