සුවසැරියෙන් යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව එයි

හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් වෙත වඩාත් වේගවත්ව වෛද්‍ය ආධාර ලබාදීමේ අරමුණින් ‘1990 සුවසැරිය යතුරුපැදි හදිසි වෛද්‍ය සේවාව’ හඳුන්වා දීමට 1990 සුවසැරිය පදනම සැලසුම් කර තිබේ.

අධික රථවාහන තදබදය සහ මාර්ග බාධක හේතුවෙන් ගිලන් රථ සේවාවන් ප්‍රමාද වන ප්‍රදේශවල රෝගීන් වෙත කඩිනමින් ළඟා වෙමින්, හදිසි වෛද්‍ය සත්කාර ලබාදීමේ ප්‍රතිචාර කාලය අවම කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම නව සේවාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

විශේෂයෙන්ම ජනාකීර්ණ නාගරික ප්‍රදේශ සහ ගිලන් රථවලට වේගයෙන් ළඟාවීමට අපහසු අධික රථවාහන තදබදයක් පවතින ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම යතුරුපැදි හදිසි වෛද්‍ය ඒකක ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ගිලන් රථයක් සිද්ධිය වූ ස්ථානයට ළඟා වීමට පෙර රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය සහය වහාම ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සුවසැරිය පදනම සඳහන් කරයි.

මෙම වැඩසටහන යටතේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් යොදවන අතර අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් මෙම යතුරුපැදි සමන්විත වේ.

මෙම ව්‍යාපෘතිය මෙම වසර අවසන් වීමට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත අතර, කොළඹ ඇතුළු ප්‍රධාන නාගරික ප්‍රදේශ මුල් අදියරේදීම ඊට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ.

කාලීන පුවත්