හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් කොහෙත්ම හොඳ නැද්ද?

vinivida

අපේ රටේ ජංගම දුරකථන භාවිතය පවතින්නේ ඉතාමත් ඉහළ තලයක ය. එය නැතිවම බැරි මෙවලමක් බවට පත් වීමට බලපාන ප්‍රබල හේතුවක් නම් දුරකථන ඇමතුම් ලැබීම සහ ලබා ගැනීමත්, කෙටි පණිවිඩ ආදිය යැවීමත් යන දුරකථනයක් මගින් සිදු කරගන්නා අනිවාර්ය කාරණා කීපය හැරුණු විට ඊට වඩා තවත් ප්‍රබල විශේෂිත සේවාවන් රාශියක් මේ වන විට නවීන ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉටුකර ගැනීමට හැකි වී තිබෙන නිසා ය.
ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනකු හෑන්ඩ්ස් ෆ්‍රී, බ්ලූටූත් වැනි උපකරණ ද භාවිතා කරති. මෙවැනි උපකරණ නිසා ශ්‍රවණාබාධ වැළඳිය හැකි බව බොහෝ දෙනාගේ මතයයි. මේ උත්සාහ කරන්නේ සැබෑවටම එහෙම දෙයක් සිදුවන්නේද නැද්ද යන්න විමසා බැලීමට ය.

කන් ඇසීම යනු මානව සංහතියේ සියලුම දේවල් උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි. උපතින්ම අපට කන් දෙකක් ලැබී තිබෙන නිසා අපට ඇසෙන දේ අනුව බිලිඳු වියේ සිටම කතා කරන්නට ඉගෙන ගත්තෙමු. කෙසේ වුවද හැමදාමත් අපට කන් දෙකක් තිබුණු නිසාත්, ශ්‍රවණ හැකියාව අඩුවක් නැතුව තිබූ නිසාත් අපට මේ කන් දෙකෙහි අගයක් දැනෙන්නේ නැත.

මනුෂ්‍යයන් වන අපගේ සෑම දෙයක්ම තීරණය වන්නේ භාෂා හැකියාව මත ය. භාෂාව පරිහරණය කරන්නට අපට හැකියාව ලැබෙන්නේ හොඳින් කන්දෙක ඇසෙන්නේ නම් පමණි. කන් ඇසීම යනු මානව සංහතියේ සියලුම දේවල් උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි. උපතින්ම අපට කන් දෙකක් ලැබී තිබෙන නිසා අපට ඇසෙන දේ අනුව බිලිඳු වියේ සිටම කතා කරන්නට ඉගෙන ගත්තෙමු. කෙසේ වුවද හැමදාමත් අපට කන් දෙකක් තිබුණු නිසාත්, ශ්‍රවණ හැකියාව අඩුවක් නැතුව තිබූ නිසාත් අපට මේ කන් දෙකෙහි අගයක් දැනෙන්නේ නැත.

කන් දෙකට යම් ශබ්දයක් ඇසෙන්නේ කොහොමද?

ශබ්ද තරංග මුලින්ම වදින්නේ කන ඇතුලේ තිබෙන කන්බෙරය නමින් හඳුන්වන කොටසේ ය. ඉන්පසු කන් බෙරයෙහි කම්පනයක් ඇතිවේ. කන් බෙරයට සම්බන්ධ වී ඇති මැද කනේ ඉතා කුඩා අස්ථිකා තුනක් පිහිටා ඇත. මේවා අස්ථිකා ලෙස හඳුන්වන්නේ සාමාන්‍ය අස්ථියකට වඩා ඉතා කුඩා වීම නිසා ය. පිටතින් එන ශබ්ද තරංග නිසා කන් බෙරයෙහි කම්පනයක් ඇතිවන විට මැද කනේ අස්ථිකා තුනේද කම්පනයක් ඇතිවේ. මෙසේ අස්ථිකා කම්පනය වූ පසු එයින් ඇතුල් කනෙහි උත්තේජනයක් ඇති කරයි.
ඇතුල් කනෙහි හෙයා සෙල්ස් (hair cells) නමින් ඉතාම සියුම් සෛල විශේෂයක් පිහිටා ඇත. මේ හෙයා සෙල්ස් මගින් කරන්නේ කම්පන තරංග ස්නායු උත්තේජනයක් බවට හැරවීමයි. හෙයා සෙල්ස් ඉතාමත් සංවේදී සෛල විශේෂයකි. මේ එක සෛලයක් හෝ මිය ගියහොත්, එසේත් නැත්නම් එක සෛලයකට හෝ කිසියම් හානියක් සිදුවුණොත් ඒ සෛල යළි වර්ධනය වීමක් සිදුවන්නේ නැත. අපේ අතක පයක තුවාලයක් සිදුවූ විට තුවාල වුණු ස්ථානයේ සමේ සෛල බෙදි බෙදී ගොස් එම තුවාලය ටික කලකින් වැසී සම තිබූ තත්ත්වයටම පත්වුවද ඇතුළු කනේ හෙයා සෙල්ස්වල එවැන්නක් සිදු නොවේ. එනිසා හෙයා සෙල්ස් ආරක්ෂා කරගත යුතුය.

මෙසේ හෙයා සෙල්ස් මගින් ස්නායු උත්තේජනය වූ පසු එහි ස්නායු මගින් මොළයට පණිවිඩය යයි. එමඟින් මොළයේ ශබ්ද ඇසීම සඳහා වන කොටස් උත්තේජනය වූවිට අපට එම ශබ්ද හඳුනා ගැනීමට හැකි වේ. මෙය විදුලි වේගයෙන් සිදු වන ක්‍රියාවලියකි.
ශබ්දය මනින විධි තිබේ. ශබ්දය මනින ඒකකය හඳුන්වන්නේ ඩෙසිබල් (dB) යනුවෙනි. කෙනෙක් තව කෙනෙකුට ළං වී රහසක් කියන විට ඩෙසිබල් 15 -20 ක තරමේ ශබ්ද ප්‍රමාණයක් පිටවේ. දෙදෙනෙක් නිහඬ තැනක සාමාන්‍ය කතාබහක යෙදෙන විට ඩෙසිබල් 40 – 50 අතර පරාසයක ශබ්ද ප්‍රමාණයක් පිටවනු ඇත. නගරයක වීදියක් වැනි ශබ්ද වැඩි ස්ථානයක ඩෙසිබල් 60 – 90 ක ශබ්දයක් පවතින අතර සංගීත සංදර්ශනයක් පවතින ස්ථානයක සාමාන්‍යයෙන් ඩෙසිබල් 90 – 100ක ශබ්ද ප්‍රමාණයක් පවතී. රතිඤ්ඤා කරලක් පුපුරන විට ශබ්දය ඩෙසිබල් 120 ට වැඩි ය. අපේ කනට දැරිය හැකි ශබ්ද සීමාව ඩෙසිබල් 65 – 70 අතර වේ. ඒ අනුව කනට දැරිය හැකි උපරිම ශබ්දය ඩෙසිබල් 70 ක් ලෙස දැකිය හැකිය. ඒ ප්‍රමාණයේ ශබ්දයකින් අපේ කනට හානියක් සිදු නොවේ.
අධික ශබ්දය නිසා කනට හානි සිදුවන්නේ ඩෙසිබල් 70කට වඩා වැඩි ශබ්ද ප්‍රමාණයකින් කනට කම්පනයක් ඇතිවීමෙන් හෙයා සෙල්ස්වලට හානි සිදුවීම නිසා ය.
ශබ්දයෙන් කනට හානි සිදුවන ක්‍රම දෙකක් තිබේ. රතිඤ්ඤා කරලක් වැනි දෙයක් කන ආසන්නයේ පිපිරුවොත් ක්ෂණිකව කනට හානි සිදුවන්නට පුළුවන. ඒ එක් ක්‍රමයකි.

ඩෙසිබල් 70 – 80 අතර ශබ්ද ප්‍රමාණයක් එකවර නොව කාලයක් තිස්සේ එක දිගට කනට අසන්නට සිදුවන විට කනට හානි සිදුවීම දෙවන ක්‍රමයයි. නිදසුනක් ලෙස ලී මෝලක වැඩ කරන කෙනෙකු කාලයක් එක දිගටම එම යන්ත්‍ර සූත්‍රවල ශබ්දයට මුහුණ දෙන විට කනට හානි සිදු විය හැකිය. එසේම ඩෙසිබල් 70 ට වැඩි ශබ්දයක් සහිතව කාලයක් තිස්සේ කනට හෑන්ඩ්ස් ෆ්‍රී වැනි උපකරණ පැළඳ ගීතවලට සවන් දීමෙනුත් මේ තත්ත්වය ම ඇතිවන්නට පුළුවන. ඔබට මෙය මැන ගත හැකි පහසුම ක්‍රමය මෙයයි. ඝෝෂාකාරී කාමරයක් තුළ ශබ්ද පරාසය ඩෙසිබල් 60 -90 අතර ප්‍රමාණයකි. ඒ අනුව ඔබේ කනට දැරිය හැකි ඩෙසිබල් 70 ට අඩු ශබ්ද ප්‍රමාණය ඔබට තීරණය කිරීම පහසු වනු ඇත.

ඉහත සඳහන් කළ අයුරින් එකවර විශාල ශබ්දයක් ඇති වූ විට ඔබේ කන් ඇසීම ක්ෂණිකව නැතිවී යා හැකිය. පැය 48ක් ඇතුළත මෙය යථා තත්ත්වයට පත් නොවුණොත් ඒ ස්ථිරවම කන්වලට සිදුවූ හානියක් වන්නට ඉඩ තිබේ.
කාලයක් තිස්සේ ඩෙසිබල් 90 ක පමණ ශබ්දයක් දමාගෙන හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයකින් ගීත අසන කෙනෙකුගේ කන්වලට හානි සිදුවන්නේ ඉහත දැක්වූ පරිදි එකවරම නොවේ. එහිදී හෙයා සෙල්ස්වලට හෙමින් හෙමින් හානි සිදුවී ඉන්පසු කන් නොඇසී යාම සිදුවනු ඇත. මෙහිදී මුලින්ම රෝගියාට දැනෙන ලක්ෂණ නම් තමා අවට නැති ශබ්ද ඇසීමයි. නිදසුනක් ලෙස තමා වෙසෙන ප්‍රදේශයේ කිසිදු වාහනයක් ගමන් නොකරන අවස්ථාවක තමන්ගේ අසලින්ම වාහනයක් ගමන් කරන හඬක් ඇසෙන්නට පුළුවන. මෙය ඇසෙන්නේ කන ඇතුලෙන්ම ය. ටික දිනක් ගතවන විට තමාගේ කන් ඇසීම අඩුවේගන යන ආකාරයක් ඒ පුද්ගලයාට දැනෙන්නට පටන් ගනියි.

කන් ඇසීම අඩු වුණොත් එය යථා තත්ත්වයට පත් කළ නොහැකි ද යන්න බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයකි. කන්වල කලාඳුරු සිරවීම, සෙම නිසා කන් ඇසීම අඩුවීම, මැද කනේ ප්‍රශ්න, කන් බෙරයේ ප්‍රශ්න ආදිය නිසා කන් ඇසීම අඩුවන්නේ නම් කන හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට එය යථා තත්ත්වයට පත් කළ හැකිය. නමුත් හෙයා සෙල්ස්වලට හානි සිදුවී ඇත්නම් කිසිදු ඖෂධයකින් හෝ එය යථා තත්ත්වයට පත් කළ නොහැකිය. මෙයට ඇති එකම ප්‍රතිචාරය කර්ණශංඛ බද්ධය පමණි. මෙය මිල අධික සැත්කමකි.

හෑන්ඩ්ස් ෆ්‍රී උපකරණයෙන් මෙන්ම කනට පළඳින බ්ලූටූත් උපකරණයෙන්ද හානි සිදු වන්නේ ඩෙසිබල් 70 කට වඩා වැඩි ශබ්දයකින් එය නිතර නිතර සවන් දෙන විට ය.
බ්ලූටූත් මෙන්ම ජංගම දුරකථනවල ද තාක්ෂණය වන්නේ මෛක්‍රෝවේව් තරංගයි. ලෝකයේ දියුණු රටවල මෙම උපකරණ නිෂ්පාදනය කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව කන්වලට හානි නොවන මට්ටමකිනි. නමුත් ඇතැම් රටවල නිපදවන මිලෙන් අඩු භාණ්ඩ බොහෝ විට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකසන ලද ඒවා නොවේ. ජාත්‍යන්තර සම්මත ක්‍රමවලට අනුව සකස් කළ ජංගම දුරකථන සහ ඊට අදාළ මෙවලම් පරිහරණයෙන් කනට හානි සිදු නොවේ. නමුත් අනිවාර්යෙන්ම ඒ කුමක් වුවත් ඩෙසිබල් 70 ට අඩු ශබ්දයකින් ශ්‍රවණය කළ යුතුය.

කන් ඇසීම අඩු වුණොත් එය යථා තත්ත්වයට පත් කළ නොහැකි ද යන්න බොහෝ දෙනෙක් විමසන ප්‍රශ්නයකි. කන්වල කලාඳුරු සිරවීම, සෙම නිසා කන් ඇසීම අඩුවීම, මැද කනේ ප්‍රශ්න, කන් බෙරයේ ප්‍රශ්න ආදිය නිසා කන් ඇසීම අඩුවන්නේ නම් කන හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට එය යථා තත්ත්වයට පත් කළ හැකිය. නමුත් හෙයා සෙල්ස්වලට හානි සිදුවී ඇත්නම් කිසිදු ඖෂධයකින් හෝ එය යථා තත්ත්වයට පත් කළ නොහැකිය. මෙයට ඇති එකම ප්‍රතිචාරය කර්ණශංඛ බද්ධය පමණි. මෙය මිල අධික සැත්කමකි.

කන් ඇසීම අඩු අය ශ්‍රවණාධාර පළඳිනු ඔබත් දැක ඇති. නමුත් ශ්‍රවණාධාර පැළඳීමෙන් කන් ඇසීම ලබාගත හැක්කේත් හෙයා සෙල්ස් මුළුමනින්ම හානි වී නැත්නම් පමණි. හෙයා සෙල්ස්වලට සම්පූර්ණයෙන්ම හානි සිදුවී තිබේ නම් ශ්‍රවණාධාරවලිනුත් පලක් නැත. ඩෙසිබල් 90 ක මට්ටමින්වත් ප්‍රතිචාර දක්වනවා නම් පමණක් ශ්‍රවණාධාර පැළඳීමෙන් යම් ප්‍රතිඵලයක් ලබාගත හැකිය.
එනිසා උපතින්ම ලද කන් දෙක ප්‍රවේශම් කර ගැනීම ඔබේ වගකීම ය. ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංග පැළඳීම අපට අවශ්‍ය වුවත් ඒවා ප්‍රවේශමෙන් පැළඳීම ඔබේම යහපත පිණිස වේ.

උගුර කන හා නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්.ඒ. ඇතුල්ගම

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය