අවුරුදු 12- 19 දක්වා දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම  සුදුසුද?

lama
වසර එක හමාරක පමණ කාලයක් පාසල් අධ්‍යාපනය අහිමි වී සිටින දරුවන්ට නැවත පාසල් විවර කර දීමට රජය  බලාපොරොත්තුවෙන් සිටී. ඒ සඳහා වයස අවුරුදු 12 සිට 19 දක්වා දරුවන්ට කෝවිඩ් එන්නත ලබාදීම මේ දිනවල සිදුවෙමින් පවතී. මුලින්ම තෝරා ගත් රෝග සහිත දරුවන්ට ප්‍රමුඛත්වය දී, ඉන්පසු එම වයස් කාණ්ඩයේ සියලුම දරුවන්ට එන්නත් ලබාදීම රජයේ අරමුණයි.
නමුත් මේ සම්බන්ධයෙන් සමාජයේ ඇතැමුන් දරන මතය  එතරම් සුබවාදී නොවේ. හේතුව,  මෙම එන්නත්කරණයෙහි අතුරු ඵල ලෙසින් අනාගතයේදී  විවිධ ගැටලු මතුවීමට ඉඩ ඇතැයි යන විශ්වාසයයි.
එන්නත්කරණයෙහි  ප්‍රතිඵලයක් ලෙස බරපතල අසාත්මිකතාවයන්ට ලක් වීමට  සිදුවිය හැකිය යන්න ඔවුන් දක්වන පළමු  කරුණ වේ. එසේම වෙනත් යම් යම් දේවල් වලට  අසාත්මිකතාවයන් දක්වන අය  එන්නත් ලබා ගැනීම සුදුසු නැත යනුවෙන්ද  ඔවුහු වැඩිදුරටත් මත පළ කරති.
නමුත් මේ කරුණ සම්බන්ධයෙන් කිව හැක්කේ මෙයයි.
මෙයට පෙර ඔබට යම් ආහාරයක්, එන්නතක්, යම්  ඖෂධයක්,  කෘමියකු  වැනි සතෙකු හෝ පරිසරයේ දුහුවිලි නිසා අසාත්මිකතාවයක් ඇති වූයේ නම් සහ  එය සුළු අසාත්මිකතාවයක් නම්  ඔබට කොරෝනා  එන්නත ලබා ගැනීමට එය බාධාවක් වන්නේ නැත.
සුළු  අසාත්මිකතාවය යනු කුමක්ද යන්න මෙහිදී ඔබට ගැටලුවක් ගැටළුවක්  වීමට  පුලුවන. සුළු අසාත්මිකතා ගණයට අයත් වන්නේ පහත දැක්වෙන රෝග ලක්ෂණයි.
 *  සමේ පළු නැගීමක් හෝ  කැසීමක්  * ඇස් කැසීමක් හෝ රතු වීමක් * මුඛය කැසීමක්* බඩ රිදීමක් හෝ පාචන තත්වයක්  * නාසයෙන් දියර ගැලීමක් හෝ කිවිසුම් යාමක් * සුළු වියළි කැස්සක්, උණක් හෝ    ශරීරයේ  ඉදිමීමක් ඔබට ඇති වූයේ මෙවැනි සුළු අසාත්මිකතාවයක් නම් එන්නත ලබා ගැනීමට මෙය බාධාවක් වන්නේ නැත.
නමුත් මෙයට පෙර ඔබට යම් ආහාරයක්, එන්නතක්, ඖෂධයක්, කෘමි සතකු හෝ පරිසරයේ දුහුවිලි නිසා එලෙස ඇති වූ අසාත්මික රෝග ලක්ෂණ බරපතළ වූයේ නම් ඒ බව එන්නත්කරණ මධ්‍යස්ථානයට දැනුම් දිය යුතුය. මෙහි දී බරපතළ  අසාත්මිකතාවයන් ලෙස සලකන්නේ පහත සඳහන් රෝග ලක්ෂණයන් ය.
   * රුධිර පීඩනය අඩු වී  anaphylaxis  රෝග තත්ත්වය ඇති වීම, * හුස්ම ගැනීමේ අපහසුතාවය  * මුළු ශරීරයම ඉදිමීම * උගුර මුඛය ඉදිමී ආහාර සහ හුස්ම ගැනීමේ අපහසුව ඇතිවීම *  සිහිමූර්ඡා වීම
කෝවිඩ්  එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් ජනතාව අධෛර්යමත් කරවන කරුණු සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම අන්තර්ජාලයේ ද බොහෝ විට දැක ගත හැකිය. නමුත් මේ බොහොමයක් කරුණු විද්‍යාත්මක නොවේ. බටහිර රටවල එන්නත් විරෝධී කණ්ඩායම් සිටිති. මේ කණ්ඩායම් කෝවිඩ් එන්නතට පමණක් නොව ඕනෑම එන්නතක ට විරුද්ධ ය.
මෙවැනි මත අන්තර්ජාලය හරහා පතුරවා හරින්නේ එවැනි අයයි. මේවා වෛද්‍යවරුන් හෝ වෛද්‍ය සංගම් දක්වන අදහස් නොවේ. එන්නත් නිසා ආඝාත තත්වයන්, ජාන විකෘති වීම්, හෘදයාබාධ, ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් හැදීමේ දී විවිධ ගැටලු ඇතිවීම වැනි බොහෝ සංකූලතාවයන් ඇති වන බවට  ප්‍රසිද්ධ මාධ්‍ය මගින් මෙලෙස පවසන්නේ එන්නත් විරෝධී කණ්ඩායම් ය.
ලෝකයේ දැනට පර්යේෂණ මගින් සනාථ වී ඇති ආකාරයට කෝවිඩ් එන්නත ලබාගෙන තිබෙන අයට පසු කලෙක කෝවිඩ් වැළඳුණත් එම රෝගය නිසා ඇතිවිය හැකි සංකූලතා සහ මිය යාම් අඩු වේ. එනිසා එන්නත ලබා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුය. ඒ අපගේ ම යහපත උදෙසාය.
අනෙක් අතට බලන විට කෝවිඩ් සඳහා ස්ථිර ඖෂධයක් තවම ලෝකයේ සොයාගෙන නොමැත. එනිසා ද එන්නත ලබා ගැනීම වැදගත් වේ.
එසේම ලෝකයේ සමහර රෝග වලට ඖෂධ සොයා ගන්නට පෙර එන්නත් සොයා ගැනීම තුළින්, එම එන්නත් මගින් ම ලෝකයෙන් එම රෝගය තුරන් කළ අවස්ථා තිබේ. හොඳම උදාහරණය  වසූරිය යි. එමෙන්ම පෝලියෝ රෝගය ද දැන් දක්නට ලැබෙන්නේ නැති තරම්ය.
එනිසා එන්නත්කරණය යනු රෝග වැළැක්වීමට තිබෙන ලෝකයම පිළිගත්  ක්‍රමයකි.
එබැවින් අවස්ථාව ලැබුණු විගස, තමන්ට ලැබෙන්නේ කුමන කෝවිඩ් එන්නත වුවද එම එන්නත ලබා ගැනීමට ඔබ කටයුතු කළ යුතුය.
අපේ රටේ වයස අවුරුදු 60 න් ඉහළ සියලුම ජනතාවට මෙම එන්නත ලබා දීම තවම 100% ක් ම සම්පූර්ණ කර නැති බව සැබෑය. එසේම වයස 29 – 30 කාණ්ඩයට ද තවම එන්නත් ලබා දෙමින් පවතී. ඒ තත්ත්වය මත වයස අවුරුදු 12 – 19 කාණ්ඩයට එන්නත් ලබාදීම  සුදුසුද යන්න පිළිබඳව සංවාදයක් ඇති වී තිබේ.
නමුත් පැහැදිලිවම කිව යුත්තේ කුමන කාණ්ඩයකට කලින් ලබා දුන්නත්, පසුව ලබා දුන්නත් එන්නතෙහි විශ්වසනීයත්වය පිළිබඳ ව සැකයක් හෝ ගැටළුවක් නොමැති බව ය.
එන්නන් වර්ග අතර යම් යම් වෙනස්කම් තිබිය හැකිය. නමුත් ලැබෙන පළමු එන්නත ලබා ගැනීම වඩාත් සුදුසු පියවරයි. එයට හේතුව වඩා  ,හොඳ එන්නතක් එනතුරු බලා හිඳ අන් කිසිම එන්නතක් නොගැනීම නිසා කෝවිඩ් රෝගය වැළඳී මිය ගිය අය පිළිබඳවත් අපේ සමාජය තුළින් අසන්නට ලැබී තිබෙන නිසා ය.
ළමා රෝග සහ අසාත්මිකතා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
ඉන්දු පෙරේරා
විනිවිද සායනය