ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 6 වැනිදා ජන හමුවකදී ප්‍රකාශ කළ රට පුරා ආරෝග්‍ය මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් තම සංගමය මෙතෙක් විධිමත් ලෙස දැනුවත් කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත ධම්මික මහතා සඳහන් කළේ, මෙම වැඩසටහනේ මූලික සංකල්පය 2019 වසරේදී පමණ ඉදිරිපත් වූ අදහසක දිගුවක් ලෙස වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන බවයි.කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් ආරෝග්‍යා සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1,000ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් සිටින අතර, එහි පළමු අදියර ලෙස සැප්තැම්බර් 1 වැනිදා දිවයිනේ ප්‍රදේශ 10ක මධ්‍යස්ථාන සඳහා මුල්ගල් තබා තිබේ. එක් මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 50ක පමණ මුදලක් වෙන් කර ඇති බවත්, 2026 වසර සඳහා මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 1,500ක් සහ 2027 වසර සඳහා රුපියල් මිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත. දැනටමත් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 39ක සෞඛ්‍ය සේවා ක්‍රියාත්මක වන බවද සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ. නව මධ්‍යස්ථාන මඟින් ජනතාවට වඩාත් සමීප ප්‍රාථමික සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවද සඳහන් වේ. මේ අතර, ජනාධිපතිවරයා පසුගිය 6 වැනිදා කළ ප්‍රකාශයට අනුව, රජයේ සෞඛ්‍ය සේවාව තුළ රෝගීන්ට තමන් කැමති ප්‍රධාන රෝහලකට සෘජුවම යාමේ වත්මන් ක්‍රමවේදය වෙනස් කර, ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍යවරයකු හරහා අවශ්‍යතාව තීරණය කිරීමෙන් පසු ඉහළ මට්ටමේ රෝහලකට යොමු කිරීමේ ක්‍රමයක් හඳුන්වාදීමට රජය අපේක්ෂා කරයි. සෑම පවුලකටම ප්‍රාථමික සෞඛ්‍ය වෛද්‍යවරයකු වෙත ප්‍රවේශය ලබාදීම එහි අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය හරහා වාර්ෂිකව බාහිර රෝගී සේවා ලබාගැනීම් සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින්, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර රෝහල් සම්පත් හා ඖෂධ වඩාත් කාර්යක්ෂමව භාවිත කිරීම අවශ්‍ය බවයි. ආරෝග්‍යා මධ්‍යස්ථාන වැඩසටහන සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර එළඹෙන සතියේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වෛද්‍ය ලසිත ධම්මික මහතා සඳහන් කළේය. එම සාකච්ඡාවේදී වෛද්‍ය නිලධාරීන් සඳහා අතරමැදි ශ්‍රේණියක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා විසින් පත්කර ඇති කමිටුවේ යෝජනා පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම වැඩසටහනේ ප්‍රතිපත්තිමය පසුබිම මීට පෙරද රජයේ අවධානයට ලක්ව තිබූ බව පෙනී යයි. 2025 සැප්තැම්බර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් 2026–2028 කාලය තුළ ආරෝග්‍යා සෞඛ්‍ය හා සුවතා මධ්‍යස්ථාන 1,000ක් අදියරගතව ස්ථාපිත කරමින් පවත්නා ප්‍රාථමික සත්කාර ආයතන සමඟ එක්ව ප්‍රාථමික සත්කාර ආයතන සංඛ්‍යාව 2,000 දක්වා ඉහළ නැංවීමේ වැඩසටහනකට අනුමැතිය ලබාදී තිබූ බවද වාර්තා වේ.ඒ අනුව, මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින ආරෝග්‍යා මධ්‍යස්ථාන වැඩසටහනේ සැලසුම්, වෛද්‍ය මානව සම්පත්, වෛද්‍යවරුන්ගේ කාර්යභාරය සහ ප්‍රධාන රෝහල් වෙත රෝගීන් යොමු කිරීමේ නව ක්‍රමවේදය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඉදිරි සාකච්ඡා විශේෂ අවධානයට ලක්වනු ඇත.