ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥ මහාචාර්ය රංග ඩයස් බුද්ධිමය සොරකමක් කරලාද?

ඇමරිකා එක්සත් ජනපදයේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය රංග ඩයස්ගේ ගිවිසුම් කාලය අවසන් වන්නට පෙර ඔහු එම තනතුරින් ඉවත් කරන්නට එකී විශ්වවිද්‍යාලය කටයුතු කරගෙන යයි. එයට හේතුව වී ඇත්තේ ඔහු විසින් සොයා ගත්තේ යැයි පැවසෙන කාමර උෂ්ණත්වයේ දී ක්‍රියාත්මක වන අධි සන්නායකය වෙනුවෙන් සකස් කරන ලද නිබන්ධනය සඳහා සාවද්‍ය තොරතුරු සහ අන්‍යයන්ගෙන් සොරා ගත් තොරතුරු අඩංගු කොට තිබේය යන චෝදනාව ඔහුට එල්ල වී තිබීමය. ඔහු මේ සොයා ගැනීම සිදු කොට දැනට වසරක් පමණ වන අතර මේ සම්බන්ධව මුලින් ම විද්‍යාත්මක විමර්ශනයක් සහ විවාදයක් ලෙස ආරම්භ වූ ක්‍රියාවලිය ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන තැනට පත්විය. පසුගිය අප්‍රේල් 6 වැනිදා මේ පිළිබඳ ලෝක ප්‍රකට නේචර් සඟරාවට අයත් වෙබ් අඩවියේ ඉතා දීර්ඝ විස්තරයක් පළ වී තිබිණි.

රොචෙස්ටර් විශ්වවිද්‍යාලය විසින් පත් කරනු ලැබූ ස්වාධීන විද්‍යාඥ කණ්ඩායමක් විසින් මාස 10ක් තිස්සේ සිදුකරනු ලැබූ මේ විමර්ශනය පසුගිය පෙරබවාරි 8 වැනිදා නිමාවට පත් කරනු ලැබිණි. මෙහි දී රංග ඩයස්ට එරෙහිව චෝදනා 16 ක් ඉදිරිපත් වී ඇති අතර මොහු විසින් විද්‍යාත්මක විෂමාචාරයක් සිදු කොට ඇති බව එයින් ඔප්පු වන්නේ යැයි නේච්ර් වෙබ් අඩවිය සඳහන් කරයි.

මහාචාර්ය රංග ඩයස් රොචෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයට එරෙහිව තමාට අයුක්තියක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ඔහු විසින් ගොනු කළ අධිකරණ ක්‍රියාවලියේ දී ඉදිරිපත් කළ ලිපි ලේඛනවලින් මේ සම්බන්ධව යම්කිසි තොරතුරු ප්‍රමාණයක් අනාවරණය වී ඇති බව ද සඳහන් වේ. කෙසේ නමුත් මේ අයුක්තිය සම්බන්ධව රංග ඩයස් ඉදිරිපත් කරන්නට අදහස් කළ ක්‍රියාමාර්ගය එකී විශ්වවිද්‍යාලය විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

නේචර් වෙබ් අඩවියේ සඳහන් අන්දමට මහාචාර්ය රංග ඩයස් මේ සොයා ගැනීම සඳහා යොදා ගත් කණ්ඩායමට අයත් සිසුන්ව මෙකී විෂමාචාරය යටපත් කිරීම සඳහා යොදා ගෙන ඇති බවට ද චෝදනා කරයි.

මෙම විමර්ශනය සිදුකිරීම සඳහා රොචෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ‘ජාතික විද්‍යා පදනම’ (National Science Foundation -NSF) මගිනි. මෙය, ඇමරිකා එක්සත් ජනපදය තුළ සිදු කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ සඳහා අරමුදල් සම්පාදනය කෙරෙන ප්‍රධාන පෙළේ ආයතනයක් වෙයි. මෙම ආයතනය මගින් 2021 වසරේ දී රංග ඩයස් මහාචාර්යවරයාට ඇමරිකානු ඩොලර් 790,000 මූල්‍ය ප්‍රදානයක් ද සිදු කොට තිබේ. ඒ ඔහුගේ විමර්ශනයක් ඉදිරියට කර ගෙන යාම සඳහා සහායක් වශයෙනි.

පිටු 124 කින් සමන්විත මේ විමර්ශන වාර්තාවෙහි රංග ඩයස්ගේ විෂමාචාර සහ අවභාවිත පිළිබඳ පුදුම සහගත තොරතුරු අඩංගු වන්නේ යැයි නේචර් වෙබ් අඩවිය සඳහන් කරයි. රංග ඩයස් සිය නව විද්‍යාත්මක සොයා ගැනීම වූ කාමර උෂ්ණත්වයේ දී ක්‍රියාත්මක අධි සන්නයනතාව පිළිබඳ පවසමින් ඉදිරිපත් කොට තිබුණේ එහි දී මෙකී අධි සන්නායකය ඔස්සේ ශුන්‍ය ප්‍රතිරෝධයක් (කිසිදු බාධාවකින් තොරව) විදුලිය ගමන් කරවිය හැකි බවය. මෙහිදී ඔහු විසින් පළමු සංයෝගය කාබන්, සල්ෆර් සහ හයිඩ්‍රජන් යොදා සාදනු ලැබූ අතර පසුව ලුටේරියම් සහ හයිඩ්‍රජන් යොදා අවසන් සංයෝගය සාදා තිබේ.

නේචර් වෙබ් අඩවිය පවසන්නේ රංග ඩයස් මහාචාර්යවරයා විසින් වසර ගණනාවක් තිස්සේ සිය සගයින්, වාර සඟරා කතුවරුන් සහ විද්‍යාත්මක ප්‍රජාව නොමග යවා ඇති අයුරු මේ විමර්ශනයේ දී හෙළි වී ඇති බවය. විශ්වවිද්‍යාල ප්‍රකාශකයකු පවසා සිටියේ මේ විමර්ශන ක්‍රියාවලිය සාධාරණ සහ විනිවිදභාවයෙන් යුක්තව සිදු වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිවැරදි නිගමනයකට එලැඹීමට හැකි වූ බවත්ය.

මේ විමර්ශනයේ දී රංග ඩයස් මහාචාර්යවරයාට එරෙහිව නැගෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ සිය සොයා ගැනීම්වලට පාදක කරගත් තොරතුරුවල ඇතැම් මූලාශ්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමය. මේ චෝදනාව සම්බන්ධයෙන් මහාචාර්යවරයා පවසන්නේ, “ඇතැම් මුල් කරුණු සම්බන්ධ ගොනු ඉදිරිපත් නොකිරීම යන්නෙන් අදහස් වන්නේ ඒවා එවැනි තොරතුරක් නොමැති වීම හෝ මගේ පාර්ශ්වයෙන් සිදු වූ වැරදි ක්‍රියාවක් හෝ නොවෙයි” යන්නය.

මේ සොයා ගැනීම සඳහා වූ ඇතැම් මිණුම් දඬු ලබා ගත්තේ ලබා ගත්තේ රොචෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් බව ඔහු ලාස්වේගාස් විශ්වවිද්‍යාලයේ සිය සගයින් සමග පවසා ඇති අතර, රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ සගයින් සමග පවසා ඇත්තේ ඒවා ලබා ගත්තේ ලාස්වේගාස් විශ්වවිද්‍යාලයෙන් බව යනුවෙන් නේචර් වෙබ් අඩවියේ සඳහන් වේ. එමෙන්ම ඔහු විද්‍යා වාර සඟරාවලට ද වැරදි තොරතුරු සපයා තිබේ. අනෙක රංග ඩයස් මහාචාර්යවරයා සිය පර්යේෂණවල අඩුපාඩු සඟවා සාර්ථක වූ කොටස් පමණක් හුවා දක්වන්නට උත්සාහ කර ඇති බව ද වාර්තා වී තිබේ. ඔහු සමග රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු කළ තවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ සචිත් දිසානායක මේ සම්බන්ධයෙන් ඔහුට අනතුරු ඇඟෙව්ව ද ඔහු එය පිළිබඳ සැලකිල්ලක් දක්වා නැත බව ද නේචර් වෙබ් අඩිවියේ සඳහන් වේ.

මේ විමර්ශනය තවමත් සිදු කෙරෙමින් පවතින නමුත් විමර්ශන වාර්තාවේ සඳහන් වන අන්දමට රංග ඩයස් මහාචාර්යවරයා සමග රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ වැඩකටයුතු කළ සචිත් දිසානායක ඇතුළු සිසු පිරිසට චෝදනා එල්ලකිරීමක් කර නැත. නමුත් ඔවුන් මේ විෂමාචාරයෙහි ගොදුරු බවට පත්ව ඇති බව එහි සඳහන් බව නේචර් සඟරාව පවසයි. රංග ඩයස් මහාචාර්වරයාට රොචෙස්ටර් විශ්වවිද්‍යාලය තුළ තවදුරටත් ඉගැන්වීමේ කටයුතු සහ බාහිර අරමුදල්වලින් සිදු කෙරෙන පර්යේෂණ පැවැත්වීම හෝ තහනම් කොට තිබේ. මෙහි අවසන් තීරණය තව නොබෝ දිනකින් දැන ගැනීමට හැකි වනු ඇත.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර