ඊශ්‍රායල් – ඉරාන ගැටුම නිසා ශ්‍රී ලංකාවේ තෙල් මිලත් අහස උසට?

vinivida

සිරියාවේ ඩැමස්ක්ස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය විසින් ඊශ්‍රායලයට ද ප්‍රහාරයක් පසුගිය දා එල්ල කරනු ලැබිණි. මෙයට ප්‍රතිචාර නොදක්වන්නැයි ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිය ද ඔවුන් ඉරානයට යළි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මේ ගැටුම්කාරී තත්ත්වය තව තවත් වර්ධනය වුවහොත් එය, ඉරානය සමග ඍජුව සහ වක්‍රව ගනුදෙනු සිදු කරන ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල්වල ආර්ථිකය මත බරපතළ ගැටලු ඇති කරනු ඇතැයි පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

මේ ගැටුම වර්ධනය වුවහොත් එය බලපෑම වඩාත්ම එල්ල වන්නේ බලශක්ති වෙළෙඳ පොළ කෙරෙහිය. ශ්‍රී ලංකාව ඍජුවම ඉරානයෙන් තෙල් ආනයනය නොකළ ද, ශ්‍රී ලංකාවට පැමිණෙන තෙල්වලින් බහුතරයක් වක්‍රව ලැබෙන්නේ ඉරානයෙනි. මේ ගැටුම ඉදිරියට පවත්වාගෙන නොයන්නැයි ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ද එය බලශක්ති වෙළෙඳ පොළ කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරන බව හොඳින් දන්නා නිසාය. මෙයට පෙර රුසියාව සහ යුක්රේනය අතර ඇති වූ යුද්ධය ද බලශක්ති වෙළෙඳ පොළ කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කළ අතර එය තවමත් පහව ගොස් නැත.

විශ්ලේෂකයන් පවසන්නේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම තවදුරටත් වර්ධනය වුවහොත් ඉරානය විසින් නිසැකවම හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමනු ඇති බවය. පර්සියානු බොක්ක සහ ඕමාන බොක්ක එකිනෙක සම්බන්ධ කරන පටු මාර්ගය මෙය වේ. ලෝක තෙල් සැපයුමෙන් 25%කටත් වඩා සැපයෙන්නේ මේ ආර්ථික කොරිඩෝව ඔස්සේය. එක්සත් අරාබි එමීරය, කටාරය, බහරේනය, සහ ඉරාකය සිය තෙල් ලෝකයේ සෙසු කලාපවලට ප්‍රවාහනය කරන්නට භාවිත කරන්නේ මේ කොරිඩෝවය.

ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මෙය හරහා නැව් ගමනාගමනය නවත්වන්නැයි ඉරානය විසින් බලපෑම් කරනු ලැබුවහොක් එයට එරෙහි වන රටවලට නැව්වලට ඉරානයෙන් ඩ්‍රෝන, මිසයිල සහ සබ්මැරීන් යොදා පහර දෙන්නට ඉඩ ඇති බවය. කෙසේ නමුත් එය පාරා වලල්ලක් වෙමින් ඉරානයටම අවාසියක් සිදුවිය හැකි තීරණයක් නිසා ඔවුන් ‘බැරිම අවස්ථාවක’ මිසක එවැනි තීරණයක් නොගනු ඇති බව තවත් විශ්ලේෂකයන් පිරිසක් පවසති.

දිනකට බැරල් මිලියන 3.4ක බොර තෙල් නිෂ්පාදනයක් හිමි ඉරානය ගෝලීය තෙල් වෙළඳ පොළෙන් 3.3% කොටසකට හිමිකම් කියයි. කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ඉරානය මත වෙළෙඳ සම්බාධක පනවා ඇති බැවින් ඔවුන්ට ලෝකයේ සෑම රටකට ම සිය තෙල් අපනයනය කිරීමේ හැකියාව නැත. අප රටට ද ඍජුවම ඉරානයෙන් තෙල් ආනයනය කරන්නට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. කෙසේ නමුත් ඔවුන් චීනයට ඍජුවම තෙල් අපනයනය කරයි. එසේ හෙයින් ඔවුන් ලෝකයට සිය තෙල් අළෙවි කරන්නේ චීනයේ බීජිං වෙළෙඳ පල හරහා ය. ශ්‍රී ලංකාව බොහෝ අවස්ථාවල දී බීජිං වෙළෙඳ පොළෙන් ද තෙල් ආනයනය කිරීම සිදු කරයි.

ඊශ්‍රායල් – ඉරාන ගැටුම තව තවත් වර්ධනය වී ලෝක තෙල් සැපයුමේ දායකත්වයට ඉරානයේ තෙල් සැපයුම අහිමි වී ගියහොත් එය ගෝලීය බලශක්ති වෙළෙඳ පොළ කෙරෙහි දැවැන්ත බලපෑමක් එල්ල කරනු ඇත. ලෝකයේ තෙල් පරිභෝජනය අතින් දෙවැනි තැන ගන්නා චීනය එහි දී තෙල් ආනයනය කිරීම සඳහා විකල්ප මාර්ග සොයා යාමට පෙලඹෙනු ඇති අතර එය ලෝක තෙල් මිල දැඩි ලෙස ඉහළ යාමට හේතුවක් වනු ඇත. එසේ මිල ඉහළට ගියහොත් ශ්‍රී ලංකාවේ තෙල් මිල ද අහස උසට නගින්නට ඉඩ තිබේ. මේ වන විට යම්කිසි ආකාරයක සහනදායි ආර්ථික තත්ත්වයක් ශ්‍රී ලංකාවේ පැවතිය ද එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් එය මෙරට ආර්ථිකය නැවත ඉතා ඉක්මනින්ම කඩා වැටෙන්නට හේතුවක් වනු ඇත. රටේ බහුතර පිරිසකගේ ආර්ථිකය තවමත් දුර්වල තත්ත්වයක පවතින වාතාවරණයක් තුළ එවැන්නක් සිදුවහොත් එහි බලපෑම කෙසේ වනු ඇති දැයි සිතාගත නොහැකිය. එවැනි තත්ත්වයක් තුළ සියලු භාණ්ඩ හා සේවා සඳහා පුද්ගලයකු වශයෙන් ගෙවිය යුතු මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන අතර තවමත් සමස්තයක් ලෙස ආදායම් තත්ත්වය වර්ධනය වී නැති ශ්‍රී ලාංකිකයනට එය කෙසේවත් දරාගන්නට හැකි තත්ත්වයක් නොවනු ඇත.

එමෙන්ම මේ යුද තත්ත්වය වර්ධනය වීම සූවස් ඇලේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ද බලපෑම් එල්ල කරන්නට ඉඩ තිබේ. එසේ වුවහොත් එය හරහා ආසියානු රටවලට භාණ්ඩ සැපයුම සීමාවනු ඇති අතර එය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල උද්ධමනකාරී තත්ත්වයක් ඇති කරන්නට හේතුවක් බවට පත් වේ.

එමෙන්ම ආසියානු සංක්‍රමණිකයන් මිලියන ගණනක් මැදපෙරදිග කලාපයේ රැකියාවන්හි නිරත වන අතර මේ ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වුවහොත් මැදපෙරදිග රටවල් සියල්ලක්ම පාහේ ඍජුව හෝ වක්‍රව මෙයට මැදිහත් වීම මත බොහෝ දෙනෙකුට රැකියා හැරදා සිය ගම්බිම් බලා පැමිණෙන්නට සිදුවනු ඇත. මිලියන ගණනකගේ රැකියාවන් කෙරෙහි එල්ල වන මේ බලපෑම ඔවුන්ගේ රටවල් කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල කරන්නට හේතුවේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ දැඩි ලෙස ආර්ථික වශයෙන් මුහුණ දුන් ගැටලුවක් වූයේ විදෙස් ශ්‍රමිකයන් ශ්‍රී ලාංකික බැංකු හරහා සිය මුදල් එවීම නවතාලීමය. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කළේය. යුදමය තත්වයක් තුළ ආසියානු ශ්‍රමිකයන්ගේ රැකියා මැදපෙරදිග කලාපය තුළ අහිමි වීම නිසා ආසියානු රටවල් බහුතරයක් මේ ගැටලුවට මුහුණ පාන්නට ඉඩ තිබේ.

ඊශ්‍රායලය සහ ඉරාන ගැටුමෙන් කවුරු ජය ලැබුව ද කවුරු පරාජය ලැබුව ද අවසානයේ ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවල් ආර්ථික ගැටලු රාශියකට මුහුණ දෙන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. මෙය වලක්වාගැනීම සඳහා දායකත්වය ලබා දීම ලෝක ප්‍රජාවගේ යුතුකම සහ වගකීමක් බවට පත්ව ඇත්තේ මේ නිසාය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර