ඊසීජී පරික්ෂාවෙන් හෘදයාබාධ ගැන හරියටම දැන ගන්න පුලුවන් ද?

ecg

ගත වු දශක කිහිපයට සාපේක්ෂව අප රටේ ජනතාව තුළ හෘදයාබාධ පිළිබඳ සංවේදීතාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවී තිබේ. නොඑසේ නම් අසවල් තෙල් වර්ගය ගැල්වීමෙන් ඉබේම සුවපත් වේය යනුවෙන් සාමාන්‍ය ජනතාව සිතා සිටි “පපුවේ ඇම්ම” හෘදයාබාධයක් විය යුතුය යන ස්වයං තීරණ වලට එළැඹීම තෙක් මේ සංවේදීතාව ඉහළ නැංවී තිබේ. මේ සඳහා බලපා ඇති ප්‍රධාන හේතුන් අතරට අද වන විට විවිධ මාධ්‍ය ඔස්සේ හෘද සෞඛ්‍යය පිළිබඳ දැනුම සමාජය පුරා සම්ප්‍රේෂණය වීම, අතීතයට සාපේක්‍ෂව වර්තමානයේ හදිසි හෘදයාබාධ සහ එමගින් සිදු වන අකල් මරණ බහුල බවට ජනතා විශ්වාසයක් ගොඩනැඟීම සහ අතීතයට සාපේක්‍ෂව සමාජ ජාල මාධ්‍ය ආදිය ඔස්සේ පුද්ගල හදිසි මරණ පිළිබඳ තොරතුරු ලොව පුරාම සම්ප්‍රේෂණය වීම ආදිය දැක්විය හැක.

අපගේ අතීත ගැමි සමාජයට සාපේක්‍ෂව වර්තමාන සමාජ, ආර්ථික රටාව අනුව විශේෂයෙන් මධ්‍යම පාන්තික ජනතාව අතරේ දියවැඩියාව, අධි කොලෙස්ට්‍රෝලියතාව, අධික රුධිර පීඩනය ආදී හෘදයාබාධ සඳහා ඉවහල් වන අවදානම් සාධක බහුල වීම් ද හෘදයාබාධ සම්බන්ධ මෙම ජනතා සංවේදීතාව වඩාත් තීව්‍ර කිරීමට සමත්ව තිබේ. ඒ අනුව අතීතයේ මෙන් නොව කුමක් හෝ හේතුවක් මත හටගන්නා පපුවේ වේදනාවක දී එය හෘදයාබාධයක් පිළිබඳ පෙරනිමිත්තක් දැයි දැන ගැනීමට බොහෝ දෙනෙක් උත්සුක වෙති. එහි දී ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයකු හමුවන රෝගියකු බොහෝ විට ඊසීජී යනුවෙන් හැඳින්වෙන විද්යුත් කන්තු රේඛන (Electrocardiogram S )පරීක්ෂණයකට යොමු කරනු දක්නා ලැබේ. ඒ රෝගියා තුළ පවත්නා වේදනා කැක්කුම් ආදී ලක්ෂණ සහ ඔහු තුළ පවත්නා පවුලේ සාමාජිකයන් ඇතුළු ලේ ඥාතීන්ට හෘදයාබාධ වැළඳී තිබීම, අධික තරබාරුව, දුම්පානය, අධික රුධිර පීඩනය, අධිකොලෙස්ට්‍රෝලියතාව, දියවැඩියාව ආදී හෘදයාබාධයක් සම්බන්ධ අවදානම් සාධක පිළිබඳව ද අවධානය යොමු කරමිනි.ඊට අමතරව රෝගියාගේ ඉල්ලීම් මත ද වෛදවරු රෝගීන් ඊසීජී පරීක්ෂණ වලට යොමු කරති.

ecg

එහෙත්, එම රෝගීන් අතුරින් ඇතැමකු තුළ හෘදයාබාධයක් සඳහා සිදු කෙරෙන සරල හා මූලිකම පරීක්ෂණය වන ඊසීජී පරීක්ෂණය කෙරෙහි පවා විශ්වාසයක් නොමැති බව පෙනෙයි.’‘අපි දන්න කෙනෙක් දවස් දෙකක්ම ඊසීජී ටෙස්ට් කර ගත්තා. ඒත් ඒ දෙකම නෝමල්, ඒත් ඊට සතියකට පස්සේ එයා හදිසියේ මැරුණා. මරණයට හේතුව හාට් ඇටෑක් එකක්ලු. ඉතින් කොහොමද? ඔය ඊසීජී ගැන වුණත් විශ්වාසය තියන්නේ” එසේ පවසන රෝගීහු ද ඉඳහිට අප හමුවට එති. මූලික වශයෙන් විමසා බලන විට ඔවුන්ගේ එම ප්‍රකාශ සත්‍යයක් වීම මත එය නොසළකා හැරිය යුත්තක් සේ අපට නොහැඟේ. ඊට හේතුව ඊසීජී පරීක්ෂණය පිළිබඳ නිවැරදි මූලික දැනුමක් වැටහීමක් නොමැති කෙනකු තුළ එවැනි වැටහීමක් ඇති වීමට ස්වභාවික ඉඩකඩක් ඇති වීමයි.මෙහි දී මූලික වශයෙන් කිව යුත්තේ ඊසීජී හෙවත් විද්යුත් කන්තු රේඛා පරීක්ෂණ හෝ වෙනයම් පරීක්ෂණයක් කිසියම් රෝග විනිශ්චයක් සඳහා වෛද්‍යවරයකු සඳහා වන උපකාරක උපයෝගීතාවක් මිස රෝග විනිශ්චයක් සම්බන්ධ පරම විනිශ්චයක් නොවන බව ය. යම් ලෙසකින් එවැනි තත්වයක් විණි නම් ලොව වෛද්‍ය සේවාවේ වැදගත්කම තරමක් දුරට හෝ පහළ බැසිය යුතුව තිබේ.

මෙහි මා ඉහත දැක්වූ අන්දමට වෛද්‍යවරයකු රෝගියකු ඊසීජී පරීක්ෂණයක් සඳහා යොමු කරනුයේ හෘදයාබාධයක් වැළඳීම සම්බන්ධ කිනම් හෝ අවදානම් සාධකයක් හෝ රෝගියා කෙරෙන් පළවන්නේ නම් පමණි. නමුදු අද වන විට ඊසීජී තාක්ෂණය රට පුරා ව්‍යාප්ත වීම සෙසු වෛද්‍ය පරීක්ෂණවලට සාපේක්‍ෂව ඊසීජී පරීක්ෂණ සඳහා වන මිල ගණන් අවම වීම වැනි හේතු මුල්කොට වෛද්‍යවරුන් ඊසීජී පරීක්ෂණ සඳහා රෝගීන් යොමු කරවීමේ වැඩි නැඹුරුවක් ද තිබෙන්නට පුළුවන. ඉතා සරල ලෙස කිවහොත් මෙම ඊසීජී පරීක්ෂණය යනු පුද්ගල ශරීරයේ පපුව, පිට ,ආදී ස්ථාන කිහිපයක සංවේදක (Sensors) සවි කාට ඒ ඔස්සේ ග්‍රහණය කර ගන්නා සියුම් කම්පන තත්වයන් මත හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ කරුණු රැසක් එක්වර අනාවරණය කර ගත හැකි අගනා පරීක්ෂණයකි.

හෘදයාබාධයක මූලික ලක්ෂණයක් වන ඇන්ජයිනා (Angina ) තත්වයක දී හෘදය ක්‍රියාකරන රිද්මයේ යම් වෙනසක් සිදුවිය හැක. එමෙන්ම හෘදය ක්‍රියාකරන රිද්මයේ වෙනසක් සහිත එරිත්මියා (Arrhythmia ) ද හෘදය සම්බන්ධයෙන් හටගත හැකි දරුණු රෝගී තත්වයකි. හෘදය වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනිවල පවත්නා අවහිරතා ද බරපතල හෘද රෝගවලට තුඩු දෙන අතර මෙවන් තත්වයන් නිරීක්ෂණය කිරීම පිළිබඳව සිදු කෙරෙන මූලික පහසු සහ සරල උපක්‍රමය වනුයේ ද ඊසීජී පරීක්ෂණයයි. ඒ අනුව එම කිරීටක ධමනී වල කොලෙස්ටරෝල් තැන්පත් වීම සම්බන්ධ තත්වයන් නිරීක්ෂණය කිරීමට ද මෙම ඊසීජී පරීක්ෂාව යොද ගැනෙයි. ඊට අමතරව හෘදය වස්තුවේ බිත්ති ඝනවීම (Hypertrophy ) වැනි රෝගී තත්වයන් සේම රුධිර ප්ලාස්මාවේ පොටෑසියම් කැල්සියම් මැග්නීසියම් යන සංඝටකවල විෂමතාවයන් නිරීක්ෂණය කළ හැකි සරලම ක්‍රමය වනුයේ ද ඊසීජී පරීක්ෂාවම ය.නමුදු මෙම ඊසීජී පරීක්ෂණය සම්බන්ධ විවිධ දුර්මත ද අප සමාජයේ ඇතැමුන් තුළ පවතින බව ද පෙනේ. ඊසීජී යන්ත්‍රය හා ශරීරය අතර සම්බන්ධ කෙරෙන සංවේදක මගින් ශරීරය තුළට කිසියම් කිරණක් පිවිසුවන බවට ඇතැමුන් දක්වන මතය කිසිදු පදනමකින් තොර මුළුමනින් අසත්‍යයකි.

අප කවුරුත් දන්නා අන්දමට ඊසීජී පරීක්ෂණ වාර්තාවක් ලෙස අපට හමුවන්නේ යම් කම්පන තරංගාවලියකින් යුතු පටියක් වැනි කරදාසි තීරුවකි. එවන් තරංගාවලියක් ලෙස බලා ඉහත සඳහන් ආකාරයේ හෘදයාබාධ සම්බන්ධ තොරතුරු ගොන්නක් ප්‍රකාශ කළ හැක්කේ කෙසේද? යන්න බොහෝ දෙනකු තුළ විමතිය දනවන කරුණක් වීමට පුළුවන. සෑම විටෙකම ඊසීජී පරීක්ෂණය කරනු ලබනුයේ ද ඒ සම්බන්ධ නිසි පුහුණුවක් ලැබූ තාක්ෂණවේදියකු විසිනි.එහෙත්,විධිමත් ලෙස ඊසීජී මුද්‍රිත පිටපත නිවැරදිව ලබා ගැනීමෙන් ඔහුගේ කාර්ය නිමාවට පත් වේ. එවන් පසුබිමක් යටතේ ඇතැමුන් තම ඊසීජී පරීක්ෂාව කළ තාක්ෂණවේදියා ගෙන් ඉන් පැවසෙන හෘදයාබාධ අවදානම පිළිබඳව විමසීමට තරම් නොඉවසිලිමත් වන අවස්ථා ද දුලබ නොවේ. එහෙත්, හුදු වෛද්‍යමය කාරියක් වන එය සිදු කිරීමට තාක්ෂණවේදියකු හට නොහැකි වන අතර ඔවුන් ඒ සෑම විටෙකම අදාල වෛද්‍යවරයා ගෙන් අසා දැන ගන්නා ලෙස රෝගීන්ට පවසන බව ද රහසක් නොවේ.

මෙම ඊසීජී පරීක්ෂණ පිටපතක් කියැවීමට සෑම වෛද්‍යවරයකුට ම හැකිද? යන්න ඊළඟට බොහෝ දෙනකු තුළ මතුවන කුකුසකි. එහෙත්, අදාල වෘත්තීය සුදුසුකම් සපුරා ලූ සෑම බටහිර වෛද්‍යවරයකුම තම වෛද්‍ය අධ්‍යාපන කාලයේදී ඒ සම්බන්ධ දැනුම හා පුහුණුව ලබා ඇති අතර ඉන්පසුව තම වෘත්තීය ජීවිතයේ සායනික කටයුතුවලදී එම දැනුම අවබෝධය තව දුරටත් වර්ධනය කර ගෙන තිබේ. එම ඊසීජී පිටපතක් කියවා ඒ හා සම්බන්ධ අවදානම් සාධක හඳුනා ගැනීමේ හැකියාවක් සුදුසුකම් ලත් සෑම බටහිර වෛද්‍යවරයකු තුළම ඇති මුත් ඒ සම්බන්ධ ගවේෂණාත්මක කියැවීමකට හැකියාව ඇත්තේ හෘද රෝග සම්බන්ධ විශේෂඥ වරුන්ට හා හෘදවේද හෘද විද්යුත් භෞතවේද වෛද්‍යවරුන්ට (Cardiac Electrophysiologist) සහ ඒ සම්බන්ධ සුවිශේෂ උනන්දුවක් දක්වන වෛද්‍ය ක්ෂේත්‍රයේ නිපුනයන්ට පමණි. එබැවින් යමකු ගේ ඊසීජී පිටපතක් පරීක්ෂා කරන සාමාන්‍ය වෛද්‍යවරයකු ඒ ඔස්සේ රෝගියා තුළ පවත්නා කිසියම් හෘදයාබාධයක් පිළිබඳ ඉගි කෙරේ නම් හෝ එම ඊසීජී පිටපත වැඩිදුර පරීක්ෂාවකට යොමු කළ යුතු බව හැඟේ නම් රෝගියා අදාල විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කරවීම පිළිගත් සම්ප්‍රදායයි.

මෙම ඊසීජී පරීක්ෂාව වාහනයක එන්ජිම පණ ගන්වා එහි දෝෂ පිළිබඳ නිගමනයට ඒම හා සමාන යැයි අපි මොහොතකට සිතමු. එහෙත්, එසේ ඒ වාහනයේ පණ ගැන්වූ එන්ජිම රේස් කරවා ඒ එහි දෝෂ වඩාත් හොඳින් වටහා ගැනීමට සමාන ඊසීජී පරීක්ෂාවක් තිබේ. එනම් ව්‍යායාම ඊසීජී පරීක්ෂාව (Exercise Electrocardiogram ) ය. එහිදී මූලිකව සිදු කරනුයේ රෝගියා යම් තරමක වෙහෙසකට පත් කරවන අතරේ හදවතට ආතතියක් ලබා දී ඒ මොහොතේම රෝගියා ගේ හෘද ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම ය. ලොව පුරා විවිධ ආකාරයේ මෙම ඊසීජී පදික ව්‍යායාම කට්ටල( Tread mill ) හෝ ස්ථාවර පාපැදි භාවිතා කෙරෙන අතර එවැන්නක් මතට නංවන රෝගියා යම් ව්‍යායාමයක යොමු කරවන අතරේ ඉහත සඳහන් ඊසීජී පරීක්ෂණයට භාජනය කෙරේ.

සාමාන්‍යයේ යමකු වෙහෙසට පත් වන අවස්ථාවන් හිදී හෘද ස්පන්දනය තීව්‍ර වන බව බොහෝ දෙනෙක් දනිති. මෙම ව්‍යායාම ඊසීජී පරීක්ෂණය මගින් සිදු කරනුයේ එසේ හෘද ස්පන්දනය තීව්‍ර වන අතරේ එහි ක්‍රියාකාරීත්වය විමසා බැලීම ය. මෙහි දී රෝගියාගේ හෘද ස්පන්දනය, රුධිර පීඩනය,රුධිරයේ අම්ලකර ප්‍රමාණය ආදී ශරීර ක්‍රියාකාරීත්වයේ විවිධ තත්වයන් නිරීක්ෂණය කෙරේ. එමගින් සාමාන්‍ය ඊසීජී පරීක්ණයක දී ලද නොහැකි රෝගියාගේ හෘද ක්‍රියාකාරීත්වය පිළිබඳ වඩාත් සංවේදී විස්තර රැසක් එම වාර්තාවට ගොනු කර ගත හැක.
මෙහිදී අවස්ථා කිහිපයක් යටතේ රෝගියාගේ ව්‍යායාම වල තීව්‍රතාව ඉහළ නංවන අතර එම තීව්‍රතාව රෝගියාට දරාගත හැකි උපරිම මට්ටමකට වඩා ඉහළ නංවනු නොලැබේ. නමුත් මෙම ව්‍යායාම ඊසීජී පරීක්ෂණයේ දී රෝගියා තුළ පපුවේ වේදනාව, ක්ලාන්තය, කරකැවිල්ල ශරීර අප්‍රාණිකත්වය වැනි ලක්ෂණ පහළ වුව හොත් එය ඒ මොහොතෙම නතර කිරීම ද විශේෂත්වයකි. මෙම ඊසීජී පරීක්ෂණ වලින් කිසියම් හෘදයාබාධයක් පිළිබඳ මූලික ඉඟි පහළ වුවහොත් හෝ මෙම ඊසීජී පරීක්ෂණ සාමාන්‍ය මට්ටමක තිබිය දී රෝගියා කෙරෙන් හෘදයාබාධයක් සම්බන්ධ වෙනත් ලකුණු පහළ වුවහොත් ඒවා හඳුනා ගැනීම පිණිස වෙනත් මානයන්ගේ පරීක්ෂණ වලට යොමු කිරීම සාමාන්‍ය සායනික ක්‍රියා පිළිවෙත ය. (අපි ඒ සම්බන්ධ ඉදිරියේ දී කතා කරමු). නමුදු මෙම ලිපියට පාදක වන ඊසීජී පරීක්ෂණ ප්‍රතිඵල සතුටු දායක මට්ටමක පැවැතිය ද ඉන්පසුව එම රෝගියා හෘදයාබාධයකින් මිය යාමට ද ඉතා සුළු සම්භාවිතාවක් පවතින බව ද කිව යුතුය. යතුරු පැදිවල ගමන් කිරීමේදී ආරක්ෂක හිස්වැසුම් පැළදීමෙන් එම අනතුරුවලින් හිසට සිදුවන හානි සියයට අනූ නවයකටත් වඩා වලකා ගත හැක. එහෙත් ඒ අතුරින් එක් අයකු ආරක්ෂක හිස් වැසුම් පැළඳ සිටිය දී සිදුවන යතුරු පැදි අනතුරකින් හිසේ අභ්‍යන්තර තුවාල ලැබීමට ද බැරිකමක් නැත.ඒ නිසා එවන් අහඹු තත්වයන් යටතේ වුව කළ යුතු හොඳම දෙය යතුරු පැදි ධාවනයේදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම නොවේද? මෙම සෞඛ්‍ය රැක ගැනීම පිණිස මෙම ඊසීජී පරීක්ෂණ වලට යොමු වීම සම්බන්ධයෙන් කිව හැක්කේ ද ඒ ටිකම ය.

හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

එතෙර - මෙතෙර