කතුන් පොළඹවා ගැනීමේ චෝදනාවෙන් කළු කුමාරයා නිදොස් කොට නිදහස් කරමු

‘කළු කුමාර දෝෂය’ යන නම අප රටේ ගම්බද වැඩිහිටි සමාජයට අරුමයක් නොවේ. සාම්ප්‍රදායික ජන විශ්වාසයට අනුව මෙය නව යොවුන්, තරුණ සහ වැඩිහිටි කාන්තාවන් කෙරෙහි එල්ල වන අමනුෂ්‍ය දෝෂයකි. ජන සම්මතයට අනුව ‘කළු කුමාරයා’ මනමාලයෙකි. විශේෂයෙන් තනිව නිදන කාන්තාවන් වෙත රාත්‍රියේ රහසින් පැමිණෙන ඔහු එම කතුන් හා ලිංගික සබඳතාවයන් පවත්වා රහසේම පලා යයි. එහෙත්, ඒ එම කාන්තාවන් දූෂණයට ලක් කිරීමක් ලෙස නොවේ.

ඊට හේතුව එම කළු කුමාර විශ්වාසයට අනුව එම ගුප්ත අත්දැකීමට මුහුණ දෙන කිසිදු කාන්තාවක කළු කුමාරයා ගේ පැමිණීම මුල් කොට බියපත් නොවීම ය. එහිදී අවිඥානකව හෝ ඇගේ ලිංගික සහයෝගය ද කළු කුමාරයාට ලැබේ. එමෙන්ම තමන් හමුවට පැමිණි කළු කුමාරයා තමන්ට එවැනි දෙයක් සිදු කළ බව බොහෝ කතුන් දැන ගන්නේ ද ඒ මොහොතේ නින්දෙන් පිබිදුණු පසුව ය; නැතහොත් පසු දා උදේය.

එමෙන්ම තමන් ඔහු හා කැමැත්තෙන් එක් වූ බවට ද්‍රෘශ්‍යමය සාක්ෂි ද එම කාන්තාවට දැක ගත හැකි වීම මෙම කළු කුමාර දෝෂයේ ඇති විශේෂත්වයකි. මෙසේ නිරන්තරයෙන් කළු කුමාරයා ගේ ග්‍රහණයට නතු වන කතුන් කෙරෙන් පළවන රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව ද අපගේ සාම්ප්‍රදායික ජන විඥානයේ සඳහන් ය. ඉන් පළමු වැන්න ලෙස හැඳින්වෙනුයේ එම කාන්තාවගේ ජීවිතය අලස, සෝමාරි බවට පත්ව ඇගේ එදිනෙදා කටයුතු අඩාල වීම ය; ඒ අතර කෑම අරුචිය, නින්ද නොයාම ආදී රෝග ලක්ෂණ ද ඇය කෙරෙන් පළ වෙයි.

මේ තත්වය තව දුරටත් වර්ධනය වුව හොත් ඇය කිසියම් උන්මාදනීය තත්වයක් පළ කරන අතර ඇතැම් විට තේරුමක් නොමැතිව බලා ගත් අතේ බලා සිටීමට, තනිව සිනාසීමට, මිමිනීමට හෝ කතා කිරීමට ද ඇය පෙළඹිය හැක. මෙවන් දෝෂ සහගත තත්වයකට පත් වන්නී අවිවාහක තරුණියක නම් ඇය විවාහ වීම ප්‍රතික්‍ෂ්ප කරන අතර විවාහක කාන්තාවක නම් ඇය තම සැමියා සමඟ ගත කරන ලිංගික දිවි පෙවෙතින් ඉවත් වීමට පවා ඉඩ තිබේ. ඊට හේතුව ඇය තමන් ද නොදැනුවත්වම මෙම කළු කුමාර ඇසුර වෙත යොමු වීම ය.

නැතහොත් ඊට ඇබ්බැහි වීම ය. කිසියම් තරුණියක හෝ කාන්තාවක වෙතින් මෙවැනි තත්වයක් දක්නට ලැබුණහොත් ඇය නොපමාව යකැදුරකු වෙත යොමු කරනු ලැබේ. එවිට ඇය කෙරෙන් එම කළු කුමාර බලපෑම ඉවත් කිරීම පිණිස වන ශාන්ති කර්මයකට එම කාන්තාව යොමු කිරීමට යකැදුරෝ කටයුතු කරති. ප්‍රධාන වශයෙන් අවිවාහක තරුණියන් කෙරෙහි එල්ල වන මෙම කළු කුමාර දෝෂය සැමියා ගෙන් දුරස්ව සිටින සහ වැන්දඹු කතුන් කෙරෙහි ද එල්ල විය හැක. එමෙන්ම ඉතා අහඹු ලෙස සැමියා සමඟ එක්ව සයනය කරන සේම මැදිවිය ඉක්ම වූ; මාස් ශුද්ධිය නිමා වූ හෙවත් ආර්ථවහරණය වූ කතුන්ට ද මෙම කළු කුමාර බලපෑම එල්ල විය හැක.

එහෙත්, ඒ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර පවතින ප්‍රබල දුර්මතයක් තිබේ. එනම් මෙම කළු කුමාර දෝෂය ගැන බටහිර වෛද්‍යවරුන්; විශේෂයෙන් බටහිර විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ‘මෙලෝ හසරක්’ නොදන්නා බව ය. එහෙත්, ඒ සම්බන්ධ යම් සත්‍යය වනුයේ මෙම තත්වය ඔවුන් ගේ විෂය පථයන් හා සබැඳි රෝගමය නොවන තත්වයක් වශයෙන් ඔවුන් විද්‍යාත්මක වශයෙන් දැන සිටීම ය.

තෙත සිහින (Wet Dream) යන පොදු ව්‍යවහාරයෙන් හඳුන්වන නින්දත් නොනින්දත් අතර සිදුවන ලිංගික උත්තේජනය මුල්කොට ගත් මෙම සංසිද්ධිය ස්ත්‍රී -පුරුෂ දෙපිරිසටම එක සේ පොදු ය. පිරිමින් සම්බන්ධයෙන් නිශාගත විමෝචනය (Nocturnal Emission) නමින් හඳුන්වන මෙය කාන්තාවන් සම්බන්ධයෙන් නිශාගත සුරතාන්තය (Nocturnal Orgasm) යනුවෙන් සඳහන් වෙයි.

මිනිසුන් ඇතුළු සියළු සතුන් ගේ පරම වගකීම් සහගත කාරිය ප්‍රජනනය හෙවත් තමන් ගේ වර්ගයා බෝ කිරීම ය. ඊට හේතුව ඔවුන් එම කාරියේ නොයෙදුණහොත් එම සත්ව වර්ගයා නිසැක ලෙසම මිහිතලයෙන් අතු ගෑවී යන බැවිනි. එම ප්‍රජනන කාරිය සඳහා ඉවහල් වන එකම බලවේගය ලිංගිකත්වය වන අතර එය මොළයේ ජෛව රසායනික සහ හෝමෝන ක්‍රියාවලිය හා සම්බන්ධ වූවකි.

මිනිසා සහ සතුන් අතර පවතින ප්‍රධාන වෙනස් කමක් වනුයේ ශිෂ්ටාචාර ගත මිනිසා විසින් ලිංගිකත්වය ක්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙන් ආචාර-විචාර සම්ප්‍රදායන් ගොඩනඟා ගෙන තිබීම ය. යම් යම් සංස්කෘතීන් තුළ ඒවායේ විෂමතා දක්නට ලැබුණත් තම ලිංගික ක්‍රියාවන් සේම ලිංගික ආවේගයන් වත් සමාජය හමුවේ එළිදැක්වීම නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවක් බව ලෝක සම්මතයකි.

මිනිසා තමන් විසින් කෘත්‍රිමව ගොඩනඟා ගත් මෙම ශිෂ්ටාචාරගත කරුණු මිනිස් මොළය මඟින් විමසා බලා ඒ අනුව කටයුතු කරන අතර ඊට එරෙහිව මිනිසා තුළ පවතින ස්වභාවික ලිංගික ආවේග පිටාර ගලන අවස්ථා තිබේ. අප රටේ කළු කුමාර දෝෂය නමින් හැඳින්වෙන මෙය එසේ ලිංගිකත්වය නම් ස්වභාවික ආවේගය ඉබේ පිටාර ගලන එක්තරා ‘අහිංසක’ අවස්ථාවකි.

ළමා වියෙන් නව යොවුන් වියට පත්වන සමයේ සිදුවන ශීඝ්‍ර ශරීර වර්ධනයට සමගාමීව මොළයේ ජෛව රසායනික වර්ධනයන් සිදුවීම අතිශය ස්වභාවික ය. ඒ අතරේ ඔවුන් තුළ ලිංගිකාශාවන් පුබුදුවන ජෛව රසායනික හෝමෝන ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙයි.

ලිංගික ක්‍රියාවක් සඳහා අවශ්‍ය මූලික ජෛව රසායනික ජවය මොළයේ උත්පාදනය වුවද සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාකාරකම් අරඹා නොමැති එම වයසේ තරුණ තරුණියන් ගේ ශරීර තුළ ක්‍රියාත්මක වන ජෛව විද්‍යාත්මක යාන්ත්‍රණය අනුව ඔවුනට අඩ නින්දේ දී මෙලෙස ලිංගික සුරතාන්තයක් අත්විදීමට සිදුවීමේ කිසිදු පුදුමයක් නැත. නින්දත් නොනින්දත් අතරේ දී සිදුවන අක්ෂි චලන වේග (REM) නම් අවස්ථාව තුළ ඉබේ ගොඩනැඟෙන සිහිනයක් මුල්කොට තරුණයන් සහ තරුණියන් සුරතාන්තයකට පත් වන අතර එහි දී තරුණයන් හට ශුක්‍ර මෝචනය සිදු වේ.

එවැන්නක් සිදුනොවන බැවින් තරුණියන්ට සුරතාන්තයක් පමණක් අත්විඳීමට අවස්ථාව එළැඹේ. ඒ අනුව මෙම අත්දැකීම සඳහා ‘තෙත සිහින’ යන ලොව පුරා ප්‍රචලිත නම කෙතරම් ගැලපේ දැයි ඔබට සිතෙනු ඇත. නමුදු සෑම තරුණයකු කෙරෙන් ම දක්නට ලැබෙන මෙම තත්වය ‘ස්වප්න මෝචනය’ හෙවත් ‘සිහිනයෙන් ධාතු පිටවීම’ ලෙසත් තරුණියන් සම්බන්ධයෙන් ‘ඇඟ උණු කරවා යාම’ ලෙසත් පවතින අතිශය වැරදි සහගත විශ්වාසය මුල් කොට අහිංසකයන් ගෙන් මිල මුදල් ගසා කන කපටි කයිරාටිකයෝ අදත් අප සමාජයේ සිටිති.

හුදෙක් තරුණියන් ගේ සිට වියපත් කතුන් දක්වා පොදු මෙම තත්වය සහකරු කෙරෙන් දුරස්ව හිඳින කාන්තාවන් හට, වියපත් වැන්දඹු කතුන් හට ද යම් තරමකට පොදු වුව ද එය මානසික රෝගාබාධයක් තබා රෝග ලක්ෂණයක් ලෙසවත් කිසිදු අයුරකින් හැඳින්වෙනුයේ නැත. එමෙන්ම ශරීරයේ ලිංගික හෝමෝන අසමතුලිත වීම මත නිතර දෙවේලේ මෙවන් අත්දැකීමක් ලැබීම වෙනත් මානසික රෝග ලක්ෂණයක් විය හැක. නමුදු ඔවුන් තුළ පවතින මෙම ලක්ෂණය පමණක් එම රෝග තත්වය ලෙස හැඳින්විය නොහැක. ඊට හේතුව ඒ සඳහා බලපාන තවත් රෝග ලක්ෂණ කිහිපයක් ඉස්මතු විය යුතු බැවිනි.

තරුණියන් සේම වැඩිහිටි කතුන් මුහුණ දෙන මෙම තත්වය ඔවුන් ගේ චරිතය සම්බන්ධ තක්සේරුවකට එළැඹිය හැකි සාධකයක් ද නොවේ. චරිත ලක්ෂණ වශයෙන් ඉතා යහපත් දිවි පෙවෙතක් ගත කරන චරිතවත් කතුන් ද ඉඳ හිට හෝ මෙම අත්දැකීමට මුහුණ දෙනු ඇත.

මනෝ වෛද්‍ය විද්‍යාත්මක සහ සායනික වශයෙන් රෝගයක් සේ හඳුන්වනු නොලබන මෙම තත්වය සම්බන්ධයෙන් ලිංගික විද්‍යාත්මක සහ සමාජ මනෝ විද්‍යාත්මක වශයෙන් සිදු කෙරුණු විමර්ශන වලදී තරුණ සහ වැඩිහිටි පූජක වරියන් පවා මෙම තත්වය බහුලව අත්විඳින බව සනාථ වී තිබේ. ලොව සියළු ආගම් ස්වභාවික යුක්තිය මත පදනම් වීම මත එහි වරදක් ඇතැයි අපට නොහැඟේ.

කෙසේ හෝ මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කීමට ඇත්තේ අප රටේ කළු කුමාර දෝෂය නමින් හැඳින්වෙන මෙම තත්වය ලොව සෑම සමාජ, ආර්ථික, සංස්කෘතික පදනමකම කාන්තාවන්ට පොදු වූවක් බැවින් අප රටේ දී පමණක් ඊට කල්පිත කළු කුමාරයකු අල්ලා ගෙන වරද පැටවීම නොකළ යුතු බව ය.

නොඑසේ නම් මෙම වරද සම්බන්ධයෙන් අප රටේ කළු කුමාරයා නිදොස් කොට නිදහස් කළ යුතු බව ය. එසේ වුවද මෙම කළු කුමාර දෝෂයේ පසුකාලීන තත්වයන් වන අලස, සෝමාරි බවේ සිට තනිව කතා කිරීම දක්වා වන රෝග තත්වයන් හා ඉහත සඳහන් ස්වභාවික සිද්ධිය අතර පැහැදිලි සබඳතාවයක් නොමැති වුවද එම සිදුවීම් දාමය හා සම්බන්ධ සංස්කෘතික විශ්වාස මත යම් කාන්තාවක් තුළ විඝටන ආබාධ තත්වයක් (Dissociative Disorder) හෝ විශාද (Depression) තත්වයක් ඇති විය හැක.

ඒ අනුව එම පශ්චාත් කාලීන ප්‍රතිඵල මුල් කොට එම කාන්තාවන් සායනික පරීක්ෂාවකට ලක් කොට යම් රෝග විනිශ්චයකට එළැඹීමට මනෝ වෛද්‍ය වරුන්ට හැකි වනු ඇත.

විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

ඉරා අදුරුපට